සංචාරක කර්මාන්තයට පණ දෙන අලුත් සැලසුම් | දිනමිණ

සංචාරක කර්මාන්තයට පණ දෙන අලුත් සැලසුම්

මහින්ද අලුත්ගෙදර

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක් වූ දිවයිනකි. ග්‍රීසිය, මැද පෙරදිග, පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය ආදී රටවලින් අතීතයේ පටන් විදේශිකයන් ලංකාවට පැමිණි බවට සාක්ෂි ඇත. අපේ පුංචි ලක්දිව ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීම මතුනොව, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනමය වටිනාකමින් යුක්ත වීමද මෙසේ විදේශිකයන්ගේ පැමිණීමට හේතු වී තිබේ. විදේශිකයන්ගේ ලංකාගමනය නූතන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහෙත් සංචාරකයා යන හැදින්වීම අර්ථ දක්වන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයෙක්ම සංචාරකයකු නොවන බවයි. දේශගුණික අපහසුතාව ආධ්‍යාත්මික සුවය හා සරල ජීවිතය ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය, විවේකය, ඓතිහාසික වටිනාකම අාදී කරුණු අගය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරකයන් වශයෙන් හැදින්විය හැකිය.

ශ්‍රී ලංකාව මතු නොව නූතනයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රාශියක් සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ස්වකීය රටවල් කරා අද්දවා ගනී. ශ්‍රී ලංකාවේ සංචාරක කටයුත්ත කර්මාන්තයක් වශයෙන් වැඩී වර්ධනය වන්නට පටන් ගත්තේ 1960 දශකයේ සිටය. ඉන් පසු එළඹි දශක කීපය තුළ විටෙන අඩාළ වෙමින් ද විටෙක වර්ධනය වෙමින් ද පැවති එය නූතනයේ අපේ ආර්ථිකයට අඩු වැඩි තරමින් බලපෑම් කරන්නට සමත් වී ඇත.1963 දී රුපියල් දශ ලක්ෂ 6ක පමණ ආදායමක් ලබාගත් අතර 1969 දී එය රුපියල් දශ ලක්ෂ 17 දක්වා වර්ධනය වී තිබිණි. 1977 න් පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ විවෘත භාවය සංචාරක ව්‍යාපාරයෙහි දියුණුවට බෙහෙවින් ඉවහල් විය. විවෘත ආර්ථිකය, විදේශීය ආයෝජකයන්ට ඉවහල් විය.

විවෘත ආර්ථිකය, විදේශීය, ආයෝජකයින්ට ඉඩ ප්‍රස්ථා සැලසීම, විනිමය සීමා කිරීම වැනි නව ආර්ථික ප්‍රතිපත්ති සංචාරක ව්‍යාපාර විෂයෙහි මහත් බලපෑම් ඇති කිරීමට සමත් විය. 1980 දී ලංකාවට සංචාරකයින් 321,780 ත් පැමිණි අතර එම වසරේ විදේශ විනිමය ඉපැයුම රුපියල් දශ ලක්‍ෂ 1830 කි. 1981 දී මෙය සියයට 39 කින් වැඩි වී තිබිණි. 1992 දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඉපයුම දශ ලක්‍ෂ 18500 විය. ගත වූ දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ වැඩි පිරිසක් බටහිර යුරෝපා රටවලට අයත්ය.

කෙසේ වුවද මෑත කාලය ගත්විට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබීම කනගාටුවට කරුණකි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම එක හා සමාන ලෙස බලපෑවේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට කොවිඩ් 19 වසංගත තත්ත්වය පමණක් නොව පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ද දැඩි ලෙස බලපෑම් එල්ල කළේය. මේ තත්ත්වය තුළ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම වේගයෙන් පහත වැටිණි. ඒ තත්ත්වය තුළ කිසිදු විදේශීය සංචාරකයෙකු මෙරටට නොපැමිණි අවස්ථා ද දක්නට ලැබිණි. පසුගිය 2020 වසරේ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල කිසිදු විදේශීය සංචාරකයෙකු ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. රට පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් වසා දැමීම හා ගුවන් තොටුපළ වසා දැමීම ද මේ තත්ත්වයට බලපා තිබේ.

ඒ කෙසේ නමුත් පසුගිය 2020 වසරේ දී විදේශීය සංචාරකයන් 507,311 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර මේ වසරේ මේ දක්වා කාලයේ දී විදෙස් සංචාරකයන් 60,695 දෙනෙකු මේ වනවිට පැමිණ තිබෙන බවට සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පෙන්වාදෙයි. සංචාරක කර්මාන්තය ඔස්සේ ඉහළම විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක් බව කිව යුතුය. එලෙසම පහසුවෙන් දියුණු කළහැකි ක්ෂේත්‍රයකි. මේ තත්ත්වය කෙසේ වුවද එළඹෙන 2030 පමණ වනවිට වාර්ෂිකව විදේශයන්ගෙන් පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 70 ක් දක්වා ඉහළ නැංවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්කර තිබේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වය සහ මඟ පෙන්වීම යටතේ වත්මන් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු කණ්ඩායම විසින් විවිධ සැලසුම් සකස් කොට තිබේ.

