කලාපීය මිත්‍රත්වයේ සබඳතා සවිමත් කිරීම | දිනමිණ

කලාපීය මිත්‍රත්වයේ සබඳතා සවිමත් කිරීම

ශ්‍රී ලංකා-ඉන්දියා මිත්‍ර සම්බන්ධතා ශක්තිමත් කිරීමට පසුබිම් වන කාරණා දෙකක් පසුගිය දිනවල සිදු විය. මීට සති කිහිපයකට පෙර සිට ශ්‍රී ලාංකීය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගයන “මැණිකේ මගේ සිතේ....” ගීතය ඉන්දියාවේ උන්මාදයක් මෙන් ජනප්‍රියවීම එකකි. අනෙක, මීට දෙදිනකට ඉහතදී උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපොළ විවෘත වීමයි. අගමැති නරේන්ද්‍ර මෝදි ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමඟ එහි ළඟාවූ පළමු ගුවන් යානය භික්ෂූන් වහන්සේ සියක් නමක් සමඟ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන්ගත් ශ්‍රී ලංකන් ගුවන් යානයයි.

සම්බුද්ධ පරිනිර්වාර්ණය සිදු වූ කුසිනාරාව අයත් වන්නේ වර්තමාන කුෂිනගර් දිස්ත්‍රික්කයටය. එම ස්ථානයේ පිහිටා ඇති මහා පරිනිබ්බාන විහාරස්ථානය වැඳ පුදා ගැනීම සඳහා කුසිනාරාවට පැමිණෙන ලෝක වාසී බෞද්ධ ජනතාවට නව ගුවන් තොටුපොළ විවෘත වීම විශාල පහසුවකි. ඒ සමඟ ඉන්දීය සංචාරක කර්මාන්තයේ 20%ක පමණ වර්ධනයක් ඇති වනු ඇතැයි ද අපේක්ෂිතය.

ද්වි පාර්ශ්වික සබඳතා

බුදුදහම කේන්ද්‍ර කර ගනිමින් අශෝක අධිරජ සමයේ පටන් ශක්තිමත් වූ ඉන්දු-ලංකා සබඳතා පිළිබඳ අගමැති මෝදි මෙහිදී සිහිපත් කර තිබිණි. ශ්‍රී ලංකාවට සමීපතම අසල්වැසියා ඉන්දියාවය. බොහෝ දුරට ඉන්දියාව ශ්‍රී ලංකාව පිළිබඳ කතා කරන්නේද කලාපයේ සිය සමීප මිතුරකු වශයෙනි. ආගමික සංස්කෘතික ආදී ක්ෂේත්‍ර ඔස්සේ විහිදෙන ද්විපාර්ශ්වික සබඳතාවන්ට වසර පහකට වැඩි ඉතිහාසයක් තිබේ. ක්‍රමයෙන් වෙළෙඳ, ආර්ථික, ආරක්ෂක, ආදී ක්ෂේත්‍ර ඔස්සේ ද ව්‍යාප්ත විය. දෙරට අතර මිත්‍රත්වයේ ප්‍රබලම සන්ධිස්ථානය වශයෙන් සැලකිය හැකි වන්නේ අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ ක්‍රි.පූ. වැනි සියවසේදී ලක්දිවට බුදුදහම රැගෙන පැමිණීමය. අනතුරුව අශෝක අධිරාජයාගේ දියණිය සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද රැගෙන මෙරටට සපැමිණියාය. සමස්තයක් ලෙස දෙරටේම පාලන තන්ත්‍ර සෑම කලකම පාහේ ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට වෙර දරා තිබේ.

දශක තුනක් ඔස්සේ ශ්‍රී ලංකාව පීඩාවට පත් කළ එල්ටීටීඊ ත්‍රස්තවාදී බෙදුම්වාදී යුද්ධය ගැන අවධානය යොමු කරන විට ද ඉන්දීය සාධකය මඟහැර යා නොහැකිය. ආරම්භයේ දී ඉන්දියාව එල්ටීටීඊය පෝෂණය කළ බව නොරහසකි. පසුව 1987 ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ ඉන්දීය හමුදා මෙහි පැමිණීම සිදු විය. හිටපු අගමැති රජිව් ගාන්ධි එල්.ටී.ටී.ඊය විසින් ඝාතනය කිරීමෙන් පසුව ඔවුන් පිළිබඳ ඉන්දියාවේ පිළිවෙත වෙනසකට ලක් විණි. 2009දී ශ්‍රී ලංකාව එල්ටීටීඊ ත්‍රස්තවාදය තීරණාත්මක පරාජයට කරන විට ඉන්දියාව ඊට බලපෑම් නොකරන පිළිවෙතක පිහිටා ක්‍රියා කරන තරම් සමීප අවබෝධයකින් දෙරටම ක්‍රියා කළේය. ඒ අතරම, ඉන්දියාව වරින් වර පළකරන අදහස් 13 වැනි සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කළ යුතු බවය. 2015දී ශ්‍රී ලංකාවේ සිදු වූ බල වෙනස සමඟ එහි ඉන්දීය භූමිකාව දේශපාලන ලෝකයේ අවධානයට ලක්වූ කාරණයක් විය.

