ප්‍රතිපත්ති මඟින් ජනතාව දිනවීම | දිනමිණ

ප්‍රතිපත්ති මඟින් ජනතාව දිනවීම

ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සිදු වූයේ ග්‍රීසියේ ඇතෑන්ස් නගරයෙනි. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඇරැඹි මේ ගමන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් විකාශනය වූයේ ඉන් අනතුරුව ය. සමස්ත ජනතාවට ව්‍යවස්ථාදායකයේ රැස්වීම්වලට සහභාගි වීමට නොහැකි වූ හෙයින් නියෝජිතයන් මඟින් ජනතා අදහස් පැවසීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ විය. මහජන ඡන්දයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක් නො එසේ නම් ව්‍යවස්ථාදායකයක් නිර්මාණය වූයේ ඒ අයුරිනි. මේ ජනතා අදහස්වලට සිතුම් පැතුම්වලට මුල් තැනක් දීම මෙහි ඇති සුවිශේෂ ලක්ෂණයකි. බහුතරයකගේ කැමැත්තෙන් මහජන ඡන්දයෙන් නියෝජිතයන් පත් කිරීමේ මේ මැතිවරණ ක්‍රමය ලෝකය පුරා ප්‍රචලිත වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. එය දියුණු සහ ශිෂ්ටසම්පන්න සමාජයට ඇවැසි හොඳ දේශපාලන ක්‍රමයක් ලෙස ලෝකයම පිළිගත්තේය. කුමන හෝ ක්‍රමයකින් ජනතාව දිනාගැනීම මෙහි ඇති උපක්‍රමයකි. පසුව මේ ක්‍රමය උපක්‍රමශීලී කපටි දේශපාලනඥයන්ට හොඳ ක්ෂේම භූමියක් විය. මැකියාවලි නම් දේශපාලන විද්‍යාඥයා පැවසූ පරිදි “පාලකයා සිංහයකු මෙන් එඩිතර විය යුතු බවත් නරියකු මෙන් කපටි විය යුතු බවත්“ පැවසුවේ දක්ෂ පාලකයකුගේ ගති ලක්ෂණ සිහිපත් කරමිනි.

කපටි දේශපාලනඥයන්

එහෙත් අපේ රටේ දේශපාලනයේ දී ඇතැම් පාලකයන් ක්‍රියා කළේ ම සිංහයන් මෙන් එඩිතර වීමට වඩා නරියන් සේ කපටි වීමට පමණි. රටේ ජනතාව සහනාධාර මතම යැපෙන ක්‍රමයක් නිර්මාණය වූයේ මෙවැනි කපටි දේශපාලනඥයන් නිසා ය. නිදහස ලබා ගත් දින පටන් අපේ රටේ සිටි ජනතා නායකයන් අතර මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාට අපේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීමට දැඩි වුවමනාවක් තිබූ පාලකයෙකි. පෙර රජ දරුවන් තැනූ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කොට ඈත හද්දා පිටිසර ගම්මානවල ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරමින් ගොවි ජනතාව ඒ බිම්වල පදිංචි කරමින් රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ දැඩි වුවමනාවක් එතුමාට තිබුණේ ය. අපේ රටේ දෙවැනි අගමැති ඩඩ්ලි සේනානායක මහතා සිය පියා මෙන් ඒ වුවමනාව හොඳින් තිබූ නායකයෙකි. කෘෂිකර්ම අමාත්‍ය ධුරය අගමැතිවරයා යටතේ ම තබා ගනිමින් නොයෙක් අයුරින් ගොවි බිම්වල සංචාරය කරමින් ගොවි ජනතාව වගා කටයුතුවලට දිරිමත් කිරීමට ඒ මහතා දැඩි උත්සාහයක් ගත් නායකයෙකි.

