රටක සැබෑ සංවර්ධනයට ආර්ථික සංවර්ධනයත් අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි | දිනමිණ

රටක සැබෑ සංවර්ධනයට ආර්ථික සංවර්ධනයත් අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි

අගමැති මහින්ද රාජපක්ෂ

පරිපාලන සේවයේත් රාජ්‍ය සේවයේත් ගරුත්වය අද නැති වෙලා

  •  පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර

සඳහිරු සෑය ගැන පුරාවිද්‍යා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු කරන ප්‍රකාශ සැකයට තුඩු දෙනවා

  • රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක

විශ්‍රාම වයස අවුරුදු 65 කිරීම ගැන ආන්දෝලනයක් ඇති වෙලා

  •  පා.ම. විජිත හේරත්

අනතුරු අවමයට ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් හදනවා

  • ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

රටක සැබෑ සංවර්ධනයට ආර්ථික සංවර්ධනයත් අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසුවේය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක් වෙමිනි.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24) රැස් විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු දුන්හ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා -

රටක සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් ආර්ථික සංවර්ධනය වගේම අාධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි. පුද්ගලයන් ගුණගරුක, විනයගරුක කිරීමේ කාර්යභාරය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරි තිබෙන බව ඔබතුමාට මතක් කරනවා. මේ කාර්යය භාරය අප විසින් මනාව ඉටු කළ යුතුව තිබෙනවා.දෙදහස් පන්සිය වසරක් පුරා සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කළ අප, අනාගත ශාසනයේ උන්නතිය උදෙසා ද කටයුතු කළ යුතු බවයි අප විශ්වාස කරන්නේ. ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා සභ්‍යත්වය, දහමින් දැනුමෙන් හා විනයෙන් පෝෂණය කළ සම්බුද්ධ ශාසනය, අතීතයේ ආරක්ෂා කර ගත් පරිදිම ආරක්ෂා කර ගැනීම අප හැම දෙනාගේම ජාතික වගකීමක් ලෙසයි මා සළකන්නේ.එහිදී බෞද්ධ ධර්මය විකෘති නොකර ආරක්ෂා කර ගැනීම, සංඝ ශාසනය ආරක්ෂා කර ගැනීම, බෞද්ධ සිද්ධස්ථාන දියුණු කිරීම හා ආරක්ෂා කිරීම, සාරධර්ම පිරි සමාජයක් ඇති කිරීම උදෙසා වූ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අප අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.අනෙකුත් සියලු ආගම් සම්බන්ධව කටයුතු කිරීමත් අප අමාත්‍යාංශය විෂය පථයට අයත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි සියලුම ආගම්වලට ආරක්ෂාව දීම අපගේ වගකීම වෙනවා. ඒ අනුව අප විසින් සියලුම අන්‍ය ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ද එම ආගමික පූජකතුමන්ලාගේ අධ්‍යාපනය හා සුබ සාධනය වෙනුවෙන්ද කටයුතු කරලා තිබෙනවා. ආගමික හරයන් සමාජගත කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන්ද වාර්ෂිකව විශාල මුදලක් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු හරහා වැය කරනවා. ආගම් අතර සහජීවනය වැඩි දියුණු කරමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව ජීවත් වන ජන සමාජයක් බිහි කිරීම වෙනුවෙනුයි අපි මේ සියල්ල කරන්නේ.සංස්කෘතිය, සාහිත්‍යය හා කලාව උසස් මට්ටමකට පත් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය හරහා උසස් කලා නිර්මාණයන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය ඇති කිරීමට අවධානය යොමු කරලා තිබෙනවා.

