ඇසෙන නිරතුරු මහමඟ අනතුරු | දිනමිණ

ඇසෙන නිරතුරු මහමඟ අනතුරු

රුධිරවාහිනී සිරුරට අත්‍යවශ්‍ය ය. එය නොවන්නට පණනළ නොරැ‍ඳේ. රටකට මහාමාර්ග පද්ධතිය ද එසේමය. ඊට යටිතල පහසුකම් අතුරෙන් මුල්තැනක් හිමි වේ. නවීන තාක්ෂණයෙන් පුළුල් මංමාවත් ඉදිකරමින් සෑම රටක්ම මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමට වෙහෙසෙයි. ඒ ඉඳුරාම එයින් සංවර්ධනයේ ගමන වේගවත් වන හෙයිනි. එරට ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවෙන බැවිනි.

එසේම, රටක මහාමාර්ග පද්ධතියක් දියුණු පමුණුවීමත් සමඟ එහි නවීන සුඛෝපභෝගී රථවාහන ධාවනය වැඩි වේ. එවිට විටෙක එක පෙළට වාහන තදබදයක් ද ඇති වේ. ඉන් අමතර නාස්තිය වැඩි වේ. මෙරට ශ්‍රම බළකායට රටේ දියුණුවට කැටි කළ හැකි කාලය ද නිකරුණේ වැය වේ.

එමෙන්ම එහි අනෙක්පස බිහිසුණුය. ඒ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට අධික වේගයෙන් මහාමාර්ගවල රිය ධාවනයේදී මාරක අනතුරු වැඩිවීමෙනි.

රතුඑළි

මේ වර්ෂයේ මෙතෙක් රිය අනතුරුවලින් පුද්ගලයන් 2000 ක් පමණ මිය ගොසිනි. සැබවින්ම මෙරටදී සෑම මිනිත්තු 10 කට වතාවක් බැගින් රිය අනතුරක් වාර්තා වෙයි. දෙපැයකට වරක්වත් ඉන් පුද්ගලයෝ තුවාල ලබති. එසේම වාර්ෂිකව මෙරට රිය අනතුරු නිසා මරණ 3100 ක් පමණ සිදුවේ. 2018 වසරේ මුල් මාස 6 දී පමණක් රිය අනතුරුවලින් මෙරටට ජීවිත 3000 ක් අහිමි විය. ඉකුත් වසර 10 තුළදී රිය අනතුරුවලට මෙරට ජීවිත 27000 ක් බිලිවී ඇත.

තවදුරටත් ආපස්සට හැරී බැලූව ද එහි වෙනසක් නො‍පෙනේ. 2010 වසරේදී මහමඟදී මඟමරුවාට ජීවිත 1250000 ක් ගොදුරු විය. ඒ දිනකදී මරණ 6 ක පමණ සාමාන්‍ය අගයක් පෙන්වමිනි. ඊට දශකයකට පසුව එනම් වර්ෂ 2020 දී දිනකට ජීවිත 8 ක් පමණ රිය අනතුරු නිසාම මෙරටට අහිමි වන තත්වයක් පෙනෙන්නට ඇත. එය රටක් වශයෙන් යහපත් තත්ත්වයක් නොවනු ඇත.

2019 වර්ෂයේදී ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් මාර්ග අනතුරු හේතුවෙන් තුවාල ලැබූ තැනැත්තන් 11542 ක් ප්‍රතිකාර ලබා ගෙන තිබේ. ඉන් සැලකිය යුතු ගණනක් බීමත්කම හේතුවෙන් අනතුරට ලක් වූවන්ය. ඒ අතර රියදුරන් මෙන්ම පදිකයන් ද වේ. ඉකුත් 2020 වර්ෂයේ මුල් මාසයේදී පමණක් අනතුරු 435 ක් මෙරටින් වාර්තා වී ඇත.

