රවි කරුණානායක ගොනු කළ රීට් පෙත්සම ලබන මස 10දා කැඳවීමේ තීරණයක් | දිනමිණ

රවි කරුණානායක ගොනු කළ රීට් පෙත්සම ලබන මස 10දා කැඳවීමේ තීරණයක්

නෙල්කා මැදගෙදර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 වසරේ මාර්තු මස 31 වැනිදා කළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් කෝටි 1500ක් පාඩු කළේයැයි චෝදනා කරමින් නීතිපතිවරයා මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ඉදිරිපත් කර ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ගොනු කළ රීට් පෙත්සම ලබන මස 10 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයා, මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. ච්ත්‍රසිරි මහතා ඇතුළු පිරිසක් වෙත නොතීසි දන්වා යවන ලෙස ද නියම කෙරිණ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයට මේ නියෝගය කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 වසරේ මාර්තු මස 31 වැනිදා කළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් රවී කරුණානායක මහතා ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මීට පෙර අධිචෝදනා ගොනු කරන ලදි.

එම අධිචෝදනා පත්‍රය නීතියට පටහැණිව ගොනු කර ඇති බව පවසමින් මේ රිට් පෙත්සම ඉදිරිපත් කර ඇත.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව පදනම් කරගෙන නීතිපතිවරයා තමාට එරෙහිව නඩු පැවරීම සිදුකර තිබෙන බව පැවසෙන නමුත් මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් වාර්තාව තුළ තමන්ට එරෙහිව කිසිදු නිර්දේශයක් ඉදිරිපත් වී නැතැයි පෙත්සම මගින් රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

එලෙස තිබියදී අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට නීතිපතිට බලයක් නොමැති බව පෙත්සම්කාර රවී කරුණානායක මහතා සඳහන් කර ඇත.

එබැවින් මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ඇති එම අධි චෝදනා පත්‍රය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර රවි කරුණානායක මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

නව අදහස දක්වන්න