වෘත්තීය ලේඛකයකු වීමට සම්මානය හොඳ පෙලඹවීමක් | දිනමිණ

වෘත්තීය ලේඛකයකු වීමට සම්මානය හොඳ පෙලඹවීමක්

ප්‍රවීණ ලේඛක කුසුම්සිරි විජයවර්ධන

කුසුම්සිරි විජයවර්ධන ප්‍රවීණ මාධ්‍යවේදියකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, ගමන් කතා රචකයකු සහ යොවුන් සාහිත්‍ය රචකයකු ලෙස ප්‍රකටය. ලෙන්දොර හැරීම, පාරාදීසයට ගමනක්, ගිරි දුර්ග ඔස්සේ, ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර, සුන්දර දුම්බර, සොඳුරු සිරිලක චාරිකා සටහන්, ගිය ගමං, පින පෑදුන දා, පණ්ඩිත රාමාගේ කතා, කොම්පියුටර් ළමයි, දිරිමත් පණ්ඩුකාභය, තැනිතලාවේ කොටි දඩයම ඔහු ලියූ කෘති අතර වේ. මේ කුසුම්සිරි විජයවර්ධන සමඟ වත්මන් ලාංකේය සාහිත්‍ය ප්‍රවණතා සහ වසංගත යුගයේ සාහිත්‍යය පිළිබඳව කළ සංවාදයකි.

*අප දැන් ජීවත්වෙමින් සිටින්නේ වසංගත යුගයක් පසු කරමින්. මේ යුගයේ නව සාහිත්‍ය ප්‍රවණතා ගැන ඔබ දක්වන්නේ මොන වගේ අදහසක් ද?

මේ කාලෙ වසංගත බියක් වගේම හුදෙකලාවත් සමඟ ජීවත් විය යුතු කාලයක්. මට හිතෙන්නේ සමාජ සත්ත්වයෙක් වන මිනිසාට හුදෙකලාවේ භයානකම හොඳින් දැනෙන කාලයක්. ඒ නිසා බොහෝ ලේඛකයන්ට තම නිර්මාණ කිරීමට තරම් මානසිකත්වයක් නැති වෙලා. නමුත් කොරෝනා අත්දැකීම් පසුබිම් කරගෙන මා ලියූ කෘති කිහිපයකුත් පසුගිය කාලෙ පළ වුණා. වෛද්‍ය ආසිරි මුණසිංහගේ "කොරෝනා කාලෙ ආලේ", ටෙනිසන් පෙරේරාගේ "කොරෝනා කාලෙ අබිරහස් ජීවිත" වගේ කෘතිත් පළ වුණා. ඒ වගේම සමහර ලේඛකයන් අවිවේකය නිසා අත්හැර දමා තිබූ ශාස්ත්‍රීය කෘති කියවීමට පටන්ගෙන තිබුණා. ලියනගේ අමරකීර්ති වගේ ලේඛකයෝ ශාස්ත්‍රීය කෘති කිහිපයක් පළ කළා. "චාල්ස් හැලිසිගේ ඉතිහාසයක් තුළ" සාහිත්‍ය කෘති වගේ.

ඒ වගේම සමහරු වසංගතය අමතක කරමින් සරල කෘති ලිවීමටත් පෙළඹුණු බව පෙනුණා. වසංගතය නිසා විවේකය ලැබුණා කියලා සාහිත්‍ය නිර්මාණවල ශීඝ්‍ර ඉහළ යාමක් නම් දකින්න නැහැ. ඒ, බොහෝ දෙනාට පොත් ලිවීමට වඩා ජීවිත අවදානමෙන් බේරී සිටීමට සිදුවුණු හින්දා.

* තරුණ සාහිත්‍යකරුවන් තමන්ගේ වැඩ බිම සකස් කරගෙන අලුත් පිම්මක් පනින්න ලෑස්ති වෙලා ඉන්නවා නේද කියලා ඇහුවොත් ඔබ ඊට දක්වන්නෙ කොහොම ප්‍රතිචාරයක් ද?

තරුණ සාහිත්‍යකරුවන් ටික කලක පටන්ම තමන්ගේ වැඩ බිම ඔපමට්ටම් කර ගනිමින් සිටිනවා. මුලින්ම සයිබර් අවකාශයේ සැරිසරා ඉන් පසු මුද්‍රිත කෘතිවලින් ඔවුන් සාහිත්‍යයට එළැඹුණා. මා ඔවුන් තුළ දකින ප්‍රධාන දුර්වලතාවය තමයි සයිබර් ලෝකයෙන් මිදිලා සමකාලීන සාහිත්‍යය, සම්භාව්‍ය සාහිත්‍යය, ජාත්‍යන්තර කෘති අධ්‍යයනයට නොපෙළඹීම. ඔවුන් ඒකට හේතුව ලෙස කියන්නෙ වේලාවක් නැති බවයි. මේ නිසා සාහිත්‍යයට එළඹි විශාල තරුණ පිරිසක් අතරින් ඉදිරියට යන්නෙ ටික දෙනයි.

