යහපාලන සමයේ තෙවැනි බැඳුම්කර වෙන්දේසිය - හිටපු මහ බැංකු අධිපතිගේ සාක්ෂිය වීඩියෝ තාක්ෂණයෙන් ගත නොහැකියි | දිනමිණ

යහපාලන සමයේ තෙවැනි බැඳුම්කර වෙන්දේසිය - හිටපු මහ බැංකු අධිපතිගේ සාක්ෂිය වීඩියෝ තාක්ෂණයෙන් ගත නොහැකියි

රෝෂන් තුෂාර

යහපාලන සමයේ කළ තෙවැනි බැඳුම්කර වෙන්දේසියෙන් රජයට රුපියල් බිලියන පහළොවක පාඩුවක් කළේයැයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවේ පළමු සාක්ෂිකාර හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් ක්‍රමාරස්වාමි මහතාගේ සාක්ෂිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ කැඳවිය නොහැකි බවට නියෝග කරමින් කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණය බෙදුණු තීන්දුවක් ඊයේ (23) ඉදිරිපත් කළේය.

ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති මහාධිකරණ විනිසුරු අමල් රණරාජා, මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහත්වරුන් එක්සත් රාජධානියේ වාසය කරන කුමාරස්වාමි මහතාගේ සාක්ෂිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ කැඳවීමට නොහැකි බවට නියෝග කළ අතර මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අදාළ සාක්ෂිය කැඳවිය හැකි බවට සඳහන්කරමින් සිය නියෝගය ප්‍රකාශ කළේය.

පැමිණිලිකාර නීතිපතිවරයා අවසර ඉල්ලා සිටින අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හා කොවිඩ් විධි විධාන පනත ප්‍රකාරව එම අවසරය දිය නොහැකි වූවත් අධිකරණයේ අභිමතය පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව එම සාක්ෂිය කැඳවිය හැකි බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය. ආදිත්‍ය පටබැදිගේ මහතා සිය නියෝගය ඉදිරිපත් කරමින් තවදුරටත් සඳහන් කළේ අදාළ නොවන පනත් දෙකක් මගින් ඉල්ලීම කර ඇති බවය.

සභාපති විනිසුරු අමල් රණරාජා මහතාගේ බහුතර නියෝගය මගින් සඳහන් කර සිටියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි කැඳවීමට කරනු ලබන ඉල්ලීමට නීතිමය පදනමක් නොමැති බවය. සාක්ෂිකරුට මෙරටට පැමිණීමට නොහැකි අපහසුතාව හෝ බාධාව ඉදිරිපත් කර නොමැති බවත්, වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධි විධාන සම්පුර්ණකරමින් ඉල්ලීම කර නොමැති බවත්ය.කොවිඩ් නීති රෙගුලාසි අනුව නඩුව විභාග කරන බවත් පෙන්වා දෙන විනිසුරුවන් දෙපළ අදාළ විත්තියේ හරස් ප්‍රශ්නවලට සාධාරණය ඉටුවන ආකාරය අධිකරණයට පැමිණිල්ල මගින් දන්වා නොමැති බවත්ය. හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතාගේ සාක්ෂිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ කැඳවීමට අවසර දෙන්නැයි නීතිපතිවරයා පසුගිය(17)දින කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප කෙරිණි. නඩුව දෙසැම්බර් 06 දින සිට දිනපතා විභාග කිරීමට නියමිත අතර අදාළ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරමින් නඩුව යලි දෙසැම්බර් 01 දින කැඳවන ලෙසට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

නව අදහස දක්වන්න