පරීක්ෂණ සමත් වන අයට ජපානයේ ඕනෑ තරම් රැකියා තියෙනවා | දිනමිණ

පරීක්ෂණ සමත් වන අයට ජපානයේ ඕනෑ තරම් රැකියා තියෙනවා

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු අමාත්‍ය, ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත නීතිඥ රොෂාන් ගමගේ

  • පරීක්ෂණ සියල්ලම පැවැත්වෙන්නේ පරිගණක ආශ්‍රිතවයි
  • මේ අවස්ථාව ලැබිල තියෙන්නේ අවුරුදු පහකට
  • දෙරට අතර සංස්කෘතික පසුබිම ගත්තත් අප සමීපයි

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අලුත්ම දොරටුවක් විවෘත වී තිබේ. ‘විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන’ (SSW) යනුවෙන් හැඳින්වෙන එම වැඩසටහන පිළිබඳ සහ එම අවස්ථාව ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු අමාත්‍ය, ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත නීතිඥ රොෂාන් ගමගේ මහතා සමඟ කළ සංවාදයකි.

 ජපානය වැනි රටක නිපුණතා සහිත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා ගැනීමට හැකි වීම විශාල කාරණයක්. මොකක්ද මේ ‘විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන’ කියන්නෙ?

මේ විදේශ රැකියා වෙළෙඳපොළේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජපානයට විවෘත වන අලුත්ම දොරටුවක්. ‘විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන‘ (SSW) යනුවෙන් හැඳින්වෙන මේ වැඩසටහන ජපානය හඳුන්වා දුන්නේ 2019 අප්‍රේල් 1 වැනිදායි. ලෝකයේ වැඩිම වයස්ගත ජනගහන ප්‍රතිශතයක් ඇති රටවල් අතරින් ජපානය ප්‍රමුඛයි. සෑම තුන් දෙනකුගෙන්ම එක් අයෙක් අවුරුදු හැට පහට වැඩියි. එවැනි පසුබිමක ශ්‍රම බලකායේ ප්‍රමාණය හා ප්‍රතිශතය පහළ යෑම ජපානය මුහුණ දෙන විශාල අභියෝගයක්. ලෝකයේ තුන්වැනි ආර්ථික බලවතා වන ජපානයට ඒ හේතුවෙන් ඇති වන ආර්ථිකමය හා සමාජමය බලපෑම සුළුපටු නෑ.

ජපානයේ ඇතැම් පිටිසර බද ප්‍රදේශ ජනශුන්‍ය තත්ත්වයක් තියෙන්නේ. කර්මාන්තවලට සේවකයො නෑ. වෙළෙඳපොළවල පාරිභෝගිකයෝ නෑ. ඒ නිසා මේ විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන ඔවුන් හඳුන්වා දුන්නේ ඉතාමත් සැලසුම් සහගතව.

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන පළමු කාණ්ඩය සහ දෙවැනි කාණ්ඩය වශයෙන් මේ වැඩසටහන අවස්ථා දෙකකින් ක්‍රියාත්මක වෙනවා. මේ පළමු වැනි කාණ්ඩය යටතේ ප්‍රධාන රැකියා ක්ෂේත්‍ර දහ හතරක් සඳහා විදේශ ශ්‍රමිකයන් 345000කට ජපානයේ රැකියා දොරටු විවෘත වෙනවා. මේ අවස්ථා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර දෙවසරකට පෙර ගිවිසුම් අස්සන් කළා.

මේ ක්ෂේත්‍ර දහ හතර වෙනම හඳුන්වා දෙන්න හැකිද?