මේ නිසා ඔවුන් තමන්ගේ වැඩ බිම සාරවත් පොහොරවලින් වර්ධනය කර ගැනීම අවශ්‍යයි.

* මේ වසරේත් සාහිත්‍ය වසන්තය එළඹුණේ නැහැ. එනමුත් සාහිත්‍ය සම්මාන සඳහා කෘති රාශියක් නිර්දේශ වුණා. ඒවායින් කෘති රාශියක් පාඨකයන්ගේ අවධානය පැහැරගෙන. සම්මාන ලැබීම සහ සම්මාන ලැබීමෙන් පසුව ලේඛකයකුගේ ලේඛන ජීවිතය වෙනස් වෙනවා කියලා ඔබ හිතනව ද?

කලකට පෙර තිබුණේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණයි. අද සම්මාන උත්සව රාශියක් තිබෙනවා. ඒ වගේම පෙරට වඩා පොත් ප්‍රකාශකයන් දියුණුයි. ප්‍රමුඛ ප්‍රකාශකයන් රාශියක් සිටිනවා. සම්මාන උත්සව පොත් අලෙවි කරන උපාය මාර්ගයක් විදිහට ප්‍රකාශකයන් යොදා ගන්නවා. සම්මාන ලැබීමත් සමඟ ලේඛකයාගේ කෘතිවලට ඇති ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම ඔහුට සමාජයේ ඇති පිළිගැනීමත් ඉහළ යනවා. මේ නිසා ඔහු තව තවත් හොඳ පොත් ලිවීමට පෙළඹෙනවා.

අපට පේන විදිහට නම් ලිවීමේ වේගයත් වැඩි වෙනවා. ඒ මොකද, ප්‍රකාශකයන් අලුත් පොත් ඉල්ලන නිසා. මේ වේගවත් ලිවීම නිසාම පොත්වල විශිෂ්ටත්වය පහළ බසින බවක් පේනවා. සමහර ලේඛකයන්ට වෘත්තීය ලේඛකයන් වීමට සම්මාන ඉවහල් වුණා. සුනේත්‍රා රාජකරුණානායක, ටෙනිසන් පෙරේරා, ජයතිලක කම්මැල්ලවීර, අනුරසිරි හෙට්ටිගේ, එරික් ඉලයප්පආරච්චි, අමරසිරි, සේපාලි මායාදුන්නේ ඊට උදාහරණ කීපයක් පමණයි. කෙසේ නමුත් වෘත්තීය ලේඛකයකු වීමට සම්මානය හොඳ පෙළඹවීමක්.

* ඔබ පරිවර්තනයේ යෙදෙන්නෙක්. වර්තමාන ලාංකේය පරිවර්තන සාහිත්‍යය ගැන පරිවර්තකයකු විදිහට ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන් ද? 

වර්තමානයේ විශාල වශයෙන් පරිවර්තන කෘති බිහි වෙනවා. අප පාසල් කාලෙ කේ. ජී. කරුණාතිලක, ඒ. පී. ගුණරත්න, සිරිල් සී. පෙරේරා, මුනිදාස සෙනරත් යාපා වගේ කිහිප දෙනෙක්ගේ පරිවර්තන පොත් තමයි කියවන්න ලැබුණේ. ඒ කාලෙ ලේඛකයන් පරිවර්තනය කළේ ඒ පොත ගැන ලොකු අධ්‍යයනයක් කරලා.

ඉතා සෙමින් තමයි පරිවර්තන වැඩේ කළේ. අද එහෙම නෑ. වේගවත්ව පරිවර්තනය වෙනවා. සමහරු නම් ගූගල් පරිවර්තනයෙන් පොත් ලියන බව ඒවා කියවන විට පේනවා. ඒ තරම් වැරදි තිබෙනවා. සමස්තයක් විදියට සෑහීමට පත්වීමට අසීරු වුණත් හොඳ පරිවර්තකයන් පිරිසකුත් ඉන්නවා. පාඨකයා අතරින් ඉහළට යන්නෙ ඒ හොඳ පරිවර්තන තමයි. චන්ද්‍ර ශ්‍රී රණසිංහ, දිලීප ජයකොඩි, ආනන්ද අමරසිරි, ප්‍රේමචන්ද්‍ර අල්විස්, රංජිත් කුරුප්පු ඒ අතරින් කිහිප දෙනෙක්.

