යළිත් විවර වූ පාසල් ගේට්ටු | දිනමිණ

යළිත් විවර වූ පාසල් ගේට්ටු

කොවිඩ් වසංගතය හේතුවෙන් ජන ජීවිතය බොහෝ කාලයක් අකර්මණ්‍යව පැවතුණි. සෑම සියලු ක්ෂේත්‍රයකටම එහි බලපෑම තදින්ම දැනුණි. අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉන් සිදු වූ බලපෑම සුළුප‍ටු නොවේ. විශාල කාල පරාසයක් මුළුල්ලේ පාසල් වසා තැබීමට සිදු වීමෙන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට යොමු වීමට සිසු, සිසුවියන්ට සිදු විය. විවිධාකාර බාධා මධ්‍යයේ වුව ඔන්ලයින් ඉගැනුම් ක්‍රම සඳහා ළමුන් හුරු විය. එහෙත් දීර්ඝකාලීනව මේ කටයුත්ත කරගෙන යෑමේදී නොයෙක් බාධා සහ ප්‍රායෝගික ගැටලු මතු වන්නට පටන් ගති. ඩේටා මිලදී ගැනීමේ හැකියාව සෑම සියලු දෙනාටම එක සේ නොමැති වීම, දුරකතන සංඥා දුර්වලතා සේම ගුරු වර්ජන ද මේ අතරට වරින් වර එකතු විය.

දීර්ඝ ලොක්ඩවුන් සීමා නිමා කර දැන් රට සාමාන්‍ය අතරට හැරෙමින් පවතී. පොදු ප්‍රවාහන පහසුකම් සේම දෛනික ජීවිතයේ කටයුතු ද ක්‍රම ක්‍රමයෙන් ආරම්භ වී ඇත. ඒ සමඟම දැන් මෙරටේ පාසල් පද්ධතිය අරඹා ඇත. බොහෝ කලක් නිවසට කොටු වී සිටි දරුවන්ට දැන් පාසල් යා හැකිය. තම යහළු යෙහෙළියන්ගෙන්, ගුරු මවුපියවරුන්ගෙන් හා පාසල් භූමිය ඇතුළු වටපිටාවෙන් දුරස්ව සිටි දරුවන්ට දැන් පාසල් භූමිය විවෘතය. මෙරටේ සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය 21දා විවෘත විය. ඕනෑම දෙයකට යම් කුකුසකින් හා සැකයකින් අවතීර්ණ වන මෙකල දරුවන්ගේ පාසල් ගමනට ද එය එසේම ක්‍රියාත්මක විය. දරුවන්ගේ පැමිණීම ද, ගුරුවරුන්ගේ පැමිණීම ද සැලකිය යුතු මට්ටමෙන් අඩු ප්‍රතිශතයක් ගැනිණ. නමුත්, මේ වන විට එම සංඛ්‍යාව ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පවතී. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ද ප්‍රාථමික අංශවල දරු දැරියන් පාසලට යැවීම පිළිබඳ කුකුසක් ඇති කර ගත යුතු නැති බවය.

දරුවන්ගේ අනාගතය

කෙසේ වෙතත් දෙවැනි අදියර ලෙස දිවයිනේ සෙසු පාසල්වල පසුගිය 25දා 01 වසර සිට 05 දක්වා ඇති ප්‍රාථමික අංශයේ සිසුන් උදෙසා පාසල් විවෘත විය. ඊට පාසල් 9155ක් ඇතුළත් විය. එහිදී විදුහල්පතිවරුන් 97%ක් ද, ගුරුවරු 89 %ක් ද, සිසුන් 45%ක් ද වශයෙන් පැමිණීම සනිටුහන් විය. අද වන විට පාසල් අරඹා දින කිහිපයක් ගතව ඇත. දැන් දැන් දරුවන් ද ගුරුවරුන් ද පාසල් පැමිණෙන සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

කොවිඩ්-19 ව්‍යාප්තිය සමස්ත ලොවක් හෙල්ලුවේය. ලොවෙහි අස්සක් මුල්ලක් නෑර සියලු පද්ධතිවලට විවිධාකාර බලපෑම් ඇති කළේය. දරුවන්ගේ අනාගතයට ද එහි තීරණාත්මක බලපෑමක් ඇති විය. නමුත්, මිනිස් ප්‍රජාව ද ඒ දෙස උපේක්ෂා සහගතව බලා සිටියේ නැත.