පිටරටවලටත් හිසරදයක්

රට රටවල්වලටත් මාර්ග අනතුරුවල බලපෑම දැඩිය. ඒ අතර සංවර්ධිත රටවල් ද වේ. ලෝකයේ දිනකදී තැනැත්තන් 3400 ක් පමණ රිය අනතුරුවලට ගොදුරු වී මි‍යෙති. අවුරුද්දකදී පුද්ගලයන් මිලියන 1.35 ක් පමණ ඒ අනුව මඟමරුවාට බිලි වේ.

එතරම්ම විපතක් ලොවට අත්වන මාර්ග අනතුරු පිළිබඳ විවිධ පර්යේෂණවල ලෝකය නිරතව සිටියි. ඒ අනුව නීති රීති මගින් පමණක්ම එම අනතුරු අවම කළ නොහැකි බවත් හඳුනාගෙන ඇත. ඒ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම කෙරෙහි වැඩි නැඹුරුවක් වුවමනාය. කුඩා කළ පටන්ම ජනතාව මහාමාර්ග භාවිතයේදී ස්වයං විනයක් ගොඩනංවා ගැනීම වැදගත්ය. ඊට සුවිශේෂී ක්‍රීඩා, නිර්මාණ ආදී ක්‍රියාකාරකම් හඳුන්වා දීමෙන් ඒ කෙරෙහි ළමුන් ආකර්ෂණය කර ගැනීමටත් බොහෝ රටවල් උනන්දු කරයි.

තවද, මෙරට බොහෝ මහාමාර්ග කළු පැහැයක් ගනී. ඒ වෙනුවට විවිධ වර්ණ මාර්ග ඉදිකිරීමේදී යෙදීමටත් ඇතැම් රටවල් පෙළඹී ඇත. කොළ, රතු, සහ නිල් ආදී වර්ණ එහිදී යොදා ගැනේ. එ‍සේම ඒ ඒ වර්ණය අනුව රියදුරන්ට වෙනමම පණිවුඩ ලබා දේ. ඒ ඒ වර්ණ මඟින් රිය පැදවිය යුතු වේග සීමා පිළිබඳ අවධාරණය කෙරේ.

එක දිගට ඈතට විහිදෙන කෙළින් මාර්ග වෙනුවට හිතාමතාම වංගු යොදමින් එහි වෙනසක් කිරීම තවත් එකකි. මහාමාර්ගවල පළල අඩු කිරීම තවත් උපායමාර්ගයකි. ස්වීඩනය ඉන් පල නෙළා ගත් රටකි. තවත් රටවල සාමාන්‍ය වේගයෙන් මාර්ගයේ ගමන් කරනවිට සංගීත ඛණ්ඩයක් ඇසෙන පරිද්දෙන් ද එය එසේ නොවුණු විට, එසේත් නැතිනම් අධික වේගයෙන් රිය ධාවනය කරන විට එවැන්නක් නෑසෙන අයුරින් ද තාක්ෂණික උපක්‍රම යොදා ඇත. පදිකයන් බහුලව ගමන් ගන්නා මහාමාර්ගවල රිය ධාවනය පැයට කිලෝ මීටර් 30 මට්ටමට ගෙනැවිත් තිබේ. එසේම පදිකයන් අඩු කාලවේලාවලදී එය පැ.කි.මී. 50-70 ක් පමණ වන පරිදි ඉහළ දමා ඇත. එමෙන්ම පැ.කි.මීටර් 100 තරම් වේගයකින් අධිවේගී මාර්ගවල පමණක් බො‍හෝ රටවල රිය ධාවනයටත් බොහෝ රටවල් විධිවිධාන යොදා තිබේ.

