පුටු වියමින් දිවිය ගොතන දෑස් අන්ධ ගුරුතුමා | දිනමිණ

පුටු වියමින් දිවිය ගොතන දෑස් අන්ධ ගුරුතුමා

චතුර ගීතනාත් බණ්ඩාර

"මං උපන්නේ එකදාස් නවසිය හැටදෙකේ අගෝස්තු පළමු වැනිදා. උපන් වෙලාවෙදිම ලොකු දොස්තර මහත්තය අම්මට කතා කරල කිව්වලු දරුවගේ එක ඇහැක් පේන්නෙම නෑ අනෙක් ඇහැත් කාලෙකින් පේන්නෙ නැතුව යන්න පුළුවන් පරිස්සම් කරන්න කියල. ඔහොම කාලයක් ගෙවිල මට දැනුම් තේරුම් ඇති සන්දියට ළං වුණා. එක අැහැක් පේන මං ඉස්කෝලේ යන්නත් පටන් ගත්තා. උප්පත්තියෙන්ම එක ඇහැකින් වැඩ කළ නිසා මට ලෝකේ එච්චර අමුත්තක් වුණේ නෑ. ඉගෙන ගන්න එක තමයි මගේ තිබිච්චි ලොකුම සහ එකම ආසාව.

ඔන්න ඔහොම කාලයක් ගත වුණා. අපේ පවුලම හරිම සතුටින් එකට වැටිල තමා ජීවිතේ ගෙව්වෙ. මමයි නංගියි සෙල්ලම් කරමින් හිනාවෙමින් දුවමින් හිටියා.

එදා එකදාස් නවසිය හැත්තෑපහේ පෙබරවාරි දාසය වෙනිදා. මම අවුරුදු දහතුනක කොලු ගැටයා. නංගියි මායි හොඳට සෙල්ලම් කළා. ඉස්කෝලේ වැඩත් කළා. ඔහොම දඟලන කොට නංගිගෙ ඔළුව මගේ ඔළුවෙ වැදුණා. ඒක අපි අම්මට කියන්න ගියේ නෑ. මං එදාම රෑ හොඳට නෑවා. අම්ම උයල තිබ්බෙ පරිප්පුයි, මාළුයි බතුයි. එදා තමයි මං කෑම වේලක් දැකපු අන්තිම දවස. පහුවැනිදා උදේ වෙනකොට මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තිබුණා. ලොකු දොස්තර මහත්තයා කීව විදියටම මගේ අනෙක් ඇහැත් එක රැයකින් නොපෙනී ගියා. ඒ හැඟීම මෙහෙම විස්තර කරන්නවත්, පැහැදිලි කරන්නවත් මට තවමත් වැටහෙන්නෙ නෑ."

කතාවේ එක් අවසානයකට පැමිණෙන ඔහු බුලත් කහටින් අලංකෘත දසන් විහිදා අවිහිංසක සිනාහවක් මුව මත අඳියි. ඒ සිනහව කොතරම් නිර්ව්‍යාජ දැයි දැක ගන්නට ඔහුට වරම් නොමැති වුව ද එහි ඇති නිර්මල බව ලෝකයාම දනී. 

ඩබ්ලිව්. විපුල් සරත් ප්‍රනාන්දු අද අපේ කතාවේ නායකයා බවට පත් වෙයි. දෑස් නොපෙනෙන මේ දිරිය මිනිසා එක් ඇසක අඩක් පමණක් පෙනෙන තම ජීවන සහකාරිය සමඟ ගෙවන ජීවිතය කෙතරම් සුන්දරදැයි ඉදිරියේ දී නිගමනය කිරීමට ඔබට ඉඩ තැබීමට තීරණය කරමි. එහෙත් ඔහු පූර්වාදර්ශී මිනිසෙකි. ලෝකයටම ආදර්ශයක් වන මේ දිරියවන්තයා නොපෙනෙන දෑසින් යුතුව පුටු ඇස් වියමින් තම ජීවිතයම ගෙත්තම් කරමින් සිටී. මොරටුව ඉදිබැද්ද ගම්මානයේ ඔහුගේ කුඩා කුලී නිවෙස කුඩා වඩු මඩුවක සිරි ගනී. එක් පසෙකින් සින්තටික් වැල් පොකුරකි. අනෙක් පස වැල් ලිහා පිළිසකර කිරීමට ගෙනා පුටු කිහිපයකි. ඒ අතර බිම ඈඳි ගත් ඔහු කිසිදු ගණනක් නැතිව තම ජීවන සංග්‍රාමයේ ය. අප සමඟ කතා බස් කරමින් ඔහු පුටු වියන කටයුතුවල ය. නැවතත් ඔහු නැවතූ තැනින් කතාව අරඹයි.