විද්‍යාඥයෝ විසින් නොපෙනෙන සතුරා හඳුනාගෙන ඔහුගේ පහර දීමට එරෙහිව විවිධ අත්හදා බැලීම් සිදු කොට අවසන එන්නත්කරණය ලොවට හඳුන්වා දීමට සමත් වූහ. එම නිසා වසංගතයට ගොදුරුව වේගයෙන් ඉහළ ගිය මරණ සංඛ්‍යාව අඩු මට්ටමකට ගෙන ඒමට සමත් විය. මිනිස් ප්‍රජාවගේ කැපවීම, උනන්දුව හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හේතුවෙන් වසංගතයට පැමිණි වේගයෙන් තව දුරටත් ගමන් කිරීමට බාධා එල්ල විය. මේ හේතු කාරණා මත කොවිඩ්-19 වසංගතය ලොවට බිහි වී වසර දෙකකට ආසන්න කලක් ගත වෙද්දී මෙතෙක් කලක් වසංව සිටි මිනිස් ප්‍රජාවට යළි හිස එසවීමට හැකි තත්ත්වයක් දැන් උද්ගතව ඇත. නමුත්, වසංගතය මුළුමනින්ම ලොවෙන් තුරන්ව ගොස් නැත. අපගේ වත්පිළිවෙත් හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්ම අප යළි නැගිටින්නට වෙර දරන්නෙමු.

දරුවන් පාසල් යා යුතුය. අඩපණව තිබූ ඔවුන්ගේ පාසැල් ගමන දැන් යළි ඇ‍රැඹිය හැකිය. මිත්‍ර සමාගම සහිත පාසැල් වටාපිටාව සමඟ දැන් යළිදු ගනුදෙනු කළ හැකිය. නමුත්, පෙරදා මෙන් නොවේ. යම් යම් සීමාවලට යටත්ව එසේ කරන්නට සිදුව ඇත. ඒ මක්නිසාද යත් වයිරසය තවමත් අපගේ කුමන හෝ දුර්වලතාවයක් හමුවේ හිස ඔසවන්නට බලා සිටින බැවිනි.

සුබවාදී ආකල්ප

රටක ජාතික සම්පත් අතර ප්‍රමුඛ වන්නේ දරුවෝය. අද දරුවෝ හෙට වැඩිහිටියෝ වෙති. එවිට අනාගතය තීරණය කරන්නේ ඔවුන්ය. රටක, ජාතියක පැවැත්ම සකසන්නේ ද ඔවුන්ය. එසේ හෙයින් අද දවසේ ඔවුන් මනාව රැක බලා ගනිමින්, පෝෂණය කරමින් ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුය. වසංගතය හමුවේ රටේ අනාගතය ද පමණක් නොව ඒවා සකසන්නට සිටින දරුවන්ගේ අනාගතය ද වසර කිහිපයක් ආපස්සට තල්ලු විය. එබැවින් දැන් යළි නැගිට ඉදිරියට යා යුතුය. දැන් ඒ ගමන අරඹන්නට අඩිතාලම යොදා ඇත. දරුවන් ද සිනාමුසුව පාසල් ගමන අරඹා ඇත. නමුත්, විවිධාකාර අභියෝග හා නොයෙක් ගැටලු දරුවන් අබියස ඇත. කෙසේ වෙතත් දරුවන්ගේ රැකවලුන් හා මඟ පෙන්වන්නන් වන මවුපියන්ටත්, ගුරුවරුන්ටත් භාරදූර වගකීමක්, යුතුකමක් හා කාර්යභාරයක් පැවරී ඇත. ඒ දරුවන්ගේ මනස නිවැ‍රැදි මාවතට ගෙන එමින් ඔවුන් අධ්‍යාපන මං පෙත් කරා යොමු කරවීමය. ඊට වටාපිටාවේ ඇති බාධක, අභියෝග මඟ හරවා දිය යුතුය. යහපත් හා සුබවාදී ආකල්ප සහිතව ළමයාගෙ සිත මෙන්ම කය ද පෝෂණය කළ යුතුය. එය ඇත්තේ දරුවන් සමීපයේම ගැවසෙන ගුරුවරුන් හා මවුපියන් අතය. වෙනදාට වඩා බරක් ඉසිලීමට ඔවුන්ට අද සිදුව ඇත්තේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නොපෙනෙන වසංගතයට මුහුණ දීමට සිදුව ඇති බැවිනි.

