රටේම දුප්පත්කම නැති කිරීම අපේ අරමුණයි | දිනමිණ

රටේම දුප්පත්කම නැති කිරීම අපේ අරමුණයි

ජයසිරි මුණසිංහ
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය

අප එකාවන් ව එක් ව රටත්, ආර්ථිකයත් ගොඩනැංවිය යුතු මොහොතක් එළැඹ තිබේ. ඊට දායක වන අයට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා දීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සූදානම කෙසේ ද යන්න විමසා බැලීම වටී. බැංකුකරණයේ වර්තමාන තත්ත්වය සහ කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ අසීරු හා අභියෝගවලට මුහුණ දී සිටින රටේ සෑම ව්‍යවසායක, ව්‍යාපාරික ගනුදෙනුකාර ප්‍රජාව නැවැත බලගන්වා පුනර්ජීවන මාවතකට යොමු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සංවර්ධන බැංකුකරණයේ මහගෙදර ලෙස සැලකෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය මහතා සමඟ දිනමිණ කරන ලද සාකච්ඡාවකි.

- කොවිඩ් වසංගතය හමුවේ අපට පමණක් තනිව ආරක්ෂා වීමට බැහැ
- අපේ බැංකුව ‘කිරි ශක්ති’ නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කළා
- සෑම පළාතක්ම ආවරණය වන පරිද්දෙන් ආර්ථික නවෝදයක් ඇති කරනවා

අද වන විට රටේ ආර්ථික ක්‍රියාකාරකම් යම් අයුරකින් පටන් ගැනීමකට මුල පුරා තිබෙනවා. එය ඔබ දකින්නේ කොහොම ද?

ඇත්තටම මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර අපි පොඩ්ඩක් මෑත අතීතයට යා යුතු බවයි මගේ හැඟීම. ඒ කියන්නේ අඩුම තරමින් අපි කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගත් 2019 දෙසැම්බර් මාසය තෙක් හරි අපි ගොස් යම් විග්‍රහයක්, නිරීක්ෂණයක් ඉදිරිපත් කළ යුතුයි. එසේ යම් කරුණු පැහැදිලි කිරීමක් සමඟයි මේ වන විට රටේ සිදු වෙමින් පවතින ආර්ථික, සමාජ ක්ෂෙත්‍රවල නැවත ආරම්භ වීම ගැන උත්තර දිය හැක්කේ. කෙසේ නමුත්, රට අගුලු දමා, සංචරණ සීමා පනවා තිබූ තත්ත්වයන්ගෙන් රට යම් ආකාරයකට ලිහිල් කිරීම අද දවසේ සිදු වී තිබෙනවා. එය හොඳ දෙයක්.

ඔබ පවසන ආකාරයට අපට ඉතා මෑත අතීතයේ රටේ ආර්ථිකයේ සිදු වූ තත්ත්වය ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීම වටින බව අප පිළිගන්නවා. ඒ ගැන පැහැදිලි කළොත්?

බැංකුකරුවන් ලෙස පමණක් නොවෙයි, මේ රටේ සාමාන්‍ය පුරවැසියකු ලෙස සිතා කථා කිරීමේ දී එක් දෙයක් පැහැදිලි ව කිව යුතුයි. කොවිඩ් උවදුර කියන්නේ අපට පමණක් එල්ල වූ පීඩනයක් අභියෝගයක් නොවෙයි. අපි වාගේම මුළු ලෝකයේ ම ජනතාවට, රට‍වලට මේ පීඩනය අභියෝගයක්. තවමත් වයිරසයේ ප්‍රභේද වෙනස් වෙමින් එල්ල වෙනවා.

එවන් ගෝලීය වසංගතයක දී අපට පමණක් තනිව මුළුමනින් ම ආරක්ෂා වීමට පුළුවන්කමක් නැහැ.

ලෝකයේ දියුණු යැයි කියන සංවර්ධිත රටවල් පවා මේ අභියෝගය හමුවේ අසරණ වුණා. මා කියන්නේ නැහැ, ඒක විය යුතු දෙයක් හෝ ඒ විපත ඔවුන්ට සිදු විය යුතුයි කියා. එහෙත් මෙවැනි උවදුරුවල ස්වභාවය අපි තේරුම් ගත යුතුයි. ඒ අනුවයි අපට යම් බාධා අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වුණේ.

ඔබ කියන්නේ රටේ ආර්ථිකය බිඳවැටීමට කොවිඩ් පමණක් ම මුල් වූවා යැයි කියා ද?

