සකර්යා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ පළමු තැන ශ්‍රී ලංකාවට | දිනමිණ

සකර්යා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ පළමු තැන ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයට තවත් එක් අන්තර්ජාතික ජයග්‍රහණයක් එක් කරමින් ගාල්ල කිතුලම්පිටියේ පදිංචි තරුණ සිනමාකරුවකු වන හසන්ත දිසානායක තරුණයා විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරණු ලැබූ 'මට්න්' නම් කෙටි චිත්‍රපටය තුර්කියේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා ශිෂ්‍ය කෙටි චිත්‍රපට උලෙළකදී ජයග්‍රහණය කොට තිබේ. 07 වැනි සකර්යා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ තරගකාරී අවසන් වටයෙන් 'මට්න්' නමැති කෙටි චිත්‍රපටය ජයග්‍රහණය කොට ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව හා රුපවාහිනී අධ්‍යයනය පිළිබඳ උපාධියක් හිමි කරගෙන ඇති හසන්ත දිසානායක තරුණයා එහි අවසන් වසරේ නිර්මාණය සඳහා මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කොට තිබේ. මෙය විනාඩි 12ක කෙටි චිත්‍රපටයක් වන අතර ප්‍රකට නවකථාකරුවකු වන රෝලඩ් ඩාල් විසින් රචිත 'ලැම්බි ටු ද ස්ලෝටර්' නම් නව කථාව ඇසුරෙන් හසන්ත නිර්මාණය කොට තිබිණි. රටවල් 197ක නිර්මාණ 7000ක් අතුරින් හසන්ත දිසානායක තරුණ සිනමානවේදියාගේ මේ කෙටි චිත්‍රපටය ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි. හසන්ත දිසානායක විසින් නිර්මාණය කරණු ලැබූ මෙකී කෙටි චිත්‍රපටය භූතානයේ ඩිරක් අන්තර්ජාතික චිත්‍රපට උලෙළ, ඉරානයේ මුවින්, ඉන්දියාවේ මැද්‍රාස් ස්වාධීන, නයිජිරියාවේ බයෙල්සා යන චිත්‍රපට උලෙළවල් සඳහා ද ඉදිරිපත් කොට ඇගයීමට පාත්‍ර වී ඇති බව හසන්ත දිසානායක මහතා කියා සිටියේය.

කුඩා කල සිට රංගනයට, නිර්මානකරණයට ඇලුම්කළ හසන්ත ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිසිසුවෙකි. හසන්ත සිය පළමු නිර්මාණය 2016 වර්ෂයේදී සිදුකොට ඇති අතර එම කෙටි චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති තරගාවලියකදී ජනප්‍රියම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනු ලැබීය. හසන්ත ඊයේ (20) මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර ඔහු ප්‍රසිද්ධ සමාජ සේවකයකු වන උප්පැන්න හා විවාහ රේජිස්ටාර් සිසිර ජයන්ත දිසානායක මහතාගේ පුත්‍රයාය.

නන්දසිරි වැලිගමගේ - ගාල්ල දිසා සමූහ

 

නව අදහස දක්වන්න