ඇහැ පේන්නෙ නෑ කියපු දවසේ අපේ ගෙදර හරිම ශෝකාකූල දවසක්. තාත්තා මාව කොළඹ නයනාරෝග්‍ය ශාලාවට එක්කර ගෙන ගියා. එතැන මාස තුනක් විතර වෙදකම් කළත් ඇහේ පෙනුම ගන්න බැරි වුණා. ඇහේ පෙනුම ආයේ ගන්න බෑ කියල අපේ ගෙදර හැමදෙනාම දැන ගත්තා. මේ අතරෙ ඉදිබැද්දේ මෙතෝදිස්ත දේවගැති සභාවේ දේවගැතිතුමාගේ මැදිහත් වීමෙන් එක්දාස් නවසිය හැත්තෑහයේ ඔක්තෝබර් මාසේ හයවැනිදා මාව රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් කළා. ඒ වෙන කල් ඉගෙන ගෙන උන්නු මම ආයේ සුපුරුදු විදියට නුපුරුදු ජීවිතේ පටන් ගත්තා. ඉගෙන ගන්න එක ජීවිතේ අරමුණ වුණ නිසාම මම සාමාන්‍ය පෙළ ඉහළින් ම සමත් වුණා. ඉන් පස්සේ මම උසස් පෙළට මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ඇතුළත් වුණා. මම තෝරා ගත්තේ කලා විෂයන්. සිංහල, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය තමයි මගේ විශයන් වුණේ. කොහොම හරි මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණා.

මෙහෙම කාලයක් ගත වෙද්දි මට හිතුණා මම ඉගෙන ගත්ත දේ තවත් අයකුට දුන්න නම් හොඳයි කියලා. ඒ අරමුණ ඇතුව මං දරුවන්ට ටියුෂන් දෙන්න පටන් ගත්තා. මගේ ඉගැන්වීමේ කලාව නිසා දවසින් දවස දරුවො මාව හොයාගෙන ආවා. ඒ දරුවන්ට හොඳින් අධ්‍යාපනය දෙන්න මං කැප වුණා. කොහොම හරි මගෙන් ඉගෙන ගත්ත දරුවො කැම්පස් ගියා."

ඔහු නැවත ආඩම්බරයෙන් සිනාසෙයි. බිරිය දෙස බලන ඔහු එක් ඇසක අඩක් පමණක් පෙනෙන ඇයගේ සිනා හඬින් තමාගේ ජීවිතයේ ජයග්‍රහණය පිළිබඳ ව තක්සේරු කරයි. ඉන් පසු ඇති වූයේ මඳ නිහැඬියාවකි. එය බිඳින්නේ ඔහුගේ බිරියයි.

"ඒ කාලේ මෙයාගෙන් ඉගෙන ගත්ත ළමයි අද හොඳ ගුරුවරු. ඒ අයත් දැන් ටියුෂන් කරනවා."

ඇයට තම සැමියා පිළිබඳ ඇත්තේ ගෞරවනීය ආදරබර ආඩම්බරයකි. නැවත ඔහු කතාන්දරය සමඟ එක් වෙයි.

"ඔහොම තවත් කාලයක් ගත වුණා. දෙදහස් දෙකේ එක දවසක් මාව හොයාගෙන මගේ මිත්‍රයෙක් අපේ ගෙදර ආවා. ඔහු ඇවිත් තිබුණේ මගෙන් රුපියල් සීයක් ඉල්ල ගන්න. මගේ යාළුවා ටිකක් සුරාවට ලැදි කෙනෙක්. මං ඇහුවා මොකටද රුපියල් සීයක් කියල. ඔහු කිව්වා කෑම එකක් කන්න කියල. මං කිව්වා කෑම එක කාලා පත්තර පිටුව ගේනව නම් රුපියල් සීයක් දෙන්නම් කියල. මිත්‍රයා කෑම එකක් කාලා පත්තර පිට අරන් ආවා. අපේ කතාව අතරෙ මම කිව්වා ඔය පත්තර පිට කියවන්න කියල. මට ඕනෑ වුණේ ඇත්තටම පත්තර පිටක් තියෙනව ද බලන්න. පත්තර පිටුව කියවගෙන යනකොට ඒකේ තිබුණා මංගල දැන්වීමක්. මං ඒක ඔහු ලවා දෙතුන් වතාවක් කියෙව්වා. ඊට පස්සෙ මං මංගල දැන්වීමට ප්‍රතිචාරයක් විදියට ලියුමක් දැම්මා. අන්න එහෙම තමා මෙයා මුණගැහුණේ."