ඒ වගේම කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින ශිල්පීන්ගේ සුබ සාධනය ඇති කිරීමේ වැඩසටහන් 2022 වර්ෂය තුළ ද අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉතිහාසය, පුරා විද්‍යාව හා ජාතික උරුමයන් යනු රටක අනන්‍යතාවයයි. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරමින් ජාතික අනන්‍යතාව මතු පරපුරට උරුම කර දීමේ අපගේ වගකීම ඉටුකරමින් සිටින බව ප්‍රකාශ කරන්න ඕනේ. විනයගරුක පුද්ගලයෙකු බිහි කිරීමට බාධාවක් ලෙස මත් ද්‍රව්‍ය භාවිතය හා විවිධ දුරාචාරවලට යොමු වීම සඳහන් කරන්න පුළුවන්. එවැනි පුද්ගලයන් හඳුනා ගනිමින් ආගමික පසුබිමක් යටතේ ඔවුන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ වැඩසටහනක් අප අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙනවා. එය 2022 වර්ෂයේ ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.මුළු ලොවටම බලපෑ කොවිඩ් තත්ත්වය නිසා සැලසුම් කළ කටයුතු නියමිත ඉලක්ක කරා යාමේ දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා.එහෙත් 2022 වසරේ දී අප අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන වගේම ජාතික උරුම, ප්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍යාංශයේ ද උපරිම දායකත්වයෙන් ආවේණික හා අපේක්ෂිත ඉලක්කවලට ළඟා වීමට උපායමාර්ග ක්‍රමවේද අනුගමනය කිරීමට අප සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා අපේ අමාත්‍යාංශය මේ කාර්යයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවෙලා කටයුතු කරන බව ඔබ තුමාට මතක් කරනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා -

මෙවර අය වැය ඉදිරිපත් කරන්න සිදුව ඇත්තේ අභියෝගාත්මක පරිසරයකයි. එවැනි තත්ත්වයක් තිබියදී ජනතාවාදී අය වැයක් ඉදිරිපත් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමත්ව තිබේ. මෙතෙක් ඉදිරිපත් වූ සාම්ප්‍රදායික අය වැයෙන් බැහැරව ගොස් අපේ රටේ අනාගතය දෙස බලා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන සැලසුම් රැසක් යෝජනා කර තිබෙනවා. ගෙවීගිය කාල පරිජේදයේ වුවද මගේ අමාත්‍යාංශය විසින් ඊට පැවැරී ඇති කාර්ය භාර්යයන් නිසි ලෙස ඉටු කර තිබෙනවා. කොවිඩ් වසංගතය පවතිත්දිත් විභාග පවත්වා රජයේ සේවාවට අවශ්‍ය නිලධාරීන් බඳවා ගත්තා. ඒ මඟින් රාජ්‍ය සේවය කාර්යක්ෂමව පවත්වා ගෙන යන්න පුළුවන් වුණා. මගේ රාජ්‍ය අමාත්‍යාංශයේ ඇමැති රෝෂාන් රණසිංහ මහතා සුවිශේෂි වැඩ කොටසක් කරමින් ඉන්නවා. එයද මම මෙහිදී අගය කළ යුතුයි. උපාධිධාරීන් 53,000ක් රාජ්‍ය සේවයට බඳවා ගෙන පුහුණු කිරීම් කරමින් ඉන්නවා. ඔවුන් සියලුදෙනා 2022 ජනවාරී 01 වැනිදා ස්ථීර සේවයට එක්කරගන්න සියලුදේ කර අවසන්. දැනට කාලයක් තිස්සේ පවතින වැටුප් විසමතාව ඉවත් කර එය ක්‍රමානුකූලව පවත්වා ගෙන යන්න අප සමත්ව සිටිනවා. රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65ක් වුවද ඔවුන් 55 සිට විශ්‍රාම යෑමට අයිතිය තිබෙනවා. එසේ නොමැතිව එය අනිවාර්ය කිරීමක් කර නැහැ. ඒ වගේම විශ්‍රාම වැටුප් හිමියන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න අප කටයුතු කරද්දි ඇතැම් කඩාකප්පල්කාරී පිරිසක් ඇති කළ කලබලය නිසා එය අප තාවකාලිකව නතර කර තිබෙනවා.

පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා (ස.ජ.බ.) - පරිපාලන සේවයත්, රාජ්‍ය සේවයත් තුළ අද ගරුත්වය නැති වෙලා. යහපාලන ආණ්ඩුවෙන් තමයි රාජ්‍ය සේවාවට ගරුත්වයක් දුන්නේ. මේ ඉතිහාසය පුරා රාජ්‍ය සේවාව වෙනුවෙන් දුන් පොරොන්දුව ඉටු කළේ යහපාලනයෙන්. රාජ්‍ය සේවාවේ වැටුප රුපියල් 10000 කින් වැඩි කළා. රාජ්‍ය සේවකයාට මේ වැටුප වැඩි කළේ නැත්නම් අද තිබෙන බඩු මිලත් එක්ක රජයේ සේවකයාට හිඟා කන්න තමයි වෙන්නේ. රාජ්‍ය සේවකයාගේ මාසය ගැට ගහ ගන්නේ කෙසේද කියලා ඔවුන් සිතනවා. රජයේ සේවය අවතක්සේරුවට ලක් කිරීමට මේ රජය කටයුතු කරනවා. රාජ්‍ය සේවාව කප්පාදු කරන්නට මේ රජය උත්සාහ කරනවා. පළාත් සභා මැතිවරණය තියන්න බැරිව ආණ්ඩුව කටයුතු කරනවා.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා-

