කොවිඩ් සහන ණය දෙන්න කෝටි 410,000ක් යොදවලා | දිනමිණ

කොවිඩ් සහන ණය දෙන්න කෝටි 410,000ක් යොදවලා

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ රුපියල් කෝටි 410,000ක ණය සහන ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව රුපියල් කෝටි 33,000ක ණය පොළී අඩුකර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වනවිට පහව යනු ඇතැයි විශ්වාසය පළ කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයත් සමඟ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වනවිට රටේ සියලුම ක්ෂේත්‍ර පීඩනයකට ලක්ව සිටින බවයි. එම පීඩනය ලබන ජනවාරි වනතුරු උපරිමයෙන් පවතින බවත් ඉන් අනතුරුව එය ක්‍රමයෙන් පහව යනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි. සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවූවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ඊයේ (24) මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම සාකච්ඡාව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි පැවැත්විණි. සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංචාරක, සිවිල් ගුවන් සේවා, ගුවන් තොටුපළ හා ගුවන් සේවා, ශ්‍රී ලංකන් යන ආයතන මේ වනවිට මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි. සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වන තුරු එම ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට ලබා දී ඇති සහන දීර්ඝ කරන ලෙසයි. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි ද ඇමැතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දැක් වූ මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු ව ඇති බවයි. අදාළ ණය හිමියන්ගේ ඉල්ලීමක් සහිත යෝජනාවලියක් අදාළ බැංකු වෙත ඉදිරිපත්කොට එය ලබා ගැනීමටත් එවැනි ණයහිමියන්ට අවශ්‍ය වුවහොත් මහ බැංකුව මගින් නිර්දේශයක් ලබාදීමටත් හැකියාව ඇතැයි ඔහු සඳහන් කළේය.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න