ඇමැතිවරුන් සංඛ්‍යාව සීමාව ඉක්මවා යෑම ව්‍යවස්ථාවට පටහැණියි | දිනමිණ

ඇමැතිවරුන් සංඛ්‍යාව සීමාව ඉක්මවා යෑම ව්‍යවස්ථාවට පටහැණියි

නෙල්කා මැදගෙදර

- වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම්ගෙන් පෙත්සමක්

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් අනුමත කර ඇති සංඛ්‍යාව ඉක්මවා යමින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීතිවිරෝධි බවට තීරණය කරන ලෙස ඉල්ලා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (19) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, සියලු රාජ්‍ය ඇමැතිවරු, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු 82 දෙනකු නම් කර තිබේ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් කළ හැකි කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 30ක් සහ රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 40ක් බව පෙත්සමෙහි සඳහන් වේ.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙසද, නාමල් රාජපක්ෂ මහතා සංවර්ධන කටයුතු පිළිබඳ අධීක්ෂණ ඇමැතිවරයා ලෙසද පත් වීම නිසා මේ වන විට කැබිනට් ඇමැති ධුර 32ක් පවතින බව පෙත්සමෙහි සඳහන් වේ. එසේම චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන අය රාජ්‍ය ඇමැතිවරු ලෙස පත් වීම නිසා රාජ්‍ය ඇමැතිවරු 44ක් සිටින බවද එමඟින් පෙන්වා දී ඇත.

එය ව්‍යවස්ථාව මඟින් පනවා ඇති සීමා ඉක්මවා කැබිනට් ඇමැතිවරු දෙදෙනකු සහ රාජ්‍ය ඇමැතිවරුන් 4 දෙනකු ජනාධිපතිවරයා විසින් වැඩි පුර පත් කිරීමක් බවට චෝදනා කරන පෙත්සම්කරු එම පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට චෝදනා කර සිටී.

ඒ අනුව එම ඇමැති ධුර පත් කළ ඉකුත් ජූනි මස 7 දායින් පසුව මෙරට අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැණි බව ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය ඇමැතිවරුන් පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) (අ) සහ (ආ) ව්‍යවස්ථාවට පටහැණි බවය.

එමඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එබැවින් එම ඇමැතිවරුන් අදාළ ඇමැති ධුරවල කටයුතු කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

නව අදහස දක්වන්න