අපි එකඟ වුණා මැතිවරණය පවත්වන්න.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා - අපි ලෑස්තියි මැතිවරණයකට යන්න. අපට ආරංචියි පළාත් පාලන මැතිවරණයත් තව අවුරුද්දකින් කල් දමන්න රජය සූදානම් කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා (දෙ.ජා.ස.)- කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඩිපෝ හන්දියේ පාසල් දරුවන් වරින් වර ජීවිතක්ෂයට පත්වීම පිළිගත නොහැකි තත්ත්වයක්. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඩිපෝ හන්දියේ වට රවුමක් හදන්න ඕන.

මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - එතුමාගේ ආණ්ඩු තිබූ කාලයේදීවත් එතුමාට ඒක හදන්න බැරි වෙලා තිබෙනවා. අපි මේ ගැන හොයලා බලා හදලා දෙන්නම් අපේ ආණ්ඩුවෙන්. ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ උපදෙස් පරිදි අනතුරු අවම කර ගැනීමට ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් හදනවා.

ශ්‍රීධරන් මහතා- ඒ නයින් මාර්ගයේ අනතුරු බහුලව සිදු වෙනවා. මම කාටවත් දොස් කියන්නේ නැහැ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - මේ දැන්මම ඒ වටරවුම හදා දෙන්න කියලා අගමැතිවරයා නියෝග කළා. ඒ ගැන අපිව දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි. ගිය ආණ්ඩුවත් එක්ක ඉඳලා කර ගන්න බැරි වූ දේ අපේ ආණ්ඩුවෙන් හදා දෙනවා.

ශ්‍රීධරන් මහතා - මේ තීරණයට ඔබතුමාට බොහෝම ස්තුතියි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (ස.ජ.බ.) - තරුණ මහත්මයෙක් එස්එම්එස් එකක් එවලා තිබෙනවා. ඒ මහතා උපාධිධාරියෙක්. එහෙත් කම්කරු රැකියාවක් කරන්නේ. එවැනි 600 ක් පමණ ඉන්නවා.

ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා - මොන කාලයේද කම්කරු රස්සාවට ගත්තේ

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - කාලය නෙවෙයි අවශ්‍ය. ප්‍රතිපත්තියයි අවශ්‍ය

ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා

මට ලිඛිතව දෙන්න

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ.) - විශ්‍රාම ගැන්වීම වයස අවුරුදු 65 කිරීම ගැන මහත්ආන්දෝලනයක් වෙලා තිබෙනවා. මෙය කවදා සිට ද ක්‍රියාත්මක වෙන්නේ. ඒ චක්‍රලේඛනය කවදාද නිකුත් වෙන්නේ.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා -

ජනවාරි පළවැනිදායින් පස්සේ 55 න් විශ්‍රාම යන අයට යන්න පුළුවන්.

විජිත හේරත් මහතා - රාජ්‍ය සේවයේ දීර්ඝ කාලයක් තිස්සේ ගැටලු මතුවෙමින් තිබෙනවා. උසස් වීම්, වැටුප් විෂමතා, පත්වීම් දීම සම්බන්ධව ප්‍රශ්න තිබෙනවා. කිසිම රජයක් ඒ සඳහා ස්ථිර විසඳුම් ලබාදුන්නේ නැහැ. 2004 අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවෙද්දී අපේ කොන්දෙසිය වුණේ උපාධිධාරීන් සියල්ලට රැකියා ලබාදිය යුතුයි කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ (පො.ජ.පෙ.) - විජිත හේරත් මහත්මයා වක්‍රකාරව උදව් කළ යහපාලන ආණ්ඩුව බඳවා නොගත් උපධිධාරීන් තමයි අපි බඳවා ගත්තේ.

ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා - බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට තිබෙන සිංහල සමාජ කෙන්ද්‍රය පිහිටි ඉඩම ගිලගන්න උත්සහ කරනවා. ඒ පිළිබඳව විෂයභාර ඇමැතිවරයා අවධාණය යොමුකර හැමෝමට භාවිත කරන්න විදියට සකස් කරන්න කියලා ඉල්ලා සිටිනවා. විජිත හේරත් මහත්මයා කියනවා රාජ්‍ය සේවය බරක් කියලා කිව්ව කියලා. අම්මට දරුව ඇකයට බරක්. ඒත් දරුවා විසි කරන්නේ නැහැ.