හෙද සත්කාර-ශාරීරික ආබාධ සහිත පුද්ගලයන්ට උපකාර කිරීම, ගොඩනැඟිලි පිරිසිදු කිරීම-ගොඩනැඟිලි ඇතුළත පිරිසිදු කිරීමේ රැකියා, ඉදිකිරීම් කර්මාන්තය-නිවාස ගොඩනැඟිලි සහ වෙනත් ඉදිකිරීම්, යන්ත්‍ර කොටස් හා මෙවලම් කර්මාන්තය-යන්ත්‍ර කොටස් නිර්මාණය, කාර්මික යන්ත්‍රෝපකරණ කර්මාන්තය-කාර්මික යන්ත්‍රෝපකරණ නිර්මාණක රැකියා, විදුලි ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු කර්මාන්තය, නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්තය, මෝටර් රථ අලුත්වැඩියා කිරීම හා නඩත්තුව, ගුවන්සේවා කර්මාන්තය, ගුවන් යානා වෙත මලු ප්‍රවාහනය, ගුවන් යානා පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීමේ රැකියා, හෝටල් කර්මාන්තය-අමුත්තන් පිළිගැනීමේ ස්ථාන සහ අමුත්තන් සමඟ කටයුතු කිරීමේ රැකියා, කෘෂිකර්මාන්තය-එළවළු වැවීම, එළවළු හා වෙනත් වගාවන්හි අස්වනු නෙළීම, ඌරන් ගවයන් කුකුළන් සහ වෙනත් සතුන් ඇති කිරීම, ධීවර හා ජලජීවි වගාව, මසුන් ඇල්ලීම සහ මසුන් ඇති කිරීමේ රැකියා, ආහාර හා බීම නිෂ්පාදනය, ආහාර පිළියෙළ කිරීමේ රැකියා සහ ආහාර සේවා කර්මාන්තය-සංචාරක හෝටල් හා අවන්හල් ආදියේ ආහාර රැගෙන පිළිගැන්වීම ඒ ක්ෂේත්‍ර දහ හතරයි. මේ ප්‍රධාන ක්ෂේත්‍ර දහ හතර යටතේ උප ක්ෂේත්‍ර අසූ දෙකක් පමණ තියෙනවා. දැන් පැහැදිලි ඇති ශ්‍රී ලාංකිකයන්ට විශාල රැකියා ප්‍රමාණයක් ලබා ගැනීමේ අවස්ථාව ඇති බව. මේ රැකියා වෙනුවෙන් කිසියම් කෝටා ප්‍රමාණයක් ලබා දීමක් සිදු වන්නේ නෑ.

එසේ නම් මේ රැකියා සඳහා අයඳුම් කළ හැක්කේ කෙසේද? කොන්දේසි මොනවාද?

මූලික සුදුසුකම වයස අවු: දහ හත සම්පූර්ණ වීමයි. ඊළඟට ඒ සඳහා සුදුසුකම් දෙකක් අවශ්‍යයි. එකක් ජපන් භාෂාව. ඒ කොපමණ මට්ටමකට ද කියල සඳහන් වෙනවා. එකක් තමයි ජපන් පදනමෙන් කරන ජපන් භාෂා පදනම් විභාගය ‘මූලික පරීක්ෂණය ’සමත් වීම. නැතිනම් ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ හතර වැනි මට්ටම (JLPT-N4) සමත් විය යුතුයි. අනෙක තමයි තමන් අයඳුම් කරන රැකියා ක්ෂේත්‍රයට අදාළව (උදාහරණයක් හැටියට අපි හිතමු කෘෂි කර්මාන්තය කියලා) ඒ දැනුම පරීක්ෂා කිරීමට පවත්වන පරීක්ෂණය සමත්වීම. ඒ පරීක්ෂණය ලංකාවේදී පැවැත්වෙනවා. මේ පරීක්ෂණ දෙකම ජපන් භාෂාවෙන් පැවැත්වෙන්නෙ. ඒ භාෂා දැනුම යම් ප්‍රවීණතා මට්ටමකට අවශ්‍යයි. ඒ මට්ටම ඉතා ප්‍රාථමිකත් නෙවෙයි. ඉතා ඉහළ මට්ටමකුත් නෙවෙයි. මේ හැරුණම අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද අවශ්‍ය කරන්නේ නෑ. ඒ නිසා මේ පරීක්ෂණ දෙක සමත් වන අයට ජපානයේ ඕනෑ තරම් රැකියා අවස්ථා තියෙනවා. මේ වැඩසටහන 2019 ආරම්භ කළාට තවමත් ඒ රැකියාවලට විශාල වශයෙන් එන්න පටන් ගත්තෙ නෑ. මොකද මේ සඳහා රටවල් සූදානම් කිරීම අවශ්‍යයි. ඊළඟට කොවිඩ් වසංගතය ආවා. ඒකෙනුත් එය මන්දගාමී වුණා. දැන් මෙය ආරම්භ වෙලා තියෙන්නෙ.

