CIPM Sri Lanka සංවිධාන කරන ලෝක මානව සම්පත් සමුළුව දෙසැම්බර් 6දා සිට මාර්ගගත ක්‍රමයට | දිනමිණ

CIPM Sri Lanka සංවිධාන කරන ලෝක මානව සම්පත් සමුළුව දෙසැම්බර් 6දා සිට මාර්ගගත ක්‍රමයට

මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (Chartered Institute of Personnel Management Sri Lanka - CIPM Sri Lanka) විසින් පිරිස් කළමනාකරණ සංවිධානවල ගෝලීය එකමුතුව (World Federation of People Management Associations - WFPMA) හා ආසියා-ශාන්තිකර මානව සම්පත් කළමනාකරණ සම්මේලනය (Asia-Pacific Federation of Human Resource Management) සමඟ එක්ව සංවිධාන කරන ලොව විශාලතම මානව සම්පත් සමුළුව වන ලෝක මානව සම්පත් සමුළුව 2021 (World HR Congress 2021) මේ වසරේ දෙසැම්බර් 6 දා සිට 8 දා දක්වා මාර්ගගත සමුළුවක් ලෙසින් කොළඹදී පැවැත්වෙන බවට නිවේදනය කර සිටී. මෙවර සමුළුවේ තේමාව ලෙස “Exalting People Professionals Amidst a Planetary Pandemic: Explore, Expand and Excel” තෝරාගෙන ඇත්තේ, ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ පවා වඩාත්ම අවධානයට බඳුන්ව තිබෙන මාතෘකාවක් වන මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙනි. තෙදිනක් පුරා මානව සම්පත් කළමනාකරණයෙහි පවතින විවිධාකාරයේ පැතිකඩ පිළිබඳ ඩිජිටල්කරණය, බාධා, විවිධත්වය සහ පරිපූර්ණත්වය යන අංශ ඔස්සේ එහිදී සාකච්ඡාවට බඳුන් වනු ඇත්තේ, නව වැඩ කරන ලෝකයකට නායකත්වය දීම සඳහා තම දැක්ම හා සංවාදාත්මක අදහස් බෙදාහදා ගැනීමට සැදී පැහැදී සිටින ලෝකයේ නම ගිය, තෝරාගත් කථිකයන් පිරිසකගේ සහභාගීත්වයෙනි. ලෝක මානව සම්පත් සමුළුව 2021 වෙනුවෙන්ම පවත්වාගෙන යනු ලබන https://wfpmacongress.com/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් විවර්ණිකා, ලියාපදිංචිය සහ පවතින විවිධාකාර සත්කාරකත්ව අවස්ථා සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ගත හැක.

ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ සභාපති ජයන්ත අමරසිංහ මේ සම්බන්ධයෙන් පැවසුවේ , “මේ කීර්තිමත් මානව සම්පත් සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය දීමට හැකි වීම ගැන අප ආඩම්බර වෙනවා. වසංගත තත්ත්වයෙන් බාධා පැමිණ තිබෙන ලෝකයක අනාගතයට පිවිසීම සඳහා අපට ඔරොත්තු දීමේ හැකියාව ඇති, මඟ පෙන්විය හැකි නායකත්වයක් අවශ්‍ය වෙනවා. වැඩ කිරීම සහ ජීවත් වීම සඳහා උදා වී ඇති නව ලෝකයක බලාපොරොත්තු සහ අභියෝග අලුතින් එල්ලව තිබෙනවා. තිරසර වර්ධනය අත්පත් කර ගැනීමට හා අපගේ අනාගතය නැවත ගොඩ නංවා ගැනීමට නම්, නවෝත්පාදනය, ජනතා සහභාගීත්වය සඳහා ගුණාත්මක පුරුදු සහ විශ්වාසනීයත්වය ඉතා වැදගත්. අභියෝග සහ අවස්ථා පිළිබඳ සාකච්ඡා කොට නව මානව සම්පත් න්‍යාය පත්‍රයක් සකස් කිරීමට ලෝක මානව සම්පත් සමුළුව 2021 සුදුසුම තැනක්,” යනුවෙනි.

 

නව අදහස දක්වන්න