ජනසතු ව්‍යාපාර

මේ වුවමනාව 1956 පිහිට වූ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට ද තිබුණේ ය. පිලිප් ගුණවර්ධණ මහතා කුඹුරු පනත ඉදිරිපත් කරමින් සැබැ ගොවීන්ට නිදහසේ සිය වගා කටයුතු කර ගෙන යෑමට ශක්තිය දුන්නේය. ජනසතු ව්‍යාපාර හරහා වුව ද බලාපොරොත්තු වූයේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ය. පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම තුළින් ජනතා බලාපොරොත්තු මල් ඵල ගැන්වෙන ආර්ථික ක්‍රමයක් අපේ රටේ ස්ථාපිත කිරීම 56 බණ්ඩාරනායක රජයේ ද අරමුණ විය. එදා බණ්ඩාරනායක ඝාතනයට පවා තුඩු දුන්නේ වරායේ කොන්ත්‍රාත්තුවක් මාපිටිගම බුද්ධරක්ඛිත නමැති භික්ෂුවකට ලබා නොදුන් හෙයිනි. ඒ අනුව ජනතා අභිලාසයන් ජනතා සිතුම් පැතුම්වලට මුල් තැන දෙන විට පාලකයකුට සතුරන් බිහි වන අයුරු 56 බණ්ඩාරනායක ඝාතනයෙන් පවා පැහැදිලි ය. සත්‍යය කටුක ය තිත්ත රස ය. 1960 සිට මහාමැතිවරණවල ප්‍රධාන තේමා පාඨය වූයේ සහල් නොමිලේ ලබා දීමය. එක රජයකින් සහල් සේරුවක් කැපූ කළ ඊළඟ මහා මැතිවරණය ජය ගත් ආණ්ඩුව නොමිලේ සහල් සේරු දෙකක් දෙන බව පැවසීම මෙන් එය ඡන්ද පොරොන්දුවක් බවට පත් වූයේ ඒ අයුරිනි. ඒ අනුව “අපේ අම්මා ළඟ එනවා හාල්සේරු දෙක දෙනවා“ බත් දුන් පියා ආදි වශයෙන් විවිධ පාඨවලින් අඩුවක් නොවීය. ජාතික ප්‍රතිපත්තියක් තිබුණ ද වසර පහෙන් පහට වෙනස් වන ආණ්ඩු තුළ ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැඟුමට කිසිදු දේශපාලනඥයකුට වුවමනාවක් නොවීය. 1964 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා වූ අනිල් මුණසිංහ මහතා ෆියට් බස් රථ දෙදහක් ගෙන්වද්දි ලැබුණ කොමිස් මුදලට ලංගමයට ෆියට් කාර් පනස් අටක් ඇණවුම් කළේ ය. ඒ ෆියට් මෝටර් රථ ලංගමයේ පොදු ප්‍රයෝජනයට ගත්තේ ය. ඉතාලියේ ෆියට් සමාගමින් ශ්‍රී ලංකාවේ දී බස් රථ නිෂ්පාදනය කරන වෙළෙඳ ගිවිසුමකට අත්සන් කිරීමට ආසන්නව තිබිය දී 1965 මහා මැතිවරණය ළං විය. මැතිවරණයෙන් ජය ගත් එජාප ආණ්ඩුව එවැනි වෙළෙඳ ගිවිසුමකට එළඹුනේ නැත. අනිල් මුණසිංහයන් සමඟ ෆියට් සමාගමේ ඇති කර ගත් වෙළෙඳ ගිවිසුම පරිදි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ෆියට් බස් රථ චීනයට අපනයනය කිරීම එහි අරමුණ විය.

කෘෂිකර්මාන්තය දියුණු කිරීම

අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම තුන්වැනි ලෝකයේ රටක් වීමට බොහෝ දුරට බලපෑවේය. 1970 බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුවට ද අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට දැඩි උනන්දුවක් කැපවීමක් පැවැති රජයකි. දේශීය නිෂ්පාදනවලට මුල් තැන දෙමින් ඒ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආචාර්ය එන්.එම්. පෙරේරා, පිටර් කෙනමන්, කොල්වින් ආර්. ද සිල්වා ප්‍රමුඛ ශ්‍රීලනිප ඇතුළු වමේ බලවේගවලට දැඩි වුවමනාවක් තිබුණේ ය.

