යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙන් පෙත්සමක් | දිනමිණ

යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙන් පෙත්සමක්

නෙල්කා මැදගෙදර

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීම සඳහා අත්සන් කර තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන මහත්වරු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඊයේ (26) ඉදිරිපත් කළහ.

එම කොටස් අමෙරිකානු සමාගමට දීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, වේස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම, අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි නිව් ෆෝට්‍රස් සමාගම, ලංකා විදුලි බල මණ්ඩලය, ලක්දනවි සමාගම, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපති ඇතුළු සාමාජිකයන්, මුදල් අමාත්‍යාංශ ලේකම්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය ඇතුළු 43 දෙනකු නම් කරනු ලැබ සිටිති.

කෙරවලපිටියේ පිහිටි යුගදනවි තාප බලාගාරය ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක විදුලියක් සම්පාදනය කරනු ලබයි. මේ විදුලි බලාගාරයේ අයිතිකරු සහ මෙහෙයුම් කළමනාකරු වන්නේ වෙස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගමයි. එම සමාගමේ කොටස්වලින් සියයට 95ක් ශ්‍රී ලංකා රජය සතුවේ. යුගදනවි බලාගාරය ද්‍රවකෘත ස්වභාවික ගෑස් සැපයීමේ ව්‍යාපෘතියක් සඳහා අන්තර්ජාතිකව ලංසු කැඳවන බව මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර තිබූ අතර, ඉදිරිපත් වූ ලංසු අනුව අමෙරිකාවේ නිව්යෝක්හි පිහිටි නිව් ෆෝට්‍රස් සමාගම තෝරා ගැනීමට පසුගිය පෙබරවාරි 21 දා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව පෙත්සමෙහි සඳහන් වේ. ඉන් අනතුරුව පසුගිය ජූනි 7 දා අත්සන් තැබූ එම ගිවිසුම අනුව අමෙරිකානු සමාගමට අමෙරිකා ‌ඩොලර් මිලියන 250ක මුදලකට වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ ශ්‍රී ලංකා රජය සතු කොටස්වලින් සියයට 40ක් විකිණීමට එකඟ වී ඇත. ඒ වෙනුවෙන් අමෙරිකානු සමාගම ද්‍රවකෘත ස්වභාවික ගෑස් යුගදනවි සහ කැලණිතිස්ස බලාගාරවලට සැපයීමට එකඟත්වය පළ කර ඇති බවද පෙත්සම්කරුවෝ සඳහන් කරති.

නව අදහස දක්වන්න