එබැවින් පාසල් යෑමට සූදානම් වන අවස්ථාවේ පටන් පාසල ඇරී නිවසට පැමිණෙන තෙක්ම දරුවාට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හා වත්පිළිවෙත් පමණක් නොව හැසිරෙන ආකාරය ද පිළිබඳ මනා අවබෝධයක් ලබා දිය යුතුමය.

දරුවාට මුව ආවරණ දෙකක් ලබා දිය යුතුය. එකක් පරිහරණයට සුදුසු නොවූ විට පැලඳීම සඳහාය. තව ද කිසිදු අයුරකින් එය නිරන්තරයෙන් අතපත ගෑම, ගැලවීම නොකළ යුතු බවට ද දැනුම්වත් කළ යුතුය. තමා වෙනදා මෙන් නොව ආහාර පාන ලබා ගත යුත්තේ තනි තනිවමය. බෙදා හදාගෙන කෑම හොඳ පුරුද්දක් ලෙසට පෙරදා උගන්වා සිටිය ද මෙකලට එය වලංගු නොවේ. එසේ කළහොත් නොපෙනෙන වසංගතයට ශරීරගත වීමට ඉඩකඩ ඇති බව දරුවාට වටහා දිය යුතුය.

නව සාමාන්‍යකරණය

මේ වන විට පාසල් දරුවෝ වයිරසය පිළිබදවත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිබඳවත් මනා අවබෝධයකින් යුක්තය. එපමණක්ද නොවේ. ඇතැම් වැඩිහිටියන්ටත් වඩා මේ ගැන සැලකිලිමත් වන්නේ දරුවන්ය. එබැවින් මෙය අපේ දින චර්යාවේ හා සෞඛ්‍ය පළපුරුදුවල සාමාන්‍ය තත්ත්වයක් බවට පෙන්වා දිය යුතුය. එය හිසරදයක්, වදයක් බවට පත් නොකර ගන්නා තරමට තමන්ට පහසු ය. මේ කරුණු කාරණා වැඩිහිටියන්ටත් වඩා පහසුවෙන් පහදා දිය හැක්කේ ද දරුවන්ටය. එසේ හෙයින් එම කර්තව්‍යය මවුපියන්ටත්, ගුරුවරුන්ටත් ඉතා හොඳින් ඉටු කළ හැකිය. කුමන කාර්යයටත් පෙර ජීවිත රැක ගත යුතු බවට දරුවන්ට පහදා දීම වැඩිහිටියන්ට පහදා දීමට වඩා පහසුය.

පොතපත පරිශීලනයෙන් පමණක් නොව, පාසල් සංස්කෘතිය තුළින් දරුවන්ගේ මනස ඇතුළුව ක්‍රියාශීලීව බොහෝ දෑ ඔවුන්ට උකහා ගැනීමට හැකිය. නිවසට කොටුව සිටි ඇතැම් දරුවෝ මානසික පීඩනයකින් පසු වූවෝ විය හැකිය. දැන් එය ක්‍රමානුකූලව යහපත් අතට ගොඩනැගීමේ දොරගුළු විවර කොට ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල ඇඳුම වෙනුවට වෙනත් සුදුසු ඇඳුමක් ඇඳ පැලඳ ගෙන පාසල් ඒමට දරුවන්ට අවසර ලබා දුන්නේ දරුවන් පාසල් සංස්කෘතියට ක්‍රමානුකූලව යොමු කරවීමට අවශ්‍ය පසුබිම සකසන්නට විය යුතුය. ප්‍රථමයෙන්ම පාසල හා ඒ අවට දරුවන්ට විසීමට සුදුසු තත්ත්වයකට පත් කළ යුතුය. බොහෝ කලකින් පිරිසිදු කර නොමැති හෙයින් අපිරිසිදු පරිසරයක් ඇති වී තිබෙන්නට පුළුවන. කැඩී බිඳී ගිය තැන් පිළිසකර කරන්නට සිදුව තිබෙන්නට පුළුවන. තව ද නිවෙස්වල කලක් සිටීම හේතුවෙන් ඇඳුම්, පැලඳුම් ඇතුළු අත්‍යවශ්‍ය පරිහරණය කළ යුතු භාණ්ඩ අබල දුබලව තිබෙන්නට පුළුවන. එපමණක් ද නොවේ, ඒවා පිළිසකර කර ගැනීමට ප්‍රායෝගික අපහසුතා ඇති විය හැකිය. එසේ හෙයින් ඒවා ක්‍රමානුකූලව පිළිසකර කර ගන්නට ඉඩ හසර ලබා දී දරුවන් වෙනුවෙන් එම තීරණය ගන්නට ඇත. මේ ආකාරයට දරුවන් වෙනුවෙන් බොහෝ දේ කරන්නටත්, බොහෝ දේ සිතන්නටත් අද සිදුව තිබේ.