ආඬි ළිඳෙන් වතුර ඇද අල, ලූනු වගා කළ යාපනයේ ගොවීන්ගේ ද අතමිට සරු කළේ මේ යුගයේ දී ය. පූගොඩ, තුල්හිරිය, වේයන්ගොඩ රෙදි පිළි වෙළෙඳපොළේ ඇති එකම රෙදිපිළි විය. මිනිසුන් දුක්වින්ද බව සැබෑ ය. එහෙත් මිනිසුන් සාගින්නෙන් මිය නොගිය බව ද සිහිපත් කළ යුතුව ඇත. මස්තිස්කයට හෝ හදවතට කථා කිරීම වෙනුවට උදරයට කථා කිරීමේ දේශපාලනය 1977 දී එජාපය නැවත දේශපාලන වේදිකාවට රැගෙන ආවේ ය. පෝෂ්‍යදායක ධාන්‍ය රාත්තල් 8ක් දෙන බවට එජාප නායක ජේ.ආර්.ජයවර්ධන මහතා කියූ සැණින් කතිරය ගැසීමට බහුතරයක් සූදානම් විය. හයෙන් පහක බලයක් ජේ.ආර්.ජයවර්ධන 77 දී ගත්තේ සහනාධාරවලට මුවා වීමෙනි. එහෙත් ධාන්‍ය රාත්තල් 8ක් කිසි දිනෙක ජනතාවට නොලැබුණේ ය. ජනතාව රැවටීම පහසු ය. මෙවැනි බොරු රැවටිලිකාර වදන්වලට ජනතාව හසු වෙති. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ ජනතා අයවැයක් හැදූ ආචාර්ය එන්.එම්.පෙරේරා යටියන්තොටින් පරාද වූ අතර 77 දී යටියන්තොට වින්සන්ට් පෙරේරා ජය ගත්තේ ය. ඔහු බොහෝ සෙයින් ගස්වලට ආදරය කළේ කොන්ත්‍රාත් ක්‍රමයට කපා විකුණා දමමිනි. අගලවත්තෙන් 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පරාජය කළේ එජාපයේ මෙරිල් කාරියවසම් ය. ඔහු 80 ජූලි වර්ජනයේ දී මරා දැමූ සෝමපාල මහතාගේ මරණයට සම්බන්ධ යැයි බොහෝ දෙනා විශ්වාස කරති.

නොමිලේ අධ්‍යාපනය

කෘතහස්ථ දේශපාලනඥයකු හා නවකතාකරුවකු වූ ටි.බී.ඉලංගරත්න මහතා පරදා කොලොන්නාව ජය ගත්තේ වීරසිංහ මල්ලිමාරච්චි ය. ඉලංගකෝන් මහතා මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර අපමණ ය. සේවක අර්ථසාධක අරමුදල මහජන බැංකුව රක්ෂණය ආදී බොහෝ දෑ අපේ රටට තිළිණ කළ ජනතාවාදී නායකයකු පරාද කළේ වීරසිංහ මල්ලිමාරච්චි ය. අපේ රටේ දුප්පත් මව්පියන්ගේ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දීමට සිය කාලය ශ්‍රමය බුද්ධිය වැය කළ නිදහස් අධ්‍යාපනයේ පියා සී. ඩබිලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා 40 දශකයේ එනම් හතළිහේ අගලවත්තෙන් පරාද කළේ එතුමා නිදහස් අධ්‍යාපනයට ඉටු කළ සේවයට ගරු කරමිනි. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කළ සමානුපාතික නියෝජන ක්‍රමයෙන් බොහෝ දුරට ජය ගැනීමට හැකි වූයේ යහමින් වියදම් කළ හැකි අපේක්ෂකයාට පමණි.

දිස්ත්‍රික්කයක් පුරා මුදල් වියදම් කරමින් සිදු කරන මේ දේශපාලනය තුළින් සැබෑ මහජන නියෝජිතයන් පත් වුව ද බොහෝ දුරට ආර්ථිකය ශක්තිමත් පුද්ගලයන් ජය ගනියි. එදා ඇතෑන්ස් නුවර සම්මත කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය කෙතරම් දුරට අපේ රටේ සාර්ථක වී ඇද්ද යන්න මේ අනුව ගැටලුවකි.