එවර නිවෙසම දෙදරන තරමේ හිනා හඬ දෙකකි. ඒ සිනාවල පිරී ඉතිරී පිටාර ගලන තරමේ සෙනෙහසකි. විපුලට පෙර ඒ කතාව අපට කියන්නේ බිරිය විසිනි.

"මේ මංගල දැන්වීම දාල තිබ්බෙ අපේ නංගී. එයා හිටියේ කුවේට්වල. මේ දැන්වීමට ප්‍රතිචාර විදියට ලියුම් හතළිහක් ඇවිත් තිබුණා. අපි තෝරා ගත්තේ මෙයා එවපු ලියමන. ඊට පස්සෙ අපි අපේ අදහස් හුවමාරු කර ගත්තා. මුලින් ම හම්බවෙන්න කතිකා කර ගත්තේ රත්මලානේ අන්ධ විද්‍යාලය ළඟදී. අපි හම්බ වුණා. එදා කතා කරලා තමයි අපි විවාහ වුණේ. ඒ අතීතය වර්තමානය වගේම හරිම සුන්දරයි."

ඇය දෑස පියාගෙන අතීත මතක අතර සැරිසරයි. ඒ මතක ඒ තරමට ම ඉමිහිරි බව දෙදෙනාගේම නිදහස් බව අපට කියයි.

"බැන්දට පස්සෙ අපි බිරියගේ ගමේ, වාරියපොළ කැටපත් වෙහෙරෙ පදිංචියට ගියා. එහේ ගිහිං ටියුෂන් පටන් ගත්තා. ඒත් ඒක ඉදිබැද්දේ තරම් සාර්ථක වුණේ නැහැ. කාටවත් අත නොපා ජීවිතේ ගෙවන්න අපි හැමදාම වෙහෙසුණා. අපි වාරියපොළින් ආයේ ඉදිබැද්දට ආවේ කුලී නිවෙසක් අරන්. මෙහෙට එනකොට මගේ ගෝලයෝ ටියුෂන් කරනවා. මට කියා ගන්න බැරි තරම් සතුටක් දැනුණා. ඒ අයට තැන දීලා මම මගේ දෑතේ රස්සාව පටන් ගත්තා."

සැබෑවටම ඔහු පරමාදර්ශී පරාර්ථකාමී මිනිසෙකි. අනෙකා පරයමින් පොර බදා නැඟිටින්නට උත්සාහ දරන සමාජයට ඔහු දෙන ආදර්ශය මෙතෙකැයි කියා ලියා තැබුමට නොහැකි එකකි. එමෙන්ම විවිධ අපහසුකම් කියමින් අතපාමින් අනෙකාගෙන් ජීවත් වෙන සියලු අංගයන්ගෙන් පරිපූර්ණ මිනිසුන් සිටින සමාජයක ඔහු සිටින්නේ ඉහළම ස්ථානයේ ය.

"කාගෙන්වත් ඉල්ලා ගෙන ජීවත් වෙනවා වෙනුවට අපේම මහන්සියෙන් ජීවත්වෙන්න අපි පුටු වියන්න පටන් ගත්තා. ඒ ගැනත් රස අතීත කතාවක් තියෙනවා. වෙලාව තියේ නම් කියන්නම්." 

ඔහු අපෙන් විමසයි. අප පැමිණියේ ඔහුට සවන් දීමටම නිසා ඒ කතාව ද ඇසීමට මේ කාලයයි.

"ඉස්සර අපේ ගෙදර පුටු වියනවා. අම්මා අක්කා තමයි ප්‍රධානියෝ. මට එක ඇහැක් පේන කාලේ මං යනවා එයාල එක්ක පුටු වියන්න. ඒත් අක්කා මාව ගන්නේ අකැමැත්තෙන්. වෙන දෙයක් නිසා නෙවෙයි. මං ඒක අල්ලගන්නෙ නැති නිසා. අක්කගෙන් ගුටි කාල කොහොම හරි මං ටික කාලෙකින් වැඩේ අල්ලගත්තා. අන්තිමට මං පුටු වියනවා බලල ඒ අය සතුටු හිතෙන තරමට මං දක්ෂයා වුණා. මෙන්න මේ සාස්තරේ තමයි අන්තිමට මම ජීවන ගමන සරි කර ගන්න ළං කර ගත්තේ. ඉගෙන ගත්ත දෙයක් අපතේ යන්නෙ නෑ කියන්නේ අන්න ඒකයි."

