කොදෙව්වෝ පරාජය අබියස | දිනමිණ

කොදෙව්වෝ පරාජය අබියස

මෙන්ඩිස් ඇඹුල්දෙණිය අණසක පතුරවති

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 347ක ඉලක්කයක් හඹා යන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ සිව්වැනි දිනයට අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට ලකුණු 52කට කඩුලු 6ක් අහිමිව දැඩී අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

කඩුලු 4ක් අතැතිව සිටින කොදෙව් පිල ජයග්‍රහණයට තවත් ලකුණු 296ක් පසුපසින් සිටී. ජොෂුවා ද සිල්වා ලකුණු 15ක් සහ නක්රුමා බොනර් ලකුණු 18ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ 7 වැනි කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් ද පිහිටුවමිනි.

මේ තරගයේ පළමු ඉනිමට ලකුණු 386ක් රැස් කළ ශ්‍රී ලංකා පිල ඊයේ කඩුලු 4කට ලකුණු 191ක්ව තිබියදී දෙවැනි ඉනිම අත්හිටුවූයේ කොදෙව් පිලට ලකුණු 347ක ඉලක්කය දෙමිනි.

කොදෙව් පිළිතුරු ඉනිමට අභියෝග කළ රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 18ක් තුළ මුල් පෙළ පිතිකරුවන් 6 දෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූහ. නායක ක්‍රේග් බ්‍රැත්වෙයිට් (0) සමඟ කයිල් මේයර්ස් (2) කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත් මෙන්ඩිස්, ෂායි හෝප් සහ ජේසන් හෝල්ඩර් පන්දු කඩුල්ලේ වැදීමට සැලස්වීමෙන් පිටියෙන් ඉවත් කළේය.

ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ඇන්ජෙලෝ මැතිව්ස් උඩ පන්දුවක් රැක ගැනීමෙන් ආරම්භ පිතිකරු ජෙරමයින් බ්ලැක්වුඩ් (9) දැවී ගිය අතර, රොස්ටන් චේස්ගේ ඉනිම ලකුණකට සීමා වූයේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනි.

සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම සටහන් කළ මෙන්ඩිස් ලකුණු 17කට කඩුලු 4 බිඳ දැමූ අතර, ඇඹුල්දෙණිය කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 18කටය.

ශ්‍රී ලංකා පිල ප්‍රතිවාදී කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක දවාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 2007 වසරේ බංග්ලාදේශ පිල සරවනමුත්තු පිටියේදී ලකුණු 62කට දැවී යෑමය. එම වාර්තාව අලුත් කිරීමට නම් ශ්‍රී ලංකා පිල අද අවසන් කඩුලු 4 ලකුණු 15කට පෙර දවා ගත යුතුය.

ඊයේ සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල ලකුණු 191කට ඉනිම අත්හිටුවූයේ කඩුලු 4ක් දැවී තිබියදීය.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක (3) සමඟින් ඕෂද ප්‍රනාන්දු (13) අඩු ලකුණු ගණනකට දැවී ගිය ද නායක දිමුත් කරුණාරත්නට එක් වූ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 123ක සබඳතාවක් සමඟින් මුළු ලකුණු සංඛ්‍යාව 162 දක්වා ඉදිරියට ගෙන ගියේය.

ඊයේ 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ දිමුත් ලකුණු 83කට දැවී ගිය අතර, මැතිව්ස් නොදැවී ලකුණු 69ක් රැස් කළේ 37 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙසයි. ධනංජය ද සිල්වා එක් ලකුණකට දැවී ගිය අතර, ඉනිම අත්හිටුවන විට දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 10ක් රැස් කර තිබිණි.

පෙරේදා තරගයේ තෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තරගය ඊයේ පෙරවරු 9.45ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද ක්‍රීඩාංගණයේ පැවැති තෙත සහිත ස්වාභාවය හේතුවෙන් තරගය ආරම්භ වූයේ පැයක ප්‍රමාදයකින් පසුවය. ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක කළ 6 වැනි ඕවරයේදී කොදෙව් ඉනිම ලකුණු 230කින් නතර කිරීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වූයේ ශැනන් ගේබ්‍රියෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි.

අද තරගයේ අවසන් දිනයයි.

නව අදහස දක්වන්න