පර්යේෂණ සහ සමීක්ෂණ

අන්තර්ජාතික වශයෙන් රිය අනතුරු සහ මහාමාර්ග පිළිබඳ කළ සමීක්ෂණ බොහෝය. ඒ ඇසුරෙන් ලොවට හෙළි කළ වැදගත් දත්ත රැසකි. රිය පදවන වේගය සහ අනතුරු සිදුවීමේ ප්‍රවණතාව අතර සහසම්බන්ධයක් ඒ අනුව හඳුනාගත හැකිය. යම් හෙයකින් රිය පදවන වේගය 5% කින් වැඩි කළහොත් ඉන් අනතුරු ඇතිවීමේ ප්‍රවණතාව 20% කින් පමණ ඉහළ යතැයි හෙළිවී තිබේ. වේගය වැඩිවෙත්ම රියදුරන්ගේ දෘශ්‍ය පරාසය කෙමෙන් අඩුවන බව එයින් අනාවරණය කරගත්තකි. ඒ අනුව පැයට කිලෝ මීටර් 40 ක වේගයකදී රියදුරකුගේ දෘශ්‍ය පරාසය අංශක 100 ක් බව කියැවේ. එසේම වේගය පැ.කි.මීටර් 70 වූ විට දෘශ්‍ය පරාසය 75 ක් ද එමෙන්ම පැ.කි.මීටර් 100 ක වේගයකදී රියදුරුට අංශක 45 ක දෘශ්‍ය පථයක් පමණක් පැවතීම ද එහිදී අනාවරණ කෙරෙන කරුණුය.

සුලබ වැරදි

බීමත්ව රිය ධාවනයත් අධික වේගයත් හැරෙන්නට නිසි නින්දක් නොලැබීම රියදුරන් අතින් මාරක රිය අනතුරු සිදුවීමට බලපෑ හේතුවකි. ඒ වගට පොලිසියේ සංඛ්‍යා දත්ත සාක්ෂි දරයි. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය ද එසේමය. වැරදි අයුරින් අනෙක් වාහන පසුකර රථය ඉදිරියට ධාවනය කිරීම් පිළිබඳ මාරක රිය අනතුරුවලට බලපෑ හේතු විමසා බැලීමේදී හෙළිවේ. දුම්රිය හරස් මාර්ග අසලදී නොසැලකිලිමත්ව රිය ධාවනය ද එවැනි තවත් කරුණකි. ජංගම දුරකතන භාවිත කරමින් රිය පැදවීම ද මෙරට තහනම් ය. එහෙත් සමහරු එය නොතකති.

ඉදින්, බොහෝ විට ‍ඉතා වැඩි අගයකින් දඩ නියම කිරීම් ආදී දඬුවම් බොහෝ රටවල් ඉහත වැරදි සඳහා ලබා දේ. මෙරට ද නීති සංශෝධනය කරමින් ඒ මඟට යොමුව තිබේ. එහෙත් ඇතැම්හු නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් මඟ තොට පෙනෙන මානයේ සිටියදී පමණක් අකුරට නීතියේ පිළිපදිති. එය එසේ නොවන විට හිතුමතේ රිය ධාවනය කරති. ඒ මිසෙක මහමඟදී රියදුරන් පිළිපැදිය යුතු නීති රීති හෝ මාර්ග විනය නොතකති. ඇතැම්විට ඒ අපරික්ෂාකාරී ගමනේ නිමාව රිය අනතුරකි. එහිදීද අනතුරට පත් වූවන් මහමඟ දමා පලා යෑමටත් ඇතැම්හූ උත්සාහ දරති. එහෙත් එය මිනිස්කමටත් නිඟා කරන්නක් වශයෙන් විද්වත්හු පෙන්වා දෙති.

පදිකයන් මෙරට මහමඟ අනතුරුවලින් වැඩිමනක්ම මිය යන පිරිසකි. පාපැදිකරුවන් ද සැලකිය යුතු ගණනක් මහමඟදී අනතුරුවලට ලක් වේ. කොළඹින් පිට පළාත්වලින් එවැනි අවාසනාවන්ත සිද්ධි බහුලව ඇසේ. ඒ පිළිබඳ රතු එළි මොනරාගල, යාපනය ආදී ප්‍රදේශවලින් දැල් වේ. ඒ තත්ත්වය වළක්වා ගැනීමට පාපැදි සඳහා ලාම්පු අනිවාර්ය කිරීම ආදී ක්‍රියාමාර්ග රජය ගෙන තිබේ.