මුලින් කියපු විශේෂ නිපුණතා සහිතව මේ වැඩසටහනේ පළමු කාණ්ඩය යටතේ ජපානයට පැමිණෙන ශ්‍රමිකයෙකුට කොන්දේසි කිහිපයක් අදාළයි. එනම් මුළුමනින්ම වසර පහක් ජපානයේ සේවය කළ හැකි වීම, ශ්‍රමිකයන්ගේ පවුල ජපානයට ගෙන යෑමට නොහැකි වීම, ශ්‍රමිකයාට ජපන් ශ්‍රමිකයකුට සමාන වූ වැටුපක් ලැබීම, ජපන් භාෂාව පිළිබඳ තව දුරටත් පුහුණුව ලැබීම සහ ශ්‍රමිකයාට විවිධාකාර වශයෙන් අවශ්‍ය සහයෝගය අදාළ සමාගම් වෙතින් හිමිවීම වශයෙන්.

මේ පරීක්ෂණ පැවැත්වෙන්නේ කෙසේද?

මේ භාෂා සහ ඒ ඒ ක්ෂේත්‍රයට අදාළ නිපුණතා පරික්ෂණ සඳහා ප්‍රමාණවත් පිරිසක් සිටීම අවශ්‍යයි. ඉදිකිරීම් ක්ෂේත්‍රය ගත්තොත් මේසන් වැඩ, වඩු වැඩ, ජල නල කාර්මික ආදී වශයෙන් උප ක්ෂේත්‍ර දහ අටක් තියෙනවා. ඒ ඒ ක්ෂේත්‍රවලට වෙන වෙනම පරීක්ෂණ පැවැත්වෙනවා.

පළමු කාණ්ඩයට අයත් ක්ෂේත්‍ර දහ හතරෙන් දෙකක් සඳහා නිපුණතා පරීක්ෂණ ලංකාවේ පැවැත්වීමට ජපානයේ ආගමන විගමන ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව මුලින්ම හෙද සත්කාර සේවය හා ආහාර සේවා කර්මාන්ත සඳහා නිපුණතා පරික්ෂණ 2022 ජනවාරි පෙබරවාරි මාසවල පමණ පටන් ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ජපන් භාෂා පරීක්ෂණ සඳහා වන ජපන් පදනමේ මූලික පරීක්ෂණය 2022 ජනවාරි, පෙබරවාරි මාසවල ඇරැඹීමට සූදානම් කර තියෙනවා. මේ පරීක්ෂණ පැවැත්වෙන දින, ස්ථාන ආදිය ඉදිරි කාලයේදී දැනුම් දෙනවා. පරීක්ෂණ සියල්ලම පැවැත්වෙන්නේ පරිගණක ආශ්‍රිත පරීක්ෂණ වශයෙන්. එයින් පසුව සෑම මාස දෙක-තුනකට වතාවත් මේ පරීක්ෂණ පැවැත්වේවි. නිපුණතා පරීක්ෂණයට සහ භාෂා පරීක්ෂණයට ගාස්තුවක් ගෙවිය යුතු වෙනවා. ඒ ඒ ක්ෂේත්‍රය අනුව මේ මුදල සුළු වශයෙන් අඩු වැඩි විය හැකියි. ආහාර සේවා කර්මාන්තයේ නිපුණතා පරීක්ෂණ ගාස්තුව දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 6300ක් පමණ වෙනවා.

මේ රැකියා වැඩසටහන සඳහා ඇතුළත් වීමට වෙනත් ක්‍රම තිබෙනවාද?

ඉහතින් සඳහන් කළ මූලික සුදුසුකම් සම්පූර්ණ නොකරන කිසිවෙකුටත් නිපුණතා සහිත ශ්‍රමිකයන් වශයෙන් ජපානයට යාමට අවස්ථාව ලැබෙන්නේ නෑ. එසේම කිසිදු ගාස්තුවක් කිසිවෙකුටත් ගෙවීමෙන් හෝ දේශපාලන හෝ වෙනත් අනුග්‍රහයක් මත මෙම වැඩසටහන යටතේ ජපානයට යෑමට අවස්ථාව ලැබෙන්නේත් නෑ.

මේ මූලික සුදුසුකම් දෙක සපුරා ගෙන ඇති විට පමණක් විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනක සේවය ඔබට ලබා ගැනීමට පුළුවන්.

