වයිරසයට එරෙහිව කොවැක්සින් පෙරට | දිනමිණ

වයිරසයට එරෙහිව කොවැක්සින් පෙරට

නවතම වාර්තාවක් පෙන්වා දෙයි

කොවිඩ් වසංගතයේ නව රැල්ලක් යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ලොව පුරා රටවල් රැසක වරින් වර ඉහළ පහළ යන කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රතිශතය එළැඹෙන සීත සෘතුවේදී නැවත වතාවක් බරපතළ ලෙස හිස ඔසවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් අනතුරු අඟවා තිබේ.

ඊයේ වනවිට නිකුත් වූ අන්තර්ජාතික කොවිඩ් වාර්තාවට අනුව ලොව පුරා වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි විසිහයකට ආසන්නය. මරණ සංඛ්‍යාව පනස් එක්ලක්ෂය ඉක්මවා තිබේ. සුවපත් වූ සංඛ්‍යාව කෝටි විසිතුනකට අධික වූවත් මේ වනවිටත් ලොව පුරා විවිධ රටවල රෝහල්ගතව ජීවිතයත්, මරණයත් අතර දෝලනය වන ජීවිත සංඛ්‍යාව කෝටි දෙකහමාරකටත් වැඩිය.

හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් මර්දන එන්නත් වර්ග ගණනාවක් නිර්දේශ කර ඇත. ඒවා හදිසි භාවිතය සඳහා නිර්දේශ කර ඇත්තේ පූර්ණ වශයෙන් පරීක්ෂණ කිරීමට වසර දෙක තුනක කාලයක් ගත වන බැවිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට එන්තත් අනුමත කිරීමට පියවර ගෙන ඇත්තේ ලෝක වාසී ජනතාවගේ ජීවිත ආරක්ෂාව සැලකිල්ලට ගනිමිනි.

කොවිඩ් මර්දන එන්නත් වර්ගවල ද අඩුපාඩු නැතුවා නොවේ. එවැනි පසුබිමක් තුළ අඩු වැඩි වශයෙන් ප්‍රතිශක්තිකරණයට බලපාන කොවිඩ් මර්දන එන්නත් වර්ග අතරින් මීට පෙර වැඩිම ජනප්‍රියත්වයට පත්ව තිබූ අමෙරිකාවේ නිපදවනු ලබන ෆයිසර් එන්නතෙහි ක්‍රියාකාරීත්වය මේ වනවිට පහත වැටෙමින් තිබෙන බවත්, ඊට සාපේක්ෂව සෙසු එන්නත්වර්ගවල ක්‍රියාකාරීත්වය ඉහළ යමින් පවතින බවත් අන්තර්ජාතික වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

ඒ අතරින් ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සින් එන්නත කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරන බව ඊයේ පෙරේදා ‘දි ලැන්සෙට්‘ වෛද්‍ය සඟරාව විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් හෙළිදරව් වී තිබේ. ආසාදිත රෝග සම්බන්ධව පළවන ලොව පැරැණිතම සතිපතා වෛද්‍ය සඟරාව වන බ්‍රිතාන්‍යයේ ප්‍රකාශනයට පත් කෙරෙන ‘දි ලැන්සෙට්‘ ලොව කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලිපි ඇතුළත් සඟරාවකි. බ්‍රිතාන්‍යයේ දුම්වැටි භාවිතයෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳ එම සඟරාව මගින් මීට පෙර සිදු කළ පර්යේෂණයක් මගින් දුම්වැටි සඳහා නව නීති සකස් කිරීමට පවා බ්‍රිතාන්‍ය රජයට බලපෑමක් එල්ල වී තිබිණි.

කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිටම ඒ ආශ්‍රිතව විවිධ පර්යේෂණ සිදු කළ මේ කීර්තිමත් සඟරාව කොවැන්සින් කොවිඩ් මර්දන එන්නත පිළිබඳ මාස ගණනාවක් පුරා සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් කරනු ලැබූ අතර, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානයට ලක් වී තිබේ.

මේ පර්යේෂණයට අනුව ඉන්දියාවේ පූනේ හි වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ ජාතික වයිරස් රෝග අධ්‍යයන ආයතනය (NIV-ICMR) භාරත් බයෝටෙක් සමාගම නිපදවනු ලබන BBV152 නමින් හඳුන්වනු ලබන කොවැක්සින් කොවිඩ් මර්දන එන්නතෙහි මාත්‍රා දෙකම ගත් පුද්ගලයන්ට කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට ඇති ඉඩකඩ 50% ඉක්මවයි. එය ක්‍රියාකාරීත්වයෙන් 77.8ක අගයක් ගන්නා බවත් එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ. ඒ අනුව කොවැන්සින් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වූ අවස්ථාවක බරපතළ තත්ත්වයක් මතු වන්නේ නැත.