රජයේ මැදිහත් වීම

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මෙරට රිය අනතුරු අවම කිරීමට විධිවිධාන යොදන රජයේ ආයතනයකි. දශක ගණනාවක් තිස්සේ එය ක්‍රියාත්මකය. විනයගරුක හා නීතිගරුක රියදුරන් බිහිකිරීමෙන් ඉහළ ගුණාත්මක බවකින් යුතු රියදුරු සේවාවක් බිහිකර ගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ එම ආයතනය පිහිටුවා තිබේ. එසේම රථවාහනවල තත්ත්වය ඉහළ ප්‍රමිතියකින් යුතුව පවත්වා ගැනීමට එමඟින් පර්යේෂණ සිදුකරයි. එමඟින් දත්ත එක්රැස් කරයි. ඒ හරහා නිර්නායකවලටත් එළැඹෙයි. රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඒ අනුව යෝජනා අදහස් ද ඉදිරිපත් කරයි.

සැබැවින්ම මහමඟදී අවාසනාවන්ත අයුරින් රිය අනතුරු හේතුවෙන් මිය යන සහ සදාකාලිකව ආබාධිත තත්වයන්ට පත්වී එක්තැන් වන බොහෝදෙනෙකු තරුණ තරුණියන්ය. නොඑසේ නම් මැදිවියේ අයයි. එසේම ඒ හුඟ දෙනකු ශ්‍රම බළකායේ පංගුකරුවන්ය. උපයන්නන්ය. විවාහකයන්ය. මවුපියවරුය.

සුභසාධනය

එක් ක්ෂණයකදී බිහිසුණු රිය අනතුරක් හේතුවෙන් එතරම්ම වගකීම් සහගත තැනැත්තන් මහමඟදී මිය යෑමට පුළුවන. එවිට ඔහු හෝ ඇයගෙන් යැපෙන්නන්ට පිළිසරණක් නැත. ඒ දරු පවුල්වලට ඒ අනතුර සදාකාලිකව බලපාන්නටත් පුළුවන. මේ දැඩි සමාජ, ආර්ථික අර්බුද ඇති කරන්නකි. ඒ පවුල්වල දූ දරුවන්ගේ අනාගතය අඳුරු කරන්නකි. අධ්‍යාපන කටයුතු අඩපණ කරවන්නකි.

සමාජ සුබසාධන කටයුතු එහිදී නොපමාව ඉටුවිය යුතු වේ. නොඑසේ නම් බිඳුණු පවුල් ඇසුරෙන් තෘප්තිමත් ජීවිත බිහි නොවන්නට පුළුවන. රටක අනාගතය බාරගැනීමට සිටිනා මතු පරපුරට ඉන් සිදුවන්නේ අවැඩකි.

මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව මෙරට මාර්ග අනතුරු අවම කිරීමේ විධිවිධාන යොදන රාජ්‍ය ආයතනයක් වශයෙන් ඊට යම්තාක් දුරකටවත් පිළියම් හඳුන්වා දී ඇත. මහමඟදී කිසිවකු රිය අනතුරකට ලක්කොට ඇතැම් විට එම අනතුරට සම්බන්ධ සැකකරු පලා යෑමටත් පුළුවන. එවිට මිය ගිය තැනැත්තා වෙනුවෙන් යැපෙන්නන්ට මූල්‍යාධාරයක් මෙමඟින් සැපයේ. අඩු ආදායම්ලාභීන්ට ඉන් සෙතක් අත්වනු ඇත.