පරික්ෂණ සමත් වූ පසුව තමන්ටත් හැකියාවක් තිබෙනවා නම් ජපානයේ ඒ රැකියා අවස්ථා පුරප්පාඩු ගැන සොයා බලා ඒ සඳහා ඉල්ලුම් කළ හැකියි. එසේත් නැත්නම් නියෝජිතායතනයක සහායෙන් ඊට යොමු වීමට හැකියාව තියෙනවා.

අපේ රටේ දැන් අපොස උසස් පෙළ මට්ටමේදීත් ජපන් භාෂාව හැදෑරීමට පුළුවන්. මේ ‍රැකියා සඳහා නම් අවශ්‍ය වන්නේ තමන් ‍තෝරා ගන්නා ක්ෂේත්‍රයට අදාළව ජපන් භාෂා දැනුමයි. උදාහරණයක් හැටියට කෙනෙක් හෙද සත්කාර සේවය තෝරා ගන්නවා නම් පරීක්ෂණ තුනකට ඉදිරිපත් විය යුතුයි. ජපන් භාෂා පරීක්ෂණ, හෙද සත්කාර සේවයට අදාළව භාෂා පරීක්ෂණය සහ හෙද සත්කාර සේවා නිපුණතා පරීක්ෂණය, මෙතෙක් කලක් ජපානයට ගියේ ශිෂ්‍යයන් හැටියට. මුලින් ඉගෙන ගෙන රැකියා සොයා ගත්තා. පුහුණුවීම් සඳහාත් තව පිරිසක් ගියා. ඒ අයට ලැබෙන්නේ වැටුපක් නෙවෙයි දීමනාවක්. ඒ නිසා ලාංකිකයන්ට නිපුණතා සහිත ශ්‍රමිකයෙක් හැටියට ජපානයට යන්න ලැබිලා තියෙන හොඳම අවස්ථාව තමයි මේ. දොරක් ඇරිලයි තියෙන්නේ. අපි ඒ දොරෙන් ඇතුළු වෙන්න ඕනෑ. මේ අවස්ථාව ලැබිල තියෙන්නේ අවුරුදු පහකට. ඒත් එය තවත් දීර්ඝ වෙන්නත් පුළුවන්. මොකද නිපුණතා සහිත ශ්‍රමිකයෙක් තව දුරටත් රඳවා ගැනීමට තියෙන නැඹුරුව වැඩි නිසා.

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහනේ දෙවැනි කාණ්ඩය ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

මේ දෙවැනි කාණ්ඩයට රැකියා ක්ෂේත්‍ර දෙකක් අයත් වෙනවා. ඉදිකිරීම් කර්මාන්තය සහ නැව් තැනීම හා නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්තය. මේ කාණ්ඩයේ විශේෂත්වයක් තමයි පළමු කාණ්ඩයේ රැකියා කාල සීමාව අවසන් කළ ඉහත කර්මාන්ත ක්ෂේත්‍ර දෙකට අයත් ශ්‍රමිකයන්ට කිසිදු පරීක්ෂණයකින් තොරව දෙවැනි කාණ්ඩයට ඇතුළත් විය හැකි වීම. ඒ වගේම තමයි රැකියාව කරන අවුරුදු ගණන ගැන සීමාවකුත් නෑ. පළමු කාණ්ඩයට අයත් රැකියා සඳහා ශ්‍රමිකයන්ට පමණක් ජපානයට යා හැකි වුවත් මේ දෙවැනි කාණ්ඩය යටතේ ශ්‍රමිකයාට තම පවුල ද ජපානයට රැගෙන යා හැකියි.

සාම්ප්‍රදායිකව මැද පෙරදිග රැකියාවලට යොමුවීමට වඩා නිපුණතා සහිත ශ්‍රමිකයකු ලෙස ජපානයට යාමේ ප්‍රතිලාභ කෙබඳුද?

