අදානි ආවේ පෞද්ගලික සංචාරයකට- වැවිලි කර්මාන්ත ඇමැති | දිනමිණ

අදානි ආවේ පෞද්ගලික සංචාරයකට- වැවිලි කර්මාන්ත ඇමැති

නුවන් කොඩිකාර

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි මහතා මෙරටට පැමිණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

එම සංචාරයේදී ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ අදාළ සමාගම කරුණු විමසන බවට වාර්තා වී ඇති බවත් දැනටමත් බටහිර ජැටියේ ඉදිකිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ කර ඇති බවත් ඇමැතිවරයා කීවේය.

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි මහතා මෙරට සංචාරය කිරීමේ අරමුණ කුමක් දැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එසේ කීවේය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ආයෝජකයන්ට හිත කර පරිසරයක් ඇති කළ යුතු බවත්, ආයෝජකයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ආණ්ඩුවක වගකීම බවත් පතිරණ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති අවස්ථා විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණියාද යන්න පිළිබඳ මේ වන තෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ඩොලර් හිඟයට පිළියමක් ලෙස විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය බව සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. අප මුහුණ දෙන ඩොලර් හිඟයට පිළියමක් හැටියටත් රටේ සංවර්ධනය සඳහා එවැනි අයෝජන රටට කැඳවාගෙන ඒම විශේෂ කාරණයක්. ශ්‍රී ලංකාව දැනට පවතින තත්ත්වයන් යටතේ ලෝකයේ රටවල් රාශියක් සමඟ සැසඳීමේදී අයෝජකයන් අඩුවෙන් එන රටක්. ඒ තත්ත්වය හොඳ තත්ත්වයට පරිවර්තනය කර ගෙන මේ රටට ආයෝජකයන් කැඳවා ගැනීමට අවශ්‍ය පසුතල පහසුකම් නිර්මාණය කිරීමත් ආණ්ඩුවක වගකීමක් හැටියට අපි සලකනවා යැයිද හෙතෙම කීවේය.

 

නව අදහස දක්වන්න