යතුරුපැදි - ත්‍රිරෝද රථ

මෙරට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බොහෝ බිහිසුණු රිය අනතුරු සිදුවීම්වලදී හමු වේ. එසේම ඒවායේ ගමන් කළ බොහෝ දෙනෙකු එම අනතුරුවලින් මරණීය තුවාල ලැබීම පිළිබඳ නිතර මාධ්‍ය වාර්තා පළ වේ. ඇතැම් යතුරුපැදිවල නිමාව ද අනතුරු බහුලවීමට බලපා ඇති සැටියකි. ඒ ඒවායේ පෙට්‍රල් ටැංකියේ පිහිටීම ආදිය නිසාය. ඒ අනුව ඒ පිළිබඳ ජාතික වශයෙන් තීන්දු තීරණ ගැනීමේදී වැදගත් කාර්යය භාරයක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් ඉටු කෙරේ. එපමණක් නොවේ. ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් පිළිබඳ නිර්ණායක මෙරට පවතී. SLS ප්‍රමිතියෙන් යුතු වන ඒවා හැරෙන්නට බාල තත්ත්වයේ ඒවාට මේ අනුව මෙරට ඉඩක් නැත. එය නීතිගතය.

එමෙන්ම ත්‍රිරෝද රථ නියාමනය කෙරෙහි ද කලෙක පටන් සමාජයේ කතාබහක් පවතියි. ලක්ෂ 13 ක් පමණ එම රථ මෙරට වෙතැයි ගණන් බලා තිබේ. ඉන් අඩක් පමණ බස්නාහිර පළාතේ පවතින බවත් හඳුනාගෙන තිබේ. රිය අනතුරුවලදී මගීන්ට මරණීය තුවාල වැඩි කරවන්නට ත්‍රිරෝද රිය හේතුවකි. එසේම අනුමත ගණනට වඩා වැඩි මගීන් ගණනක් සහිතව ධාවනය කෙරුණු ත්‍රිරෝද රිය අනතුරට ලක්වීමෙන් එකම තැනදී පුද්ගලයන් ගණනාවක් මිය යෑමේ සිද්ධි තවමත් මෙරටින් බහුලව ඇසේ.

ආරක්ෂාව

අනාරක්ෂිත ත්‍රිරෝද රථ වෙනුවට වායු බැලුන ආදියෙන් සමන්විත කුඩා මෝටර් රථ ආදිය හඳුන්වාදීම වැදගත් බවටත් විද්වත්හු මත පළ කරති. සාමාන්‍ය ජනතාවට ඒවා මිලට ගත හැකි අන්දමේ ජාතික වැඩපිළිවෙළක් සහන පොලී යටතේ හඳුන්වාදීමේ වැදගත්කම ද ඔවුහු කලෙක සිටම අවධාරණය කරති.

තවද, මාර්ග අනතුරු අඩු කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ඔවුහු පෙන්වා දෙති. ඒ සඳහා උගතුන් විද්වතුන්ට අදහස් උදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, මාර්ග අනතුරු වැළැක්වී‍ම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමෙන් ඇති වෙතැයි ද ඇතැම්හූ පවසති.

මේ වනවිටත් මහමඟදී සිදුවන අනතුරු අවම කිරීමට රජය වැඩි අවධානයක් යොමු කර ඇත. වර්ෂ 2023 වන විට දුම්රිය හරහා මහජනතාවට පුළුල් සේවාවක් ලබා දෙමින් එය ලාභදායි ආයතනයක් බවට පත්කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ද ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

සැබැවින්ම මහජන අපේක්ෂාව ද අදට වඩා යහපත් හෙටකටය. ඒ අතින් ප්‍රවාහන ක්ෂේත්‍රයට විශාල වගකීමක් පැවරේ. මහජනතාව ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවෙති. සෙවිල්ලෙන් සිටිති.

නුවන් මහේෂ් ජයවික්‍රම

නව අදහස දක්වන්න