චරිත් සහ භානුකගේ පිති හරඹයෙන් ශ්‍රී ලංකාව සුපිරි 12 සටන ජයග්‍රහණයකින් අරඹයි | දිනමිණ

චරිත් සහ භානුකගේ පිති හරඹයෙන් ශ්‍රී ලංකාව සුපිරි 12 සටන ජයග්‍රහණයකින් අරඹයි

චරිත් අසංලක සහ භානුක රාජපක්ෂ වාර්තා කළ විශිෂ්ට අර්ධ ශතක හේතුවෙන් බංග්ලාදේශය සමඟ ඊයේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

සාජාහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 171ක් රැස් කරමින් දුන් අභියෝගය පන්දු 7ක් ඉතිරිව තිබියදී සපුරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වූයේ කඩුලු 5ක් පමණි.

මුල් කඩුලු 4 ලකුණු 79කට බිඳ වැටීමෙන් පසු චරිත් අසලංක සමඟ පිටියේ එක් වූ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවත රැගෙන ගියේ පන්දු 52කින් ලකුණු 86ක සබඳතාවක් පිහිටුවමිනි.

භානුක දැවී යෑමෙන් එම සබඳතාව නිමා වන විට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 7ක් පමණි. සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය ලෙස ලකුණු 53ක් රැස් කළ භානුක හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කළ අතර, වැය කළේ පන්දු 31ක් පමණි.

ඉන් පෙර පැතුම් නිශ්ශංක සමඟින් දෙවැනි කඩුල්ලට පන්දු 45කින් ලකුණු 69ක් එක් කිරීමට ද අසලංකට හැකි විය. පැතුම් ලකුණු 29කට දැවී ගිය අතර, ඉනිම නිමා වන තෙක් පිටියේ රැඳී සිටි අසලංක ඊයේ මංගල විස්සයි20 අර්ධ ශතකය ලෙස ලකුණු 80ක් රැස් කළේය. පන්දු 49කින් ගොඩනැඟුණු ඔහුගේ ඉනිම හතරේ 5ක් සහ හයේ පහර 5කින් වර්ණවත් විය.

පැතුම් සමඟින් ඉනිම ඇරඹු කුසල් පෙරේරා එක් ලකුණකට දැවී ගිය අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු රැස් කිරීමට පෙරත්, වනිඳු හසරංග ලකුණු 6කටත් දැවී ගිය පිතිකරුවන් අතරට එක් වූහ. මොහොමඩ් නයීම්ගේ සාර්ථක ආරම්භයත් මුෂ්ෆිකූර් රහීම්ගේ අර්ධ ශතකයත් හේතුවෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශයට පහසුවෙන්ම ලකුණු 171ක සීමාවට පිවිසීමට හැකි විය.

නයීම් සමඟින් ඉනිම ඇරඹූ ලිටොන් දාස් (16) ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ පළමු කඩුල්ලට ලෙස මුළු ලකුණු 40දී දැවී ගිය අතර, ඉන් පසු ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් දක්නට ලැබිණි.

තවත් ලකුණු 16ක් එක් වෙද්දී ශකිබ් අල් හසන් ලකුණු 10කට පිටියෙන් ඉවත් කිරීමට චාමික කරුණාරත්නට හැකි විය. අනතුරුව ඉනිම ගොඩනැඟීමට නයිම් සමඟ එක් වූ මුෂ්ෆිකූර් රහීම් පන්දු 51කදී ලකුණු 73ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 129 දක්වා ඉදිරියට ගෙන ගියේය.

පන්දු යැවූ බිනුර ප්‍රනාන්දු විසින්ම උඩ පන්දුවක් රැක ගැනීමත් සමඟ නයීම්ගේ ඉනිම නිමා වූයේ හතරේ පහර 6ක් සමඟ පන්දු 52කින් ලකුණු 62ක් රැස් කර තිබියදීය.

වේගවත් පිති හරඹයක නිරත වූ රහීම් ඉනිම නිමා වන තෙක් කඩුල්ලේ රැදෙමින් නොදැවී ලකුණු 57ක් රැස් කළේය. හතරේ පහර 5කින් සහ හයේ පහර 2කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිමට වැය වූයේ පන්දු 37ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයේදී වෙනසක් සිදු කරමින් නෙදර්ලන්තයට එරෙහිව පැවැති පළමු වටයේ අවසන් තරගයේදී ආබාධයකට ලක් වූ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබිණි. බිනුර සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් 5 දෙනකු සමඟින් තරගයට එක් වීම විශේෂත්වයක් විය.

බංග්ලාදේශය ද එක් වෙනසක් කරමින් නසුම් අහමඩ් කැඳවා තිබුණේ දඟ පන්දු යවන්නන් තිදෙනකු කණ්ඩායමට එක් කරමිනි.

ශ්‍රී ලංකා පිල සහභාගී වන මීළඟ තරගය 28 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදී පැවැත්වේ.

බංග්ලාදේශය - 171/4යි. (ඕවර 20) මොහොමඩ් නයීම් 62, මුෂ්ෆිකූර් රහීම් නොදැවී 57

ශ්‍රී ලංකාව - 172/5යි. (ඕවර 18.5) චරිත් අසලංක නොදැවී 80, භානුක රාජපක්ෂ 53 (ශකීබ් අල් හසන් 17/2, නසුම් අහමඩ් 29/2)

නව අදහස දක්වන්න