නැහැ, දැනට රටේ ඇතිවී තිබෙන මූලික සමාජ, ආර්ථික අභියෝග ගොන්නෙන් බොහෝ දේ සඳහා කොවිඩ් මුල් වෙලා තියෙනවා. ඒත් ඊටත් පෙර අපට අසීරුතා මතු කරවන හේතු තිබුණා.

ඒ හේතු මොනවා ද?

කෙටියෙන්ම කිව්වොත්, පාස්කු ඉරිදා ප්‍රහාරය අපේ රටේ සමාජ, ආර්ථික පසුබෑමකට හේතු වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකයේ බිඳ වැටීමක් සිදු වුණා. රටේ සංචාරක කර්මාන්තය, ඒ අශ්‍රිතව බැඳී පවතින කුඩා කණ්ඩායම්වල ආදායම් මාර්ග අවහිර වුණා. ඒ පමණක් නොවෙයි මහා පරිමාණ තරු පන්තියේ හෝටල්, සංචාරක නිකේතන, ගුවන් ටිකට් පත් අලෙවි කරන අය, සංචාරක ගුවන් ගමන් පවා නතර වුණා. ඒ නිසා විශාල පසුගාමී තත්ත්වයක් නිර්මාණය වුණා. ර‍‍ටේ, රජයේ ආදායම් ලැබීම් බිඳ වැටුණා.

ඔබ මේ බැංකුවේ සභාපති ධුරයට පත් වුණේ නව දැක්මක් ඇතිව බැංකුව ගමන් කරවීමට. ඒ සඳහා ඔබ කටයුතු කරන්නේ කොහොම ද?

අපි මීට දශක තුනකට, තුනහමාරකට පෙර දිස්ත්‍රික් ග්‍රාමීය සංවර්ධන බැංකු ලෙස ඉතා කුඩාවට ආරම්භ කරනු ලැබූ බැංකුවක් ලෙස ග්‍රාමීය ජනතාවගේ දරිද්‍රතාවය, දුප්පත්කම දුරු කිරීමේ අරමුණින් තමයි ක්‍රියාකර තිබුණේ. එය පසුව දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු පද්ධතිය වෙනස් කරමින් පළාත් බැංකු 08ක් පිහිටෙව්වා. පළාත් බැංකු සියල්ල ඒකාබද්ධ කර තමයි වසර 2010 දී ජාතික මට්ටමේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව බිහි කළේ. අපේ බැංකුවට දැන් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ද ඒකාබද්ධ කර තිබෙනවා.

අපේ රටේ තිබෙන සංවර්ධන බැංකුකරණයේ මහගෙදර අපියි. ඒ නිසාම අපට ලොකු වගකීමක්, යුතුකමක් තියෙනවා රටේ දුප්පත්කම, ඇති නැති පරතරය නිමා කිරීමට මෙන්ම මුදල්, ප්‍රාග්ධනය ගමට, නගරයට ලබා දීමට. අපි නව දැක්මක් ඇතිව හැකි තරම් ගුණාත්මක හා ඉතා පහසුවෙන් කටයුතු කරනවා කියා කියනවාටත් මම එතරම් කැමැති නැහැ. මූල්‍ය පහසුකම් ජනතාවට ලබා දෙමින් ඉන්නේ. ඒ අතරෙයි කොවිඩ් වසංගතය ආවේ. ඒ නිසා අපේ ඉලක්කගත වැඩපිළිවෙළ ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණියා.

අද වනවිට එම තත්ත්වය වෙනස් වී තිබෙනවා නේ ද?

ඔව්. යම් තරමකට දැන් රටේ පුනර්ජීවනයක් සිදු වීමට මඟ විවර වී තිබෙනවා. ඒ දේ අප කළ යුත්තේ නිතරම කොවිඩ් අවදානම පවතින බව හොඳට සිහියේ තබාගෙනයි. අපි හැමදෙනාම සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශවලට අනුගතවයි සමාජ, ආර්ථික ක්‍රියාකාරකම් යළි පණගැන්විය යුත්තේ.

අපේ රටේ අර්ථික සංවර්ධන නියමුවන් ඔබ හඳුනාගෙන තිබේ ද?

