කලපු දිය බිලි ගත් කිරි සිහින | දිනමිණ

කලපු දිය බිලි ගත් කිරි සිහින

විය යුතු සියලු කරදර විපත් සිදු වූවාට පසුව පශ්චාත් පරීක්ෂණ පසු විපරම් කුමටදැයි ඔබට සිතෙන්න පුළුවන්ය. නැත. එම පරීක්ෂණ පසු විපරම් මඟින් ඉදිරියේදී නැවත එවැනි විපත් කරදර නොවීමට වග බලා ගත හැකිය. අපේ රටේ ඉතිහාසයේ සිට ඕනෑවටත් වඩා ජීවිත නිරපරාදේ රටට අහිමි වූයේය. ඒ ස්වභාවික විපත් සහ මිනිස් ක්‍රියාකාරකම්වලින්ය. මෙවන් විපත් අදටත් අඩුවක් නොමැතිව සිදුවන්නේ අපේ රටේ අවාසනාවකට විය හැකිය. පසුගිය අඟහරුවාදා (23) උදේ කින්නියා ප්‍රදේශයේදී ද සිදු වූයේ මෙවන් විපතකි. ඒ පුංචි දරුවන් ඇතුළු 30ක් ගිය පාලම් පාරුව පෙරළිණි. එහිදී කුඩා දරුවන් සිව් දෙනකු සහ වැඩිහිටියන් දෙදෙ⁣නෙක්ට ජීවිත අහිමි විය. තවත් විසි දෙනෙක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. මෙවන් විපත් තුන්වන ලෝකයේ අප වැනි රටවල සුලබ සිද්ධි ලෙස අර්ථ ගන්වා නිහඩව සිටිය නොහැකිය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශය ආශ්‍රිත කුරිඤ්ඤන්කර්නි කලපුව හරහා පිහිටා තිබූ පාලම ඉදි කර ඇත්තේ 1977 වර්ෂයේය. නමුත් 2015 වර්ෂයේ මෙම පාලම අබලන් වී ඇත. ඒ අවුරුදු 38කට පසුවය. එහීදී මෙම පාලම හරහා ගමන් කළ ජනතාවට කිලෝමීටර් හතරකට ආසන්න දුර ප්‍රමාණයක් ගෙවා කින්නියා නගරයට පැමිණ තිබේ. නමුත් පාලම හරහා ගමන් කරන විට මිටර් 200කට ආසන්න දුර ප්‍රමාණයක් ගෙවා ජනතාව කින්නියා නගරයට පැමිණ ඇත. එසේ අඩු දුරක් ගෙවා පයින් කින්නියා නගරයට පැමිණි ජනතාව 2015 සිට වගකිව යුතු සියලු නිලධාරින්ට එම පාලම සකස් කර දෙන ලෙස ඉල්ලා තිබේ. නමුත් එවකට පැවති යහපාලන ආණ්ඩුව ඊට පියවරක් ගෙන නොමැත. ජනතාව කින්නියා නගරය පේන මානයේ සිට විශාල දුරක් ගෙවා කින්නියා නගරයට අවුරුදු හයක් තිස්සේ පැමිණියේ මේ සම්බන්ධව කිසිදු වගකිවයුතු නිලධාරියකු හෝ යම් ආයතනයක් මැදිහත් නොවීම නිසාය. කෙසේ හෝ කින්නියා ජනතාව තම ප්‍රදේශය පාලනය කරන ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාට සහ නගරාධිපතිවරයාට මේ බව දන්නවා තිබුණද පාලම ඉදි කිරීමට පියවරක් ගෙන නැත. නමුත් ඊට විකල්පයක් ලෙස පාලම් පාරුවක් ඉදිකිරීමට කීප වතාවක් ප්‍රදේශීය සභාව මඟින් සහ නගර සභාව මඟින් මහාමාර්ග සංවර්ධන අධිකාරි­‍ෙයන් ඉල්ලා තිබුණ ද එය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ එම පාලම් පාරු නිසි ප්‍රමිතියකින් තොර නිසාය. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය යෝජනා කර ඇත්තේ පාලම සකස් කරන තෙක් කිලෝමීටර් හතරකට ආසන්නව පවතින දුර මාර්ගය භාවිතා කරන ලෙසය. වත්මන් ආණ්ඩුව පත්ව මෙම පාලම ඉදිකිරීමට මුල් ගල් තබන තෙක් කිසිදු රාජ්‍ය ආයතනයක් මේ පිළිබඳව අවධානය යොමු කොට නොමැත. ඒ අනුව 2021 අප්‍රේල් 11 දින මෙම මුල් ගල් තැබීම සිදුව තිබේ. ඒ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් මහතාගේ ඉල්ලීම පරිදි මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාගේ මූලිකත්වයෙන්ය. කෙසේ හෝ එම පාලම ඉදි කිරීමට ආරම්භ වුව ද නැවත කින්නියා ප්‍රදේශයේ පළාත් පාලන අායතන මඟින් දිගින් දිගටම පාලම් පාරුවක් තාවකාලිකව යෙදීමට මහාමාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ. නමුත් ඊට අනුමැතිය ලැබී නොමැත. එවන් වටපිටාවකදී සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහාය දක්වමින් පාලනය වන කින්නියා නගර සභාවේ සභාපති S.H.M නලීම් මහතා තම හිතවතෙකුට පාලම් පාරුවක් පවත්වා ගෙන යෑමට අවසර දී තිබේ. ඒ අනුව කිසිදු ආරක්ෂණ ක්‍රමවේදයක් නොමැතිව එම පාරු සේවය පවත්වා ගෙන ගොස් ඇත්තේ M.A.M රියාස් නැමැති පුද්ගලයකු විසින්ය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර්‍රසයේ පාලනය යටතේ පවතින කින්නියා නගර සභාවේ සභාපති S.H.M.නලීම් මහතා විසින් එහීදී තම හිතවතා වෙත යම් කොන්දේසි අයත් බලපත්‍රයක් නිකුත් කර ඇත. එම කොන්දේසි වන්නේ ආරක්ෂිතව මඟීන් ප්‍රවාහනය කිරීම, පාසල් දරුවන් නොමිලයේ ප්‍රවාහනය කිරීම සහ විටින් විට පාරුවේ තත්ත්වය පරීක්ෂා කිරීම යන්නය. එසේම එම නගරාධිපතිවරයා බලපත්‍රය දීමේදී කිසිදු නිත්‍යනුකූල පියවරක් අනුගමනය කර නොමැති වීමත් ආරක්ෂණ ක්‍රමවේදයක් වන ආරක්ෂිත කබා පිළිබඳවවත් අවධානය යොමු කර නොමැත.