ජපානය ජිවන වියදම වැඩි රටක් වුණත් ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා යොමු වන මැද පෙරදිග රටවලට වඩා හොඳ ආරක්ෂිත පසුබිමක, හොඳ වැ‍ටුපකට නිපුණතා සහිත ශ්‍රමිකයකු ලෙස අවස්ථාවක් ලැබීමේ වැදගත්කම ඉහළයි. ඒ වගේම ජපානයේ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ට එහිදී අවශ්‍ය නවාතැන් ආදී අනෙකුත් පහසුකම් සලසා ගැනීමටත් උපකාරී වෙනවා. වැටුප ගත්තොත් අවම වශයෙන් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වනවා. ඒ නිසා වියදම්වලට පසුව ලොකු මුදලක් ඉතිරි කර ගැනීමට පුළුවන්.

මේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා ඔවුන් පුහුණු කිරීම සඳහාත් එහි වැඩ පිළිවෙළක් තියෙනවා. රැකියාවේ යෙදෙන අතරම ලැබෙන පුහුණුවත් වටිනවා.

තාක්ෂණික සීමා වාසිකයන් ලෙස මේ වන විටත් තමන්ගේ සේවා කාලය සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසුව ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අයටත් නිපුණතා හෝ භාෂා පරීක්ෂණයකින් තොරවම තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ රැකියාවන් සොයා ගැනීමටත් මේ ක්‍රමය යටතේ අවස්ථාව සලසා තිබෙනවා.

ශ්‍රී ලංකා ජපාන මිත්‍ර සබඳතාවල ඉතිහාසය ආගමික සංස්කෘතික පසුබිම ආදී කාරණා ඔස්සේ දැනට වඩා වැඩියෙන් අපට මෙවැනි අවස්ථාවන් සලසා ගැනීමේ හැකියාවක් තිබෙනවා නේද?

පැහැදිලිවම ඒ සඳහා විශාල විභවයක් තියෙනවා. විශේෂයෙන් රැකියා සහ සංචාරක ක්ෂේත්‍රවල එය ඉතා පුළුල්. අපි ඒ අවස්ථා ලබා ගත යුතුයි. දැන් අපට මේ ලැබුණු අවස්ථාවෙන් අපි උපරිම පල ලබාගත යුතුයි.

දෙරට අතර මිත්‍රත්වය වගේම ආගමික සංස්කෘතික පසුබිම ගත්තත් අප සමීපයි. ජපානය බෞද්ධ පදනමක් ඇති රටක්. අප ජපානයට ගියාමත් අපට සමීප හැඟීමක් දැනෙනවා. ඒක ඒ වටපිටාව, සංස්කෘතික පසුබිම වගේ කාරණා සමඟ දැනෙන දෙයක්.

මේ වාසිදායක පසුබිමත් සමඟ මෙය අපට ලැබුණු අවස්ථාවකටත් වඩා ඇත්තටම අප ලබාගත් අවස්ථාවන් ලෙස සැලකිය යුතුය. මේ අවස්ථාව අපි යොදා ගන්නා ආකාරය අනුව ඉදිරි අවස්ථා තීරණය වේවි. ජනවාරි පෙබරවාරි පමණ මේ පරීක්ෂණවලදී ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ දස්කම් පෙන්වන්න පුළුවන් වුණොත් ඒ විශාල රැකියා වෙළෙඳපොළ තුළ අපට තැනක් තිබේවි. ඒ වෙනුවෙන් සූදානම් වෙන්න. සුදුසුකම් සපුරාගන්න කියන ඉල්ලීම තමයි අපට කරන්න තියෙන්නේ.

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ ජපානයේ රැකියාවක් සඳහා යොමු වීමට කැමැත්තක් දක්වන අයට මේ ගැන වැඩිදුර විස්තර දැන ගැනීමට අවස්ථාවක් තිබෙනවාද?

මේ පිළිබඳ දැනුවත් කිරීමේ හා ගැටලු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ සංවිධායකත්වයෙන් හා ශ්‍රී ලංකා හවුස් අනුග්‍රහයෙන් ලබන සෙනසුරාදා (30) වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30ට, ජපානයේ වේලාවෙන් 5.00ට ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව පැවැත්වෙනවා. https//www.facebook.com/srilankaassociationjapan ඔස්සේ එයට සම්බන්ධ වීමට පුළුවන්. ජපානයේ සියලු ශ්‍රී ලාංකික සංගම් සහ ප්‍රවීණයන් මේ වැඩසටහනට එකතු වෙනවා.

ධම්මික සෙනෙවිරත්න

 

නව අදහස දක්වන්න