ඡන්ද පොරොන්දු

සුන්දර වචනවලින් රටේ ජනතාව අමතන මෙවැනි දේශපාලනඥයන් ප්‍රායෝගික ද යන්න රටේ ජනතාව හොඳින් දනිති. උතුරේ යුද්ධය පැවැති කාලයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් පැවසුවේ අපිට බලය දෙන්න අපි උතුරේ යුද්ධය අවසන් කරන බව ය. යුද්ධය නිර්මාණය කළ අය පවා එවැනි ඡන්ද පොරොන්දු ලබා දුන්නේ ය. එහෙත් 2009 යුද්ධය අවසන් කිරීමට හැකි වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙනි. එවකට ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත් වීමෙනි.

බොහෝ දෙනා උතුරේ යුද්ධය අවසන් කිරීමට නොහැකි බවට වහසි බස් දෙඩුවෝය. එහෙත් ඉතාම සාර්ථක ලෙස යුද්ධය අවසන් කිරීමට පුළුවන් විය. ඒ යුද්ධයේ කටුක බව, අමිහිරි බව දුක වේදනාව ජීවිත අහිමි වීම අතපය අහිමි වීම වැනි දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී පැවැති බව ද නොරහසකි. එහෙත් ජයග්‍රාහී ලෙස ඒ කුරිරු යුද්ධය අවසන් කළේය. කියන දේ කරන කරන දේ කියන නායකයන් දුලබ රටක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රයෝගික නායකයෙකි. රසායනික පොහොර භාවිතය සහ කෘමිනාශක භාවිතයෙන් තොර වීම වර්තමාන ආණ්ඩුව ගත් ඉතාම එඩිතර ඍජු ක්‍රියාමාර්ගයකි. කුලියාපිටිය උඩුබද්දාව බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් හා කාබනික ගොවිපොළ නිරීක්ෂණ චාරිකාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ රටේ කිසිදු රාජ්‍ය නායකයකු නොකළ ප්‍රකාශයක් කළේ ය. ඒ ඡන්ද බලාගෙන රටේ තීරණ තීන්දු නොගන්නා බව ය. ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය හුදු ලියැවිල්ලක් නොවන බව එතුමාගේ ඒ කතාවෙන් පැහැදිලි ය. ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම ජනාධිපතිතුමාගේ එකම අරමුණයි. රුසියානු විප්ලවය මෙහෙය වූ වී.අයි. ලෙනින් වරෙක පැවසුවේ “විප්ලවය පහසුයි එහෙත් ප්‍රතිවිප්ලවය අමාරු බව ය“ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී විවිධ අභියෝගවලට දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වන්නේ ය. ඒ වෙනුවෙන් ජනතාවගේ කැපවීම ද අත්‍යවශ්‍ය ය. අවස්ථාවාදී දේශපාලනය විවිධ බොරු බේගල් ඇද බාමින් ජනතාව නොමඟ යවන බව අපේ ඉතිහාසයෙන් ඔප්පු කොට ඇත. ජනතා විමුක්ති පෙරමුණ පොහොර සමාගම්කරුවන්, එන්ජිඕකරුවන් විපක්ෂ නායකවරයා ද ඒ කටයුත්තට එකතු වී ඇත. එහෙත් කවුරු කුමන අවලාද නැඟුව ද සාරවත් පසක්, සාරවත් කාබනික ගොවි බිමක් හෙට දිනයේ අපට උරුම වනු ඇත. ඒ අනුව නීරෝගිමත් ජනතාවක් තුළින් රටේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරනු ඇත. අපේ රටේ කෘෂි ආර්ථිකය දියුණු සක්‍රිය කෘෂි ආර්ථිකයක් බවට පත් කිරීමට කාබනික වගාව සහ කාබනික පොහොර පිටුබලයකි. “සෞභාග්‍යයේ දැක්මෙන්“ හෙට දිනයේ නිල්ල පිරුණු රටක් වනවාට අපේ රට කිසිදු සැකයක් නොමැත.

මහින්ද ආරියවංශ

නව අදහස දක්වන්න