රට නඟන මඟ තනන ගුවන් යාත්‍රාංගණය | දිනමිණ

රට නඟන මඟ තනන ගුවන් යාත්‍රාංගණය

ශ්‍රී ලංකාවේ දෙවන සංවර්ධන ව්‍යාපෘතිය අද ජනතා අයිතියට

මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන්නේ කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියයි. ලොව නැ‍ඟෙනහිර හා බටහිර කලාප යා කෙරෙන ආසියානු ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාව විදහා දැක්වෙන පරිදි හා අනාගතයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ අවශ්‍යතාවයන්ට හා ජාත්‍යන්තර ගුවන් ගමන් තද බදයට අනුරූප වන පරිදි නව සැලැස්මකින් ගුවන්තොටුපොළ නවීකරණය කිරීමට තීරණය කළේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදීයි.

ඒ අනුව දෙවන මගී පර්යන්ත ගොඩනැඟිල්ල ඉදි කිරීම හා ඒ ආශ්‍රිත කටයුතු පළමු අදියර ලෙසත්, එපිටින් පිහිටි යාත්‍රාංගණය සහ බැහැරුම් පථ ඉදි කිරීම දෙවන අදියර ලෙසත් වර්ගීකරණය කරමින් අදියර දෙකක් යටතේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ විය. පළමු අදියර සඳහා දළ වශයෙන් රුපියල් බිලියන 105.6ක මුදලක් සහ දෙවන අදියර සඳහා රුපියල් බිලියන 6.1ක් වශයෙන් මුදල් ඇස්තමේන්තු කර ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය ජපන් ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරේ. 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමත් සමඟ බලයට පැමිණි යහපාලන රජය යම් යම් හේතු දක්වමින් මෙම සංවර්ධන සැලසුම් කඩිනමින් ක්‍රියාවට නැංවූයේ නැත.

යහපාලනයේ කෙරුවාව

පළමු අදියරේ වැඩ ඇරඹීම කෙතරම් ප්‍රමාද වූයේද යත් යහපාලන ආණ්ඩුවේ පාලන කාල සීමව අවසන් වන තෙක් ගුවන්තොටුපොළ සංවර්ධන සැලසුමේ පළමු අදියර ආරම්භ වූයේ නැත. වත්මන් රජය බලයට පැමිණයේ ඇණිහිට ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරමින් මුඩු බිමක්ව පවතින රට නැවත වැඩ බිමක් බවට පත් කරන බව කියමිනි. ජනතාවට දුන් පොරොන්දු එයාකාරයෙන් ඉටු කරමින් අතරමඟ නතර වී තිබුණු සංවර්ධන ව්‍යාපෘති සහ ඉබි ගමනේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට වත්මන් රජය පියවර ගත්තේය.

ඒ අනුව 2020 මාර්තු මස 12 වැනිදා පළමු අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා ගුවන්තොටුපොළ, ගුවන් සේවා සමාගම හා ජපන් ඉදිකිරීම් සමාගමක් වන තායිසේ කෝපරේෂන් ආයතනය අතර ගිවිසුම් අත්සන් කෙරිණි. මේ වන විට පළමු අදියරේ සංවර්ධන කටයුතු වේගවත්ව සිදු කෙරෙමින් පවතියි. 2023 වසරේ වැඩ අවසන් කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර මඟින් අපේක්ෂා කෙරෙන්නේ ප්‍රධාන පර්යන්ත ගොඩනැඟිල්ල හා සම්බන්ධ ගොඩනැඟිලි, මගී පාලම්, වැසි ජල අපහරණ පද්ධතිය, උස් කරන ලද මාර්ග, විදුලි බලය, ජල සැපයුම් හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය, දහන යන්ත්‍ර හා සංයුක්ත යන්ත්‍රෝපකරණ, මහල් පහකින් යුත් රථ ගාලක් ඉදිකිරීම ආදී සංවර්ධන කටයුතුය.

අද (25) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සංවර්ධන සැලැස්මේ දෙවැනි අදියරය. 2008 වසරේ අනුමත කළ සැලසුම් ප්‍රකාරව දෙවන අදියර ඉදිකිරීම සඳහා මිල ගණන් කැඳවනු ලැබුවේ 2012 වසරේදීය. ජපන් සමාගමක් වන හෂාමා ඇන්ඩු කෝපරේෂන් සමාගම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත් භාරගත් අතර 2014 සැප්තැම්බර් මස 07 වැනිදා ජපාන අගමැති ශිංෂුවා අබේ මහතා සහ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල්ගල් තබමින් ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කළේය. කිසිවෙක් නොසිතූ ලෙස 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ ජනවාරි 09 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට සමු දුන්නේය. බලයට පැමිණි යහපාලන ආණ්ඩුව එතෙක් ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති රැසක් අතරමඟ නතර කළේය