නාවික හමුදා ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමනට සැරසෙන ‘ඩග්ලස් මුන්රෝ’ | දිනමිණ

නාවික හමුදා ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමනට සැරසෙන ‘ඩග්ලස් මුන්රෝ’

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම ඊයේ  (26 ) ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ, ‘සියැට්ල්’ වරායෙහි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක කඳවුරේදී සිදු කෙරුණි.
 
මේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න සහභාගී විය.
 
 ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට පී 627 ධජ අංකය යටතේ ඊයේ(26)  සිට එක්වන මෙම නෞකාවේ ප්‍රධාන කුඹ ගසෙහි ශ්‍රී ලංකා ජාතික ධජය අභිමානවත්ව ඔසවනු ලැබීය
 
සාගර කාලාපයේ පොදු අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ  අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ (පි 621) සහ ‘ගජබාහු’ (පි 626) යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අතර, එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස මෙම ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව ලබා දීම සනිටුහන් වෙයි.
 
‘Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මිටර 115ක්,  උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක් ද එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්‍ෂණික උපාංග හා පහසුකම් වලින් සමන්විත වේ.
 
 එමෙන්ම මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදුකළ වකවානුවේ, එරට මුහුදු කළාපයේ සිදු වූ නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය, නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම ටොන් 11.5 කට අධික කොකේන් මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත.
 
 
තවද, ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි මාස 07ක කාලය තුළ නෞකාවට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික හමුදා නැව් මුළුව ‘සියැට්ල්’ වෙරළාරක්‍ෂක කඳවුරට අනුයුක්තව පුහුණු කටයුතු සහ නෞකාව හා සම්බන්ධ අනෙකුත් නවීකරණ කටයුතු සම්පූර්ණ කර, 2022 වර්ෂයේදී ශ්‍රීලංකාවට ලඟාවීමට නියමිතය. 
 
ඒ අනුව, මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපදයේ ‘සියැට්ල්’ වරායේ සිට ශාන්තිකර සාගර කළාපය සහ ඉන්දියානු සාගර කළාපය හරහා මෙරටට යාත්‍රා කිරීම 2022 වර්ෂයේදී සිදු කෙරෙන අතර, එම මුහුදු ගමන ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ නාවික හමුදා නෞකාවක් යාත්‍රා කල දීර්ඝතම මුහුදු ගමන බවට පත් වනු ඇත.
 
2021 ඔක්තෝබර් මස 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ ‘සියැට්ල්’ හි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක කඳවුරේදී සිදු කෙරුණු ඇමරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිළ වශයෙන් භාර දීම සහ භාරගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න සහභාගී වූ අතර, ඇමරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 13 වන දිස්ත්‍රික් අණදෙන නිලධාරී, රියර් අද්මිරාල් මෙල්වින් ඩබ්. බෝබව්ලිස් (Rear Admiral Melvin W. Bouboulis) සහභාගී විය.
 
තවද, මෙම අවස්ථාව සඳහා මොන්ටානා ජනපදයේ Adjutant General වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල් ජෝන් පී. හෝනෙක් II (Maj Gen John P. Hronek II), ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්ෂක -III) චින්තක අබේකෝන් මහතා, ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති සහ සැලසුම්, කපිතාන් නිමල් රණසිංහ, පී 627 නෞකාවේ නම්කළ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක, සියැට්ල් වෙරළාරක්‍ෂක කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් ඉබ්‍රහිම් එම්. කලීල් (CAPT Ibrahim M. Khalil), ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වී සිටියහ.
 
 

නව අදහස දක්වන්න