පත්කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා.(සජබ) - බැසිල් රාජපක්ෂ මහත්මයට අනුව රාජ්‍ය සේවය බරක්. අනිත් අය එය නිවැරැදි කරන්න උත්සහ කරනවා. අය වැයක් හදද්දි ද රාජ්‍ය සේවය බරක් වෙන්නේ. එහෙම නැත්නම් රාජ්‍ය සේවය තරම් දෙයක් නැහැ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී කපිල අතුකෝරළ මහතා (පොජපෙ) - කින්යා ප්‍රදේශයේ සිදුවුයේ ඛේදජනක සිදුවීමෙන් හය දෙනෙක්ගේ ජීවිත අහිමි වෙනවා.ඒ සියලු දෙනාට රජය වෙනුවෙන් සංවේගය පළ කරනවා. මේ පිළිබඳව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කතා කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (ස.ජ.බ.) - ඉම්රාන් මහරුප් මහතාට ඇඟිල්ල දික්කරනවා. එතුමා තමයි මෙතෙනට පාලමක් දාල දෙන්න කියලා ඉල්ලා සිටියා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා. (සජබ) - බුද්ධ සාසනයට මෙවර අය වැයෙන් වෙන් කරලා තිබෙන මුදල් ප්‍රමාණය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. අපි ගම්පෙරළිය වැඩසටහන යටතේ ආගමික ස්ථාන විශාල ලෙස සංවර්ධනය කරන්න කටයුතු කළා. මුදල් ඇමැතිවරයා කියනවා රාජ්‍ය සේවකයා රටට බරක් කියලා. එය අපි හෙළා දකිනවා.

(දිවා ආහාරයෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.)

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා (පො.ජ.පෙ.) - ඕනෑම සංස්කෘතියක් විග්‍රහ කරන විට සලකා බැලිය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. රටේ ආර්ථික අර්බුදය ගැන ජනතාවට විපක්ෂය කියා පෑමට සූදානම් වන්නේ වර්තමාන ආණ්ඩුව නිසා ඇති වූ එකක් බවටයි. මේ අය වැය විශිෂ්ට අය වැයක්.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (ස.ජ.බ.) - රැකියා ලක්ෂයක් බිහි කරනවා කී ආණ්ඩුව රැකියා 40000 යි දී තිබෙන්නේ. නිවාස අධිකාරිය ඇතුළු තවත් ආයතන කිහිපයක සේවකයන් ඉවතට දමා තමයි මේ රැකියා 40000 දීලා තිබෙන්නේ.

පත් කළ මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා (පො.ජ.පෙ.) - පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අපහසු වුණා. නමුත් අගමැතිවරයා මැදිහත්ව එය ඉටු කර දුන්නා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා (පො.ජ.පෙ.) - ග්‍රාමීය කර්මාන්තකරුවා ආරක්ෂා කරන ආකාරයේ වැඩපිළිවෙළක් මෙවර අය වැයෙන් ඉදිරිපත් කර තිබෙනව. යූ.එන්.පී. සහ ජවිපෙ එදා මිනිස් ඝානත කළ ආකාරය අපිට මතකයි.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ (පො.ජ.පෙ.) - වසර දහස් ගණනක උරුමයන් තිබෙන රටක් අපට තිබෙනවා. ජනවහර, සම්ප්‍රදාය යනාදිය සමාලෝචනය කර සංරක්ෂණය කරන්න පියවර ගෙන තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කය තුළ තිබෙන සුවිශේෂ ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමට අපි පියවර ගන්නවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා (ස.ජ.බ.) - තරුණ තරුණියෝ අපේක්ෂා ඇතිව තමයි මේ ආණ්ඩුව බලයට පත් කළේ. මේ ආණ්ඩුව සුද්ධ කරන්න සුදේව මහත්මයා සහ කිංස්ලි මහත්මයා පුදුම උත්සාහයක් දරනවා.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (පො.ජ.පෙ.) - ජනක බණ්ඩාර මහතාගේ වැය ශීර්ෂය බැලීමට මම මට මතක ඇති කාලයක සිට පාර්ලිමේන්තුවට පැමිණියා. මේ විවාදය පුරාවට නොයෙකුත් කතා අහන්න ලැබුණා. ගම කේන්ද්‍රීය අය වැයක් බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබෙනවා. ග්‍රාමසේවා වසම් සියල්ල සංවර්ධනය සඳහා රුපියල් මිලියන 42063 ක් අය වැයෙන් වෙන් කර තිබෙනවා.

(මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලුකුමාර් මහතා මුලසුනට පැමිණියේය.)

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා (ජා.කො.) - පළාත් සභා ක්‍රමය රටට අවශ්‍ය නැහැ. එයට වියදම් කරන මුදල් නාස්තියක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා (දෙ.ජා.ස.) - ලබන 27 වැනිදා දෙමළ ප්‍රදේශවල මහවිරුවන් සිහි කරන්නට අපේක්ෂාවෙන් සිටිනවා.

රාජ්‍ය ඇමැතිනී සීතා අරඹේපොල මහත්මිය -

ජාතික නායකයෙක්ගේ නම ත්‍රස්තවාදී නායකයෙක්ගේ නමක් විදියට ඔහු ප්‍රකාශ කළා. කරුණාකරලා එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න.

මුලසුන වේලු කුමාර් මහතා - රාජ්‍ය ඇමැතිතුමියනි එය එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඒකට මට බාධා කරන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා (පො.ජ.පෙ.) - එල්.ටී.ටී.ඊ. සංවිධානය ලංකාවේ තහනම් සංවිධානයක්. ඒ වගේම මෙරට ලක්ෂ ගණනක් මිනිසුන් මරපු කෙනෙක්ව වීරයෙක් කරලා මේ සභාවේ කතා කරන්න බැහැ.

මුලසුන

මට හැකි වන්නේ කථානායකතුමාට ඉදිරිපත් කිරීමට පමණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (පො.ජ.පෙ.) - වරප්‍රසාද අපට අවභාවිතා කරන්න බැහැ. ත්‍රස්තවාදී නායකයෙක් මේ දේශයේ නායකයා කියලා කියන්නේ කොහොමද. එවැනි දේට මූලාසනයෙන් අවසර දෙන්න එපා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා (පො.ජ.පෙ.) - 1903 වසරේදී තමයි අපේ රටේ ජනතාව ප්‍රථමවතාවට චිත්‍රපටියක් දකින්නේ. 1960 වන විට මෙරට චිත්‍රපට තිරගත වීම 165ක් දක්වා වර්ධනය වුණා. සිනමා කර්මාන්තය වෙනුවෙන් පුවත්පත් ඇතුළු තව තවත් මාධ්‍ය බිහි වුණා.

පත් කළ මන්ත්‍රිනී මංජුලා දිසානායක මහත්මිය (පො.ජ.පෙ.) - ත්‍රස්තවාදය මතුවෙලා මේ රට නැවත ලේ විලක් බවට පත්වන තැනට ගෙනියන්න අපි ඉඩ තබන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සඳහිරු සෑය සාදා ශාසනයට පූජා කළා. එවැනි දේ සිදු කරනුයේ ඉදිරියේදී කිසිදු විදියකට රට තුළ ලේ වැගිරීමක් නොවීමටයි.

රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා - මීට පෙර කතා කළ දෙජාස මන්ත්‍රීවරයා සභාව නොමඟ යැව්වා. එය නිවැරදි කරනවා. උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ කුරුදු විහාරය, සපුමල්කඩ විහාරය සහ වඩුන්නාගල විහාරය කියන විහාරවල මේ වන විට කැණීම් කටයුතු කරනවා. වඩුන්නාගල විහාරයේ දායක සභාවේ සභාපතිවරයා මම. ඒක නිසා එතුමා විසින් කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයයි.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහතා (ස.ජ.බ.) - මේ රජය බලයට ගෙන ඒමට ස්වාමීන් වහන්සේලා දැඩි කැපවීමක් කළා. කොවිඩ් කාලය තුළ ආගමික පරිසරයට සිදු වූ හානිය කතා කළ යුතුයි. කොවිඩ් නිසා කොපමණ ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාවක් අපවත් වුණාද. බුදුපුත් සුරක්ෂා යටතේ කොපමණ ප්‍රතිලාභයක් උන්වහන්සේලාට ලබාදුන්නාද කියලා මම අහන්න කැමතියි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා (දෙ.ජා.ස.) - ඌව පළාතේ සුළු ජාතික ජනතාවට උදව් උපකාර කිරීමට කැමැති බව බැසිල් රාජපක්ෂ මහතා මා සමඟ පෞද්ගලිකව කියා තිබෙනවා. මේ දක්වා අඩපණ වූ සංවර්ධනය ක්‍රියාත්මක කිරීමට අපි උත්සාහ කරනවා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී විනෝත් රාගලිංගම් මහතා (දෙ.ජා.ස.)

