ආර්ථිකය නංවමින් ගුවන් මඟීන්ට සුව ගමනාන්තයක් සැපයීම අපේ අරමුණයි | දිනමිණ

ආර්ථිකය නංවමින් ගුවන් මඟීන්ට සුව ගමනාන්තයක් සැපයීම අපේ අරමුණයි

කටුනායක ගුවන්තොට පුළුල් කිරීමේ දෙවැනි අදියර අරඹමින් රාජ්‍ය අැමැති ඩී.වී. චානක කියයි

සෑම ගුවන් මගියකුටම අපහසුවෙන් තොරව තම ගමනාන්තය සපුරා දීමත්, ගුවන්තොටුපොළ මඟින් මෙරට ආර්ථිකයට ශක්තියක් ලබා දීමත් ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේ අපේක්ෂාව බව ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය.

මෙරට දෙවැනි විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර විවෘත කිරීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

"වසංගතය හමුවේ දැඩි ලෙස හානියට පත් කේෂ්ත්‍රය ලෙස ජාත්‍යනතර ගුවන් සේවා ක්ෂේත්‍රය සඳහන් කළ හැක. මෙරට ගුවන් සේවාව ද මෙම ව්‍යසනයට සෘජු ලෙසම මුහුණ දුනි. ගගන පුරා පියාසර කෙරුණු දහස් ගණනක් ගුවන් යානා කිසිදාක නැති ලෙස පොළොව මත ගිමන් හරින්නට විය. ලෝක ආර්ථිකය තුළ පළමුව හා දැඩි ලෙස කඩා වැටුණු කේෂ්ත්‍රය ලෙස ගුවන් කර්මාන්තය සඳහන් විය.

පැවැති තත්ත්වය හමුවේ මෙරට ගුවන්තොටුපොළ ද වසා දැමීමට අපට සිදු විය. එහෙත් පවතින වසංගත තත්ත්වය ද යහපතකට හරවා ගනිමින් කටුනායක ගුවන්තොටුපොළ අනාගත අවශ්‍යතාවයට සරිලන ලෙස සංවර්ධනය කිරීමට රජය පියවර ගත්තේය. මේ සඳහා ප්‍රධානතම සාධකය වූයේ 2014 වසරේ ජනාධිපති ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගුවන්තොටුපොළේ සුවිශේෂ සංවර්ධන කාර්යයන් රැසකට මුල පිරීමයි. මේ සදහා එතුමාගේ මැදිහත් වීම මත ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය ද ලබා ගැනීමට හැකි විය. ඒ අනුව පැකේජ ඒ හා බී යටතේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ විය.

"යහපාලන රජය මෙම ව්‍යපෘතිය නවතා දැමීමත් සමඟ රටට රුපියල් කෝටි 1,600ක විශාල පාඩුවක් සිදු විය. එමඟින් මෙම ව්‍යාපෘතිය මීට වසර කිහිපයකට පෙර නිම කිරීමට තිබූ අවස්ථාව මඟහැරිණි. මෙහි ප්‍රධානතම අරමුණ වූයේ ගුවන් මගී ධාරිතාව වාර්ෂිකව මිලියන 15 දක්වා ඉහළ නැංවීමයි. මේ වන විට ගුවන්තොටුපොළ සතු ගුවන් මගීන් මෙහෙයවීමේ ධාරිතාව වාර්ෂිකව මිලියන 6කි. එහෙත් මේ වන විටත් මිලියන 11ක් පමණ ගුවන් මගී මෙහෙයුම් මෙහෙයවනු ලබයි. නව සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වීමත් සමඟ පහසුවෙන් වාර්ෂිකව ගුවන් මගී මෙහෙයුම් මිලියන 15ක් මෙහෙයවිය හැකිය. එසේම වාර්ෂිකව මෙහෙයවන ගුවන් ගමන් වාර මෙහෙයුම් 60,000ක ප්‍රමාණය දෙගුණ කර ගැනීම ද අපේක්ෂා කෙරේ.

අද දින (25) ජනතා අයිතියට පත්වන නව ගුවන් යාත්‍රාංගණය විවෘත කිරීමත් සමඟම මෙතෙක් නවතා තැබිය හැකි ගුවන් යානා ප්‍රමාණය 26 සිට 49 දක්වා ඉහළ නැංවේ. එයින් මෙරට ගුවන් කේෂ්ත්‍රයේ සුවිශේෂ මතකයක් සනිහිටුවන් වනු ඇත. නව ගුවන් යාත්‍රාංගණ ප්‍රදේශය නවීනතම විදුලි පහන්, ගුවන් යානා බිම් ආලෝක සංඥා සහ තවත් බොහෝ දේ ඇතුළුව නවතම තාක්‍ෂණයෙන් පරිපූර්ණ වේ. ජනාධිපතිතුමාගේ දැක්ම වී ඇත්තේ ශ්‍රී ලංකාව කලාපයේ ගුවන් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි. එය මෙරට සංචාරක කර්මාන්තයට පමණක් නොව, නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියේ වර්ධනයට සෘජුවම දායක වන සාධකයකි. ඒ සඳහා ගුවන්තොටුපොළ සියලු අංශයන්ගෙන් පොහොසත් කලාපයේ හොඳම ගුවන්තොටුපොළ බවට පත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇත.

නව අදහස දක්වන්න