ඔහුගේ වචනයෙන් වචනයට ඇත්තේ අප සැමට ගත හැකි ජීවිතයට ගලපා ගත හැකි ආදර්ශයකි. ඒ කතාන්දර අපේ කතාව තවත් රසයෙන් සහ අරුතින් පුරවයි.

"ඉදිබැද්දට ඇවිත් අපි දවසට කිලෝමීටර දහය පහළොව පයින් ගියා වැඩ හොයන්න. අන්ධ දෙන්නෙක් පුටු වියනවා කිව්වම මිනිස්සුන්ට අදහා ගන්න බැරි වුණා. කකුල්වල කරගැට එනකල් ඇවිදලත් වැඩක් හම්බ නොවුණ දවස් වැඩ ලැබුණු දවස්වලට වඩා වැඩියි. වැඩ හම්බ වුණ දවසට වඩා වැඩ නොලැබුණු දවසට අපි සතුටින් ගෙදර ආවා. අපේ ජීවිත දෙකේ තිබුණේ සතුටයි විනෝදයයි ආදරෙයි විතරයි.

මෙහෙම කාලයක් ගත වුණා. අපි රටේ හැමතැනම කර්මාන්තයක් හොයමින් ඇවිද්දා. හැමෝම අපට සහයෝගය දුන්නා. අපි බලාපොරොත්තු වුණේ අනුකම්පාව නෙවේ සහයෝගය. ඒක අපට හම්බ වුණා. අපට වැඩ ලැබුණා. සමහරු කියන ගාණටත් වඩා සල්ලි දුන්නා."

එකවරම ඔහුගේ මුවෙහි නිමා කර ගත නොහැකි සිනාවක් මතු වේ. සිනාව අතරින් ඔහු රස මතකයක් මෙනෙහි කිරීමට සැරසෙන සෙයකි.

"අපට වෙලා තියෙනවා හරි හරි වැඩ. එක පාරක් අපි ගියා නිකවැරටියේ. ඒ කාලේ අපි පුටු වියන්න ගමින් ගමට ඇවිදිනවා. අපි යනකොට පුද්ගලයෙක් ඇවිත් පුටු කීපයක් තියෙනවා වියමුදැයි ඇහුවා. අපිත් එක පයින් කැමති වෙලා ඒ ගෙදරට ගියා. පුංචි ඇළ පාරක් අයිනෙන් අපි කැලෑ කුට්ටියක් ළඟට ආවා. පාර ඉවරයි වගේ අපට තේරුණා. අර මනුස්සය අපේ පර්ස් ගන්න කිව්වා. ෆෝන් ගන්න කිව්වා. මං කිව්වා අපි කෑගහනවා කියල. ඒ මිනිහා කිසිම දෙයක් ගානකට නොගෙන අපේ පර්ස් ගත්තා. කර ගන්න දෙයක් නැතිව අසරණ වුණ මම හයියෙන් කෑගැහුවා. එතකොට ගමේ තරුණයෝ පිරිසක් එතැනට ඇවිත් අර මිනිහට තඩිබාන එක නැවැත්තුවෙ මං පින්සෙණ්ඩු වුණාමයි. එහෙම මිනිස්සුත් මේ සමාජෙ ඉන්නවා."

එහෙම මිනිස්සු අතර මෙහෙම මිනිස්සුත් ඉන්නවා. මම කීවේ ඡායාරූප ශිල්පී දුෂ්මන්තට සහ ගමන් සගයා රොද්‍රිගූට ය. නැවත ඔහු කතාවට අවතීර්ණ වන්නේ බුලත් විටක් ද කටේ ඔබාගෙනය.

"අපි කකුල් රිදෙන කල් සතුටින් ඇවිදල වැඩ කරපු කාලේ අපේ හොඳ මිත්‍රයෙක් වෙන මොහොමඩ් ෆර්ෂාන් මට හදල දුන්නා ෆේස් බුක් එකවුන්ට් එකක්. ඒ ගිණුමේ අපේ වැඩ ගැන දාන්න පටන් ගත්තා. දෙදහස් දාහතරේ ඉඳන් අපට මේ ගිණුම මාර්ගයෙන් වැඩ එන්න පටන් ගත්තා. අපි එදා ඉඳන් මහ පාරේ ඇවිදින එක නවත්තල ගෙදරට එන වැඩ කරනවා. ඒ අතරේ ගිහිල්ලත් වැඩ කරනවා. කොවිඩ් පළමු රැල්ල එනකොට අපි දෙන්න හිටියේ පොළොන්නරුවේ විදේශ සේවා කාර්යංශයේ පුටු වියමින්. අපට ශ්‍රී ලංකාවේ හැම තැනින්ම වැඩ එනවා. අපි දෙන්න ඒ හැම වැඩේම එකම විදියට ලස්සනට ඉවර කරනවා. ඒක තමයි අපේ වගකීම. වගකීම හරියට කරනවා නම් වැඩ හොයා ගන්න අමාරු නෑ."