පසුගිය අප්‍රේල් මස 15 වැනිදා සිට මැයි මස 15 අතර කාලසීමාව තුළ ඉන්දියාවේ රෝහල් සේවකයන් 2,714 දෙනකු යොදා ගනිමින් නවදිල්ලි නුවර ස්ථාපිත සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය (AIIMS) හා එක්ව මේ පර්යේෂණය සිදු කර තිබිණි. මේ පර්යේෂණය සඳහා යොදාගත් 2,714 දෙනා අතරින් පුද්ගලයන් 1,617 දෙනකු කොවිඩ් පොසිටිව් වී තිබූ අතර, තවත් 1,097 දෙනකුගේ පීසීආර් වාර්තා නෙගටිව් තත්ත්වයේ තිබිණි. එම කාලසීමාව කොවිඩ් වයිරසයේ දරුණුතම ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව තුළ හිස ඔසවමින් තිබූ කාලසීමාව විය. එමෙන්ම මේ පර්යේෂණය සිදුවෙද්දී ඉන්දියාවේ කොවිඩ් වසංගතයේ නව රැල්ලක් ද හටගෙන තිබිණි.

කොවැන්සින් කොවිඩ් මර්දන එන්නත ඉන්දියාව තුළ අවුරුදු 18න් ඉහළ පුද්ගලයන්ට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමි වූයේ පසුගිය ජනවාරියේ සිටය. මේ මස මුල් භාගයේදී එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් මර්දන එන්නත් ලැයිස්තුවට ඇතුළත් විය.

කොවැක්සින් දෙවැනි එන්නත් මාත්‍රාව ගත් පුද්ගලයන්ට දින 14කට පසු සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණ අනුව එම එන්නතෙහි පළමු අදියරේ ක්‍රියාකාරීත්වය 50%ක අගයක් ගත් බව පර්යේෂණයෙන් අනාවරණය විය. එමෙන්ම එහි ක්‍රියාකාරීත්වය සති 7කට පසුව ද එම තත්ත්වයෙන්ම පවතින බව වැඩිදුරටත් පර්යේෂණය මගින් තහවුරු වී ඇත. විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එහි ක්‍රියාකාරීත්වයේ කිසිදු පහළ වැටීමක් සිදු නොවූ බවත් මෙමගින් අනාවරණය වී තිබේ.එහි තුන්වැනි අදියරේ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ ඒ අනුවය. අවුරුදු 18න් ඉහළ අහඹු ලෙස තෝරාගත් කොවැක්සින් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 8,471 දෙනකු මේ සඳහා යොදා ගත් අතර, ඉන්දියාව පුරා රෝහල් 25කදී පර්යේෂණ කටයුතු සිදු කෙරිණි.

පසුගියදා එම පර්යේෂණ ප්‍රතිඵල නිකුත් කරමින් ‘දි ලැන්සෙට්‘ පර්යේෂණ වාර්තාව පෙන්වා දෙනු ලැබුවේ තුන්වැනි අදියරේ අත්හදා බැලීමේ අතුරු විශ්ලේෂණයට අනුව කොවැක්සින් එන්නත් මාත්‍ර දෙකම ගැනීමේදී එහි ක්‍රියාකාරීත්වය රෝග ලක්ෂණවලට එරෙහිව 77.8% ක ආරක්ෂාවක් සපයන බවය. මරණීය අවදානමකින් තොරව සුවපත් වීමට කොවැක්සින් එන්නත මගින් ඇති හැකියාව එම වෛද්‍ය පර්යේෂණයෙන් තහවුරු වී ඇතැයි ලැන්සෙට් නිල වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. කොවිඩ් ආසාදනය වීමෙන් මතු වන හිසරදය, තෙහෙට්ටුව, උණ වැනි රෝග ලක්ෂණ එන්නත් කිරීමෙන් දින 7ක් ඇතුළත සමනය වන බව ද පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

කොවැක්සින් එන්නතෙහි අධ්‍යයනය ඉන් නිමාවට පත් නොවන බවත්, එහි මීළඟ පියවර වන්නේ කොවිඩ් වයිරසයට එරෙහිව කොවැක්සින් එන්නතෙහි දිගු කාලීන කාර්යක්ෂමතාව නිරීක්ෂණය කිරීම බවත් පර්යේෂකයෝ පවසති.

 

ෆවුස් මොහොමඩ්

 

නව අදහස දක්වන්න