සෞඛ්‍ය උපදෙස්

පාසල් යළි විවෘත කොට ඇත්තේ ද කිසිවකු නොදැන ගත්තාට බොහෝ පෙර පර්යේෂණ හා සාකච්ඡා කිරීම්වලින් අනතුරුවය. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, සෞඛ්‍ය සේවා නිලධාරීන්, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මවුපියන් යනාදී වශයෙන් අංශ ගණනාවක් සමඟ සාකච්ඡා කොට ලබාගත් දත්තයන්ට අනුව පාසල් විවෘත කිරීමට තීන්දු කෙරිණි. පාසලේ විදුහල්පතිතුමා, සෞඛ්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හා ග්‍රාම නිලධාරි මහතා හෝ මහත්මිය විසින් පාසල අවට ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂිත බව තීරණය කර නිර්දේශ කළාට පසුව දරුවන්ට පාසලට පැමිණීමට සුදුසු වාතාවරණයක් ගොඩනැගේ. එබැවින් මවුපියන් කිසිසේත්ම අනවශ්‍ය ලෙස කලබල වීමටත්, බිය, සැක, සංකා ද ඇති කර ගත යුතු නැත. එපමණක් ද නොවේ, දරුවා කුමන හෝ අසනීප තත්ත්වයකින් පෙළෙන්නේ නම්, හෝ කොවිඩ් ආසාදිත අයකු පවුලේ සහ අවට නිරෝධායනය වෙමින් සිටී නම් දරුවා පාසලට යැවීමට හදිසි විය යුතු නැත. එසේ කළ යුත්තේ අතපසු වීමකින් හෝ වයිරසය යළිඳු හිස ඔසවා පැතිරීමට ඇති ඉඩ කඩ ඇසිරිය යුතු බැවිනි.

තව ද දරුවන් පාසලට කැටුව යන මවුපියන් පාසල අරින තුරු රැස් කකා පාසල අසල නතරව සිටිය යුතු නැත. දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් මවුපියන්ට ද මහඟු කර්තව්‍යයක් පැවරී ඇත. නිවසේ සිට පාසල දක්වා පසු කර යන එන අතරමග වඩා සැලකිලිමත් විය යුතුය. අනවශ්‍ය ලෙස දරුවන්ගේ රැඳීම, එකිනෙකා රැස් වී කටයුතු කිරීම, අවට මඟ තොටේ වෙළෙඳසැල් වෙත ගොඩ වැදීමෙන් වැළකීමට දරුවන් මෙන්ම මවුපියන් ද කටයුතු කළ යුතුය.

එළැඹ ඇත්තේ ප්‍රීතිමත් සමයකි. මෙය අපගේ පසුබෑමට ලක්ව තිබූ සියලු ක්ෂේත්‍ර යළි නඟා සිටු විය යුතු කාලයයි. රටේ අනාගත පරපුර සුරක්ෂිත කරමින් ඔවුන්ව අධ්‍යාපනයට යොමු කළ යුතු කාලය මෙයයි. මෙහිදී සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙන සෞඛ්‍ය උපදෙස් පිළි ගනිමින් ගුරු දෙගුරුන්ගේ බහට අවනත වෙමින් ඔවුන් ලබා දෙන අධ්‍යාපන මාවතට පිවිසෙන්නට දැන් දැයේ දරුවන්ට අවකාශ සැලසී ඇත.

ශ්‍යාමා සමරසිංහ

 

නව අදහස දක්වන්න