මෙලෙස විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි වීමෙන් වාර්ෂිකව අපේ රටට විදේශ විනිමය අමෙරිකානු ඩොලර් මිලියන 10,000 ක ප්‍රමාණයක් එක්වනු නිසැකය. ඒ අනුව එම කර්මාන්තයේ ප්‍රතිලාභ ඒ ආශ්‍රිත සෘජුව හා වක්‍රව නියැළී සිටින ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයකට වාසිදායක තත්ත්වයක් වනු ඇත. සංචාරකයන් ගෙන්වා ගැනීමේ දී එම කර්මාන්තයේ දියුණුව අපේක්ෂා කරමින් යටිතල පහසුකම් දියුණු කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබෙන අතර අරුගම්බේ ඇතුළු සංචාරක කලාප හඳුනා ගනිමින් ඒවායේ සංවර්ධනය වේගවත් කිරීමට පියවර ගෙන තිබීම සංචාරක කර්මාන්තයේ හෙට දවස යහපත් කිරීම වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් වනු ඇත. සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පළාත් සභා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහයෝගය ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් වත්මන් රජය විසින් ඉතාම කෙටි කාලයක් තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර රටේ ප්‍රධාන සංචාරක නගර යාවෙන මාර්ග පද්ධති ආශ්‍රිතව සංචාරක සේවා මධ්‍යස්ථාන පිහිටුවීම, එකී මාර්ගවල සනීපාරක්ෂක පහසුකම්, අවන්හල්, මුදල් හුවමාරු මධ්‍යස්ථාන වැනි සංචාරකයන්ට අවශ්‍ය සියලු ̈පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ඉදි කිරීමට කටයුතු කෙරේ. සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේ දී සිදුවන ප්‍රමාද සහ කොළඹට පැමිණීම වළක්වා ගැනීම සඳහා සංචාරක නගරවල ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු කෙරේ. සංචාරක ප්‍රදේශ, සංචාරක නගර, සංචාරක පාසැල් සහ සංචාරක හෝටල්, පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන අතර දැනට ඇති පාඨමාලාවලට අමතරව සාමාන්‍ය පෙළ සුදුසුකම් රහිත එහෙත් මෙම ක්ෂේත්‍රයේ රැකියා කරන සහ ක්ෂේත්‍රයේ පිළිබඳව උනන්දුවන තරුණ තරුණියන්ට හැදෑරිය හැකි ආරම්භක ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දෙනු ලැබේ.

ඊට අමතරව අන්තර්ජාලය හරහා හෝටල් වෙන්කිරීම ප්‍රවාහන පහසුකම්, මාර්ගෝපදේශකයින්, අභ්‍යන්තර ගුවන් ප්‍රවේශ පත්‍ර සහ ඇතුළුවීමේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිවන ආකාරයට මධ්‍යම අන්තර්ජාල මෘදුකාංග පද්ධතියක් සහ සිය ̈සංචාරක ස්ථාන සඳහා ස්වයංක්‍රීය ඇතුළුවීම දොරටු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා නව සේවාවන් හඳුන්වා දීම, සාප්පු සංකීර්ණ ඉදිකිරීම, අභ්‍යන්තර ගුවන්සේවා හා අනෙකුත් ප්‍රවාහන සේවා දියුණු කිරීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රය තුළ පුහුණු හා නුපුහුණු සේවා සපයන්නන්ගේ ප්‍රමාණය දශ ලක්ෂයක් දක්වා වැඩි කරන්නටත් කටයුතු කෙරේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල පුළුල් ප්‍රචාරයක් ලබාදීම සඳහා උපාය මාර්ගික ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර එවැනි වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කෙරේ. එයින් අපේක්ෂා කරන්නේ රටේ සංවර්ධනය මෙන්ම වැඩි වශයෙන් විදේශී සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම හරහා සංචාරක කර්මාන්තයේ නිරතවන්නන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමය. 

මේ අතර කොවිඩ් 19 වසංගතයට එරෙහිව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා රජය එන්නත්කරණ වැඩපිළිවෙළ ද සාර්ථකව ක්‍රියාත්මක කිරීම, සංචාරක ආකර්ෂණීය ස්ථාන බහුල වශයෙන් පැවතීම, යටිතල පහසුකම් සංවර්ධනය, ගුවන් තොටුපළ විවෘතව පැවතීම, ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තයක් බවට අන්තර්ජාතික සංවිධාන හා සඟර මඟින් පෙන්වාදීම ආදිය හේතුවෙන් අද වනවිට සංචාරකයන් අපේ දිවයිනට පැමිණෙමින් සිටින අතර පසුගිය කාලයේ දී කඩා වැටීමට ලක්වූ සංචාරක කර්මාන්තය තවත් වසර දෙක තුනක් පමණ ගතවන විට සාමාන්‍ය තත්ත්වයට පත්වනු නිසැකය. ඒ අනුව සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ට පමණක් නොව සමස්ත රට වැසියන්ට මෙය හිතකර තත්ත්වයක් වනු ඇත.

නව අදහස දක්වන්න