ඔවුන් විසින් වියා නිම කළ පුටු කිහිපයක් නිවෙසේ තැන තැන ය. ඉතාමත් පිළිවෙළට වියා නිම කළ ඒ පුටු ඔවුන් විසින් වියන ලද ඒවා යැයි විශ්වාස කිරීමට පවා නොහැකි ඉතාමත් උසස් නිමැවුම් ය.

"මෙයා තමයි පුටු සුද්ද කරල කොටු ගහල දෙන ගෝලයා."

විපුල් මහතා කමලා මහත්මිය දෙස හැරී බලන්නේ ලෝකයම ජයග්‍රහණය කළ අයකු ලෙසට ය. ඇත්තටම ඔවුන් ඔවුන්ගේ ලෝකය ජය ගෙන හමාර ය.

මිල මුදල් යාන වාහනවලට වඩා සතුට උත්තරීතර බව මේ කතාව අපට නැවත නැවතත් කියා දෙන්නේ හරිම අපූරුවට ය. ඔවුන් දෙදෙනා විශ්වකර්ම නිර්මාණකරුවන් යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේමය. දෑස් හොඳින්ම පෙනෙන අපට පුටුවක් වියනු තියා එය සිතීම පවා අපහසු කටයුත්තකි. විවිධ රටා දමමින් පිළිවෙළින් සහ සංයමයෙන් කළ යුතු මේ නිර්මාණශීලී වෘත්තිය පිහිටා ඇත්තේ සමාජයේ දහසකට එක් අයකුටත් වඩා අඩු ප්‍රතිශතයකට ය. ඉන් ද දෑස නොපෙනෙන අයකුට මෙය හොඳින්ම පිහිටීම විස්මයක් ම වන්නේ ය.

"මේ සමාජයේ හැමෝම අපට හොඳින් සලකනවා. මම කතෝලික, මගේ බිරිය බුද්ධාගමේ. අපට උදවු කළ මොහොමඩ් මුස්ලිම්. මේ කතාවෙන් මම කිව්වේ අපි හැමෝම සමාන මිනිස්සු කියන එක. මේ හැම මනුස්සයගෙන් ම අපි බලාපොරොත්තු වෙන්නේ අනුකම්පාව නෙමෙයි, සහයෝගය. හැමෝම එකතු වෙලා සමඟියෙන් ජීවිතේ ගෙවනව නම් ලස්සන රටක් හදන්න අපට පුළුවන්. ඒකට කැපවීම කියන උත්තේජනය අත්‍යවශ්‍යයි කියල මම කියන්නේ ගුරුවරයෙක් විදියට. ඒ සඳහා ඉවසීම අත්‍යවශ්‍යයි කියල මම කියන්නේ පුටු වියන්නෙක් විදියට. හැම මොහොතේම සතුට විතරක් තියා ගන්න එතකොට අපේ ජීවිතේ හරිම ලස්සනයි. සැහැල්ලුයි. උදවු කළ නොකළ හැමෝටම ස්තූතියි !!!!"

ඔහුගේ කතාව එතෙකින් නිම විය. ඒ නිමාව අපේ ජීවිතවල තවත් පරිච්ඡේදයක ඇරඹුමයි. සිතන්නට මහා ගොඩක් දේ ඉතිරි කරයි. ඔවුනට මේ තරම් ලස්සනට ජීවිතය ගෙවීමට හැකි නම් අපට ඇත්තේ කුමන ගැටලු ද?

ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අනුකම්පාව නොව සහයෝගය යි. විපුල්ට සහ කමලා ට දිරියක් වන්න 0711243829 අංකයෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිය. පුටු වියන ඇස් නොපෙනෙන ඔවුන්ට අපි අපේ සහයෝගය සහ සෙනෙහස පාමු.

ඡායාරූප දුෂ්මන්ත මායාදුන්න

නව අදහස දක්වන්න