ඉතා දුක් මහන්සියෙන් වැඩ කරන පිරිස තමයි සංවර්ධනයේ නියමුවන් වන්නේ. දියර කිරි, ඒවාගේම උක් වගාව දියුණු කිරීමට දායක වන පිරිසත් ඒ අතර සිටිනවා. ඔවුන් තමන්ගේ ආර්ථිකය නඟාසිටුවීමට අසීමිත වූ දුක් කම්කටොලු විඳ දරා ගනිමින් ක්‍රියා කරන අතර, තමන්ගේ දූ දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දී ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිත ගොඩනඟා ගන්නටත් උදව් කිරීම ඉතාම වටිනා දෙයක්.

අපි මේ ගොවි මහතුන්ට පමණක් නොවෙයි ඕනෑම ව්‍යවසායකයකු හෝ ව්‍යාපාරිකයකුට මූල්‍ය පහසුකම් ලබා දීම තුළ එක් දෙයක් බලාපොරොත්තු වෙනවා. එනම් ඔවුන් ලබා ගන්නා මුදල් එම ව්‍යාපෘතිය සඳහාම යෙදවීම. එක ශත පහක් වෙනත් දේකට යොදවන්න එපා කියන පණිවිඩය අප ඔවුන්ට දෙනවා.

මූල්‍ය පහසුකම් ලෙස ලැබෙන සෑම රුපියලක්ම වියදම් කර රුපියල් දෙකක් සොයා ගන්න බලන්න ඕනෑ කියන පණිවිඩය ද ඔබ ඔවුන්ට දෙන්නේ?

ඔව්. එම මුදල් ලබා ගෙන කෘෂිකාර්මික වේවා කර්මාන්ත වේවා සේවා අංශයක් වේවා සාර්ථක කර ගන්න කටයුතු කරන ලෙස සහ නැවත නැවත මුදල් පහසුකම් ලබා ගැනීමට පැමිණෙන ලෙස අප ඔවුන්ට කියනවා. එහෙත් තමන්ගේ මුල් අවස්ථාවේ සිටියාට වඩා අඩියක් හරි ඉදිරියට යන අරමුණින් තමයි ඒ දේ කරන්න ඕනෑ. මේ බැංකුවේ සල්ලි, ජනතාවගේ මුදල්. මේවා අපි කාගේවත් පෞද්ගලික මුදල් නොවෙයි. මේ මුදල් ජනතාව අපට තැන්පත් කරලා දිලා තියෙන්නේ. ඒ අයට පොලියක් අපි දෙන්න ඕනෑ. අවසානයේ තැන්පත් කළ මුදලත් ගෙවන්න ඕනෑ. ඒ විශ්වාසය මතයි අපිට සල්ලි දීලා තියෙන්නේ.

ජනතාවගේ මුදල් අපි නැවත මුදල් පහසුකම් ලෙස ඔබට ලබා දෙනවා. ඔබ ඔබගේ ව්‍යාපාර, ගොවිතැන් දියුණු කරගෙන නැවත ඒ ලබා ගත් මුදල් බැංකුවට නිසි ලෙස ආපසු ගෙවන්න ඕනෑ. ඒ නිසා බොහෝම වගකීමෙන් මේ මුදල් ප්‍රයෝජනයට ගන්න. මම නම් වඩාත් කැමති ඉතා ඉක්නමින් ඔබ දියුණු වෙනවා දකින්නයි.

කොවිඩ්වලින් බිඳ වැටුණු ආර්ථික බලගැන්වීමට ඔබ බැංකුව සූදානම් ද?

ඔව්. අපි කොවිඩ් නිසා පීඩාවට පත් වූ ව්‍යාපාරිකයින්ට විශේෂයෙන් පුංචි මිනිස්සුන්ට ලබා දී තිබූ මූල්‍ය පහසුකම් නැවත පොලිය හා වාරිකය ආපසු ගෙවීමට පහසුකම් රාශියක් ලබා දුන්නා. රජය, ශ්‍රී ලංකා මහ බැංකුව අපිට උපදෙස් සහ මඟපෙන්වීම් ලබා දුන්නා. ඒ අනුව අවස්ථා හතරක දී සහන සලසා දීමට අප කටයුතු කළා.

මේ තත්ත්වය තුළ ණය සහන දීම් මුළු රටේම ගනුදෙනුකරුවෝ 80,000කට විතර රුපියල් බිලියන 180කට හෝ 200කට වඩා සමස්ත බැංකු පද්ධතියෙන් සහන හිමි වුණා. මහ බැංකුව ඒ ගැන සවිස්තර වාර්තා ඉදිරිපත් කළා. අපත් බැංකුවක් ලෙස අපේ කාර්ය භාරය ඒ වෙනුවෙන් ඉටු කර තිබෙනවා.