අසල්වැසි බලවතා

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද දීර්ඝ කාලයක් මුළුල්ලේ සමීප මිත්‍රත්ව සබඳතා පවතී. දෙරටම එකිනෙකා සම්බන්ධයෙන් සලකන්නේ අවංක මිතුරන් ලෙසය. යුද සමයේ, විශේෂයෙන් මුල් වකවානුවල ඉන්දියාව අනුගමනය කළ පිළිවෙත සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ ආකාරය අනුව ශ්‍රී ලංකා-චීන සබඳතා ද ශක්තිමත්ව වර්ධනය විය. කලාපීය බල තරඟයේ හැසිරීම අවධානයට ලක්කරන විට එය ඉන්දියාවේ සතුටට කාරණයක් නොවේ. වර්තමානය වන විට මේ දෙරට සමඟම ශ්‍රී ලංකාව සබඳතා වර්ධනය කරගෙන ඇති අයුරු දැකිය හැකිය.

රට තුළ 2019දී සිදු වූ දේශපාලන වෙනසත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ද පළමු විදේශ සංචාර සඳහා තෝරා ගත්තේ සිය අසල්වැසි බලවතාය. මෑත වර්ෂ කිහිපය තුළ ද ආගමික, සංස්කෘතික, ආරක්ෂක, ආර්ථික ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ එම ද්වි පාර්ශ්වික සම්බන්ධතා වර්ධනය වෙමින් ඉදිරියට යමින් පවතී. ඉන්දියාවේ ස්වෛරීභාවයට තර්ජනයක් වන පරිදි සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව කිසි විටෙකත් කටයුතු කර නැත. මේ දෙරටම නොබැඳි ව්‍යාපාරයේදී පුරෝගාමී කාර්යභාරයක් ඉටු කර ඇත.

නේරු-බණ්ඩාරනායක, ඉන්දිරා-සිරිමාවෝ පාලන යුගවලදී දෙරට අතර පැවැති සමීප මිත්‍රත්තවය 77න් පසුව ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව වඩාත් අමෙරිකාවට බරවීමත් සමඟ යම් වෙනසකට ලක්විය. ඉන් පසුව ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේදී එම පරතරය වඩා පුළුල් විය. මේ පසුබිම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හිතකර නොවූ බව පැහැදිලි වේ.

ඉන්දියාව වරින් වර කියා සිටින්නේ ‘අසල්වැසියා පළමුව’ පිළිවෙතේ පිහිටා තමන් කටයුතු කරන බවය. විශේෂයෙන් විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති මෙහෙයවීමේදී ශ්‍රී ලංකාවද එවැනි පිළිවෙතක පිහිටා කටයුතු කරන බව පෙනෙන්නට ඇත. ඒ සමඟම ශ්‍රී ලංකාවේ විදෙස් පිළිවෙතේ මූලික හරය නොබැඳි මධ්‍යස්ථ බවය. සෑම රටක් සමඟම සුහදශීලී සබඳතා පැවැත්වීමට එය ඉවහල් වී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවල තීන්දු තීරණ ගැනීමේදී ඉන්දියාව අමෙරිකාව සහ බටහිර රටවල් සමඟ තමන්ට ඇති මිත්‍රත්වය ද සැලකිල්ලට ගනිමින් ක්‍රියාකර ඇති බව පැහැදිලි වේ.

අවබෝධතා ගිවිසුම්

සංස්කෘතික, ආරක්ෂක, වෙළෙඳ ආර්ථික ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දෙරට අතර එකඟතා සම්මුති ගිවිසුම් ආදිය ඇතිවී තිබේ. ඒවායේ ප්‍රතිඵල දෙරටටම එක හා සමානව පලදායී නොවන බව යථාර්ථය නමුත්, බොහෝ විට ඒවා දෙරටටම වාසිදායක තත්ත්ව ඇති කර තිබේ.

කලාපීය ආරක්ෂාව, ස්ථාවරත්වය, ත්‍රස්තවාදය පිටුදැකීම වැනි සාධක සැලකිල්ලට ගැනීමේදී ආරක්ෂක සහයෝගිතාවක් පැවැතීම වැදගත්ය. එම සහයෝගිතාව ශක්තිමත් කරමින් වරින්වර දෙරට අතර යුද අභ්‍යාස ද පැවැත්වේ. ආරක්ෂක හමුදා අතර පුහුණුවීම් ආරක්ෂක ප්‍රධානීන්ගේ සංචාර ආදියද එසේමය. පසුගිය දිනවලද ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාපතිවරයා ද මෙරට සංචාරය කළේය.