* ස්වතන්ත්‍ර නවකතා සහ කෙටිකතා ගැන පසුගිය කාල පරාසයේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රබෝධයට හේතුව විදිහට ඔබ දකින්නේ කුමක් ද?

මම නම් මේ ප්‍රබෝධයට හේතුව ලෙස දකින්නේ සම්මානයි. ස්වර්ණ පුස්තක, ගොඩගේ, විද්‍යෝදය, රාජ්‍ය සාහිත්‍ය වගේ. හැම සම්මාන උත්සවයකම ඉහළින්ම ඔසවා තබන්නේ නවකතා පොත්. ඊළඟට කෙටි කතා. මේ නිසා ස්වතන්ත්‍ර නවකතා හා කෙටිකතා ලිවීමට ලොකු උනන්දුවක් ඇති වුණා. උසස් ගණයේ නොවුණත් මුහුණු පොතේ පළ කිරීමට ඇති අසීමිත අවකාශය නිසාත් තරුණ පෙළ නවකතා සහ කෙටි කතා ලිව්වා. ඒවා සියල්ලක්ම පොත් ලෙස පළ වුණා. කෙසේ වුණත් මේ ප්‍රබෝධය අපව සතුටට පත් කරවන්නක්.

කලකට පෙර කෙටි කතා පොතක් පළ කරවා ගැනීම ප්‍රවීණ ලේඛකයකුට පවා අසීරු වුණා. අද ඒ තත්ත්වය නැහැ.

* ඉතිහාසය, පුරාවිද්‍යාව සහ ශාස්ත්‍රීය ලේඛනයට ඔබ විශේෂ ඇල්මක් දක්වන ලේඛකයෙක් හැටියට මේ විෂයයන් ගැන ලියැවුණු පොතපත අලෙවිය සහ ජනප්‍රිය කරවීම ගැන යම් වැඩපිළිවෙළක් හෝ සැලසුමක් තියෙනවා ද?

ඉතිහාසය හා පුරාවිද්‍යාවට මා තුළ කැමැත්තක් හට ගත්තේ ඒ ගැන පළවුණු පොත්පත් කියවලයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, කරුණාරත්න, එම්. එච්. සිරිසෝම, මහාචාර්ය සේනක බණ්ඩාරනායක, තිරාණගම රතනසාර හිමි, කඹුරුපිටියේ වනරතන හිමි වගේ විද්වතුන් රාශියකගේ පොත් මම කියෙව්වා.

පසු කාලීනව පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වතුන් සාමාන්‍ය ජනතාව අතරට එය ගෙන යාමට උත්සාහයක් තිබූ බවක් පේන්න නැහැ. ශාස්ත්‍රීය කෘති බිහි වුණත් ඒවා පොදු ජනතාවට තේරෙන්නෙ නැහැ. මම උත්සාහ කළේ සාමාන්‍ය ජනතාව අතරට පුරාවිද්‍යාව සහ ඉතිහාසය ගෙන යාමටයි.

දැන් අපේ අලුත් පරම්පරාවේ පුරාවිද්‍යාඥයන් ද මේ සඳහා උත්සාහ ගන්න බව පේනවා. නමුත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක සැලැස්මක් නම් නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විවිධ ප්‍රකාශන පළ කළත් ඒවා බෙදා හැරීමේ ක්‍රමවේදය ව්‍යාප්ත වී නැහැ.

* යොවුන් සාහිත්‍යයට ලාංකේය සාහිත්‍යයේ කුඩම්මාගේ සැලකිලි ලැබෙමින් තිබුණා. නමුත් කෙටි කාලයක දී තරමක පිබිදීමක් දකින්න තියෙනවා. එහෙම වෙන්නෙ ඇයි? තරුණ පරම්පරාව කියවන්නෙ නැද්ද?

යොවුන් සාහිත්‍යය ගැන සමහර ප්‍රවීණ ලේඛකයන් පවා හිතුවේ අඩු තක්සේරුවකින්. මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, ඇරැව්වල නන්දිමිත්‍ර වගේ විශිෂ්ටයෝ යොවුන් සාහිත්‍යය පෝෂණය කළා. නමුත් සමහර ප්‍රවීණ ලේඛකයෝ ඒ ආකාරයට පිවිසුණේ නෑ. මෑතක සිට රජත පුස්තක සම්මාන ආරම්භ කළ පසුව ඒ ගැන උනන්දුවක් දක්වන බව පේනවා. තරුණ හා යොවුන් පෙළ නොකියවනවා යැයි චෝදනා කරලා පලක් නෑ. ඔවුන්ට නොකියවා සිටීමට නොහැකි පොත් පළ කළ යුතුයි. බටහිර රටවල අප එය දකිනවා.

නව අදහස දක්වන්න