කෙසේ හෝ කලක් තිස්සේ මෙම පාලම් පාරුව එගොඩ මෙගොඩ ගොස් ඇත්තේ මරණය එහි යන ජනතාවට භාර දෙමිනි. ඒ අනුව ඒ මාරයා පැමිණෙන්නේ පසුගිය අඟහරුවාදා (23)ය. පාසල් සිසුන් දිගු කලකට පසු පාසල් යෑමට ගිය දෙවැනි දිනයේය. පාලම් පාරුවට ⁣ලොකු කුඩා මිනිසුන් 30ක් පමණ ⁣ගොඩ වී ඇත්තේ ද ඔවුන්ගේ ගමන ඉක්මන් කර ගැනීමටය. නමුත් එහි අනාරක්ෂිත බවක් තිබුණු බවට ඔවුන් දන්නේ නම් කිසි විටක පාරුවෙන් යෑමට කිසිවකු එන්නේ නැත. ලෑලි ටයර් සහ බැරල් යොදා සකස් කර තිබූ පාලම් පාරුව කැඩී ගොස් ඇත්තේ පාරුව කෙළවරට රැගෙන යාමට සවි කර තිබූ ආධාරකය කැඩී යෑම නිසාවෙනි. එහීදී එකම පවුලේ මවක් සහ දරුවන් දෙදෙනකුත් තවත් එකම පවුලක දරුවන් දෙදෙනකු සහ වයෝවෘද්ධ පුද්ගලයකු මෙම විපතින් මරණයට පත්ව වන්නේ කින්නියා කලපුවේ ගිලී යමිනි.

නමුත් අවම වශයෙන් ආරක්ෂිත කබා මෙම පාලම් පාරුව තුළ තිබුණේ නම් මෙවන් විපතක් සිදු නොවන්නට තිබිණ. මේ වන විට සියල්ල සිදුව හමාරය. දරුවන්ට මවක් සහ මවකට දරුවන් අහිමි වී අවසන්ය. එවැනි මොහොතක මෙම පාලම් පාරුව පවත්වා ගෙන ගිය පුද්ගලයා පලා යෑමට සැරසෙන විට පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. එසේම ඊට වගකිව යුතු අනෙකුත් පාර්ශ්වයන් සෙවීමට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සිද්ධිය වූ දිනයේදීම පළාත් පාලන කොමසාරිස් එන්. මනිවන්නන් මහතාට නියෝග කිරීමත් සමඟ එම පරීක්ෂණය පැවැත් වීම සඳහා පළාත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජී. මුතුබණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර කළ අතර ඊට අමතරව විශේෂ පොලිස් පරීක්ෂණයක් ද සිදු කරන ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. නමුත් මෙම සිද්ධියෙන් කම්පනයට පත් ජනතාව ප්‍රකෝපකාරීව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් මහතාගේ නිවසට දැඩි අලාභ භානි සිදු විය. එසේම ඊයේ කින්නියා නගරයට නොමිලේ යෑම සඳහා බස් රථයක් යෙදවීමට රජය විසින් කටයුතු කරන තිබුණ ද ඊට එම ප්‍රදේශයේ ජනතාව විරුද්ධ විය. කෙසේ වුව ද මිය ගිය දරුවන් හා අනෙකුත් පුද්ගලයන් සඳහා රජය විසින් සාධාරණය ඉටු කරන බවට පාර්ලිමේන්තුව තුළ ද යම් වාද විවාද පැවති අතර, මෙම විපතට වගකිවයුතු පාර්ශ්ව වෙත දැඩි දඬුවම් දීමට ද එහිදී එකඟ විය. එසේම මෙවන් විපත් යළිත් සිදු නොවීමට සියලු දෙනා අවධානයෙන් කටයුතු කළ යුතු බව ද සඳහන් කළ යුතුව ඇත.

නුවන් හෙට්ටිආරච්චි

ඡායාරූප - ත්‍රිකුණාමලය විශේෂ, කන්තලේ සමූහ

නව අදහස දක්වන්න