මේ වසංගත තත්ත්වය හමුවේ ණය ආපසු අයවීමේ දී අභියෝගවලට මුහුණ දීමට සිදු වී ඇති බව මහබැංකුව සඳහන් කරනවා.

සමස්තයක් ලෙස ගත හොත් අපට පමණක් නොවෙයි, මුළු බැංකු පද්ධතියටම මේ අසීරුතාවට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඒ අතරේ හැකි තරම් සාර්ථක ලෙස ණය මුදල් අය කර ගන්නා ආකාරයේ වැඩපිළිවෙළක් මේ දිනවල ශාඛා මට්ටමින් පණ ගන්වා තිබෙනවා.

ඒ වැඩපිළිවෙළේ අරමුණ ජය ගත හැකි වෙයි ද?

අප නිතරම අපේ ශාඛා කළමනාකරුවන්ට උපදෙස් දී තිබෙන්නේ අඩුම තරමේ මේ වසර අවසාන වන විට සියයට 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ එක් රැස් කර ගැනීමට කටයුතු කරන ලෙසයි. ඒ මුදල් නැවත අය කර ගැනීම හරහා අපිට නැවත වැඩි වශයෙන් ව්‍යවසායකයන් ගොඩනඟන්න මුදල් පහසුකම් ලබා දිය හැකියි. ඒ නිසා නිසියාකාරව ණය ආපසු ගෙවීම මත බැංකුවේත්, රටේ ආර්ථිකයේත් පොදු ජනතාවගේත් දියුණුවට විශාල ශක්තියක් ලැබෙන බව අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ.

ඔබගේ බැංකුවට විශේෂයෙන් ම වෙන් වූ ණය යෝජනා ක්‍රම තිබෙනවා. අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කළා ද?

ඔව්. අපේ බැංකුව ‘කිරි ශක්ති’ නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කළා. පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය සමඟ ඒකාබද්ධවෙලයි එය ක්‍රියාත්මක කරන්නේ. වයඹ, ඌව, සබරගමුව, බස්නාහිර පළාත්වල පමණක් නොවෙයි මුළු රටේම මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි.

බැංකුවේ ගනුදෙනුකාර ප්‍රජාවට වැඩි පහසුකම් හිමි වන ලෙස ශාඛා ජාලය නවීකරණය කරනවා ද?

අපේ බැංකුවේ ශාඛා සියල්ල නව තාක්ෂණය හා බද්ධ වී තිබෙන්නේ. ඒ අතරේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුකම් හා සුවපහසුවෙන් ගනුදෙනු කර ගැනීමට ශාඛා දියුණු කරනවා. ඒ යටතේ නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ශාඛාව අලුත් තැනකට ගෙන ගියා. අපි ඌව පළාතේ හල්දුම්මුල්ල ශාඛාව ලබන 08 වැනි දා අලුත් තැනකට රැගෙන යනවා.

බැංකු කටයුතුවලට අමතරව ප්‍රජා සත්කාරක සේවා ඔබ සිදු කරනවා ද?

අපි මෑතක දී නැගෙනහිර පළාතේ ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ වන වරකාපොළ ඉන්දසිරි නාහිමිගේ උපදෙස් මත චෛත්‍ය අසල භූමියේ අරලිය පැළ රෝපණය කළා. මල් දෝවනයට පහසුකමක් ලබා දුන්නා. ඒ වාගේම අප ඉදිරියේ දී මේ රටේ ජාතීන් අතර සමඟිය, සුහදතාවය වර්ධනය කර ගැනීමට එකමුතු වී වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

රාජ්‍ය බැංකුවක් ලෙස ඔබට පැවරී තිබෙන වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේ අලුත් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා ද?

අනිවාර්යෙන්ම ඔව්.

අපි මුළු රටේම සෑම පළාතක්ම ආවරණය වන පරිද්දෙන් ආර්ථිකයේ නවෝදයට මඟ පාදන ආර්ථික අවස්ථා වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. අපි දකුණේ ගොවිබිම්, නැඟෙනහිර හා උතුරේ ගොවි බිම්, ධීවර කර්මාන්ත සේවා දියුණු කරනවා. අලුතින් රටේ ධන, සම්පත් වැඩි දියුණු කරන්න අත දෙනවා.

අපේ බලාපොරොත්තුව දියුණු සෞභාග්‍යවත් දේශයක්, ජනතාවක් බිහි කිරීමයි.

නව අදහස දක්වන්න