සිංහල ඇතුළු සියලු ජනතාව සමඟ එක්සත්ව එක්සිත්ව වාසය කිරීමට අපි කැමතියි. එක ජාතියකට පමණක් අයිති රටක් නොවේ මේක. අපි හැමෝටම මේ රට අයිතියි.

(කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මුලසුනට පැමිණියේය.)

මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා (පොජපෙ) - පළාත් පාලන ආයතන වෙනුවෙන්, සභික මන්ත්‍රිවරුන් වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනුවෙන්ද හඩක් නැගිය යුතයි.

බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමෙින්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (සජබ) - අපි දැක්කා ජාතිවාදි දේශපාලන වැඩපිළිවෙලේ යම් උත්සාහයක් දැරීමට දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු දරන ලද උත්සාහය. රට රකින්නේ කව්ද කියලා අපි දන්නවා.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා - මීට පෙර කතා කළ මන්ත්‍රීවරයා අපෙන් අවසරයක් ඉල්ලුවා, චිත්‍රපටයක් නිර්මාණය කරන්කට කියා. මගේ නමත් සදහන් කළා. හැබැයි මම සඳහන් කළ යුතුයි, 2015 සිට බුද්ධි අංශ විසින් වාර්තා කරලා, ආරක්ෂක කවුන්සිලය වෙත දැනුම් දීලා, ඒ වගේම හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රන්ජිත් මද්දුම බණඩාර මහතාව දැනුවත් කරලා තිබියදී, නිද්‍රාශීලි පිළිවෙතක් අනුගමණය කළ කණ්ඩායමට සිදු වෙනවා, අතීතාවර්ජනයක් සිදුකිරීමට.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා (පොජපෙ) - කොවිඩ් වසංගත තත්ත්වය සියලුු දෙනාටම එක සේ බලපෑවා. ඒ වගේ වාතාවරණයක් යටතේ වුණත් මෙවර අයවැයෙන් සියලු අංශ කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. යහපාලන ආණ්ඩුව කාලෙදී මොනවද කළේ.

රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා (සජබ) - කථානායකවරයා නොමැති අවස්ථාවෙිදි සභාපති මණ්ඩලයෙ කටයුතු කිරීම වෙනුවෙන් අපි කිහිප දෙනෙක් ඉන්නවා.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා - මෙම අමාත්‍යාංශය මා වෙත පැවරී කෙටි කාලයක් තුළ පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදිමට හැකි වුනේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ලේකම්වරයා ඇතුළු පිරිස නිසා. රාජ්‍ය සේවකයින්ට වැඩිම පීඩනයක් එල්ල වුණේ පසුගිය යහපාලන සමයේදි.

අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා (සජබ) - උපාධිධාරීන් විශාල පිරිසක් රාජ්‍ය සේවයේ කම්කරු රැකියාවල නිරත වෙනවා.මෙ අය පිළිබඳව මානූෂීයව සිතා බලලා සුදුසු තැනක ස්ථානගත කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා - අටමස්ථානය නවමස්ථානයක් බවට පත් වූ බවට මතයක් සභාව තුළ පළ වුණා. සඳහිරු සෑය පිළිබඳ මේ වන විට යූටියුබ් එකේ පුරාවිද්‍යා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කරන ප්‍රකාශයන් ගැනත් යම් යම් සැකයන්ට තුඩු දී තිබෙනවා.

(කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය.)

විදුර වික්‍රමනායක මහතා - බුදුපුත් සුරක්ෂා ක්‍රමය ගැන මෙතැන කතා කළා. එය අපි විනාශ කළ බවට ඇතැමුන් චෝදනා කළා. 2019 ඔක්තෝබර් මස මේ ක්‍රමය ක්‍රියාවට නැංවූවා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 50කුත් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් මිලියන 40කුත් යොදා මිලියන 90ක අරමුදලකින් ක්‍රියාවට නැංවෙනවා. 2019 ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් කිසිදු ස්වාමීන් වහන්සේ නමකට මුදල් දුන්නේ නැහැ.

 

වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (25) උදෑසන 9.30ට

නැවත රැස් වේ.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න