ශ්‍රී ලංකා-ඉන්දියා නිදහස් වෙළෙඳ ගිවිසුම ඇතිකර ගැනීම සිදු වූයේ 2020 මාර්තුවේදීය. එතැන් පටන් මෙරට අපනයන ක්ෂේත්‍ර‍ෙය්ද වර්ධනයක් ද්වි පාර්ශ්වික වෙළෙඳාම අරබයා ඇති වී තිබේ. ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලම අපනයනකරුවා වන ඉන්දියාව, මෙරටින් වැඩිම අපනයන යොමු කෙරෙන්නේ අමෙරිකාවට වන අතර, දෙවැනි තැන සිටින්නේ බ්‍රිතාන්‍යයයි. කෙසේ වුව ද දෙරට අතර වෙළෙඳ පරතරය තවමත් ඉහළ අගයකි. එහි කැපී පෙනෙන පහළ යාමක් දක්නට ඇතත්, එය අඩු කර ගැනීම සඳහා විශාල වර්ධනයක් ඇති විය යුතුව තිබේ.

2020 වසරේදී ශ්‍රී ලංකාව ඇ.ඩො බිලියන 03ක භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කළ අතර අපනයනය කළේ ඇ. ඩො. මිලියන 645ක් වැනි ප්‍රමාණයකි. 2019 වසරේදී වෙළෙඳ පරතරය ඇ. ඩො. බිලියන 3.3වූ නමුත්, 2020දී එය ඇ.ඩො. බිලියන 2.4 දක්වා අඩු කර ගැනීමට හැකිවීම සතුටුදායක තත්ත්වයකි.

ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීම සඳහා ද ඉන්දීය ආයෝජකයන් දිරි ගැන්වී ඇත. මෑත කාලීනව කොළඹ වරාය නැ‍ෙඟනහිර ජැටිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ අතර එය අත්හිටුවිණි. ඒ වෙනුවට බටහිර ජැටිය ව්‍යාපෘතිය දියත්ව ඇත. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන රටවල් අතර ඉන්දියාව ද ප්‍රමුඛයෙකි. ශ්‍රී ලංකාවේ සමාගම් ද ඉන්දියාවේ ආයෝජන සඳහා යොමුව සිටීම වර්ධනීය තත්ත්වයකි. දෙරටේ වාණිජ සංගම් අතර අවබෝධතා ගිවිසුම්ද ඇති වී තිබේ.

සංවර්ධන සහයෝගිතාව

සංවර්ධන සහයෝගිතාව සැලකිල්ලට ගැනීමේදී ද දෙරට අතර සබඳතා වැදගත්ය. ඇ. ඩො.බිලියන 3.45ක් පමණ වන සංවර්ධන ආධාරවලින් ඇ.ඩො. මිලියන 560ක් පමණ ප්‍රධානයන්ය. උතුරු සහ නැ‍ෙඟනහිර නිවාස 50,000 ව්‍යාපෘතිය ඉන්දීය රුපියල් කෝටි 1372ක ප්‍රදානයකින් ක්‍රියාත්මක එවැනි ව්‍යාපෘතියකි. මේ වන විට ඉන් නිවාස 45000ක් පමණ ඉදි වී තිබේ. කඳුකරයේ ද මෙවැනි නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මකය. ඒ යටතේ නිවාස 10,000ක ව්‍යාපෘතියක් දියත් විය.

දෙරට අතර ධීවර ප්‍රශ්නය වැනි අර්බුදකාරී තත්ත්ව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ප්‍රයත්න දැරෙමින් පවතී. එය දැනට විසඳාගත යුතු ප්‍රමුඛතා අතර ඇත.

1990 සුවසැරිය ගිලන් රථ සේවාව ද ඉන්දීය ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු අතර, මෙරට සෞඛ්‍ය සේවා වෙනුවෙන් අගය කළ හැකි දායකත්වයක් ලබා දෙමින් ඇත. උතුරු දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු මෙන්ම දුම්රිය මැදිරි ලබා දීමේදී ද ඉන්දියාව මෙරටට සහාය වෙමින් සිටී.

සංස්කෘතික ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් ඔස්සේ වර්ධනය වෙමින් ඇත. ඉන්දියා හා ශ්‍රී ලංකා ජනතාව අතර සමීප බව සුහඳතාව, සහයෝගිතාව අරමුණු කරමින් දියත් කෙරෙන වැඩපිළිවෙළ ද දෙරටේ සබඳතා කෙරෙහි ඵලදායී මෙන්ම වැදගත් බලපෑම් ඇති කරනු ඇත.

ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ ලොකු අයියාය යන ආකල්පයට වඩා සමීප අසල්වැසියාය යන ආකල්පය ද දෙරට එකිනෙකා අවංක මිතුරන් ලෙස පිළිගැනීම ද වැදගත් වනු ඇත. අද දේශපාලනික සාධක හා අන්තර්ජාතික සබඳතා ක්ෂේත්‍රයේදී උපාය මාර්ගිකව කටයුතු කිරීම වැනි සාධක ද ශ්‍රී ලංකා-ඉන්දියා සම්බන්ධතා කෙරෙහි තීරණාත්මකව වැදගත්ය.

ධම්මික සෙනෙවිරත්න

 

නව අදහස දක්වන්න