ලොහාන්ගේ අනුරාධපුර බන්ධනාගාර සිද්ධිය ගැන නිසි විමර්ශනයක් කරන්න | දිනමිණ

ලොහාන්ගේ අනුරාධපුර බන්ධනාගාර සිද්ධිය ගැන නිසි විමර්ශනයක් කරන්න

නෙල්කා මැදගෙදර

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි රඳවා සිටි සැකකරුවන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් ගෙන නිසි විමර්ශනයක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට ඊයේ (21) නියෝග කළේය. එම සිද්ධියට සම්බන්ධ රැඳවූවන් අනුරාධපුර බන්ධනාගාරයෙන් සුදුසු බන්ධනාගාරයකට වහාම මාරු කර යවන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතාට මෙහිදී නියෝග කළේය. එම සිද්ධිය මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන ලෙස ඉල්ලා එම රැදවියන් 8දෙනා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගයන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1),12(2) යන විධිවිධාන මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් අදාළ සිද්ධිය හේතුවෙන් බැලූ බැල්මට උල්ලංඝණය විය හැකිය යන පදනම මත මෙම පෙත්සම විභාගයට ගැනීමට තීරණය කෙරිණි. පෙත්සම් විභාගය ලබන පෙබරවාරි මස 15 වැනිදා ඇරඹීමට නියම කෙරිණි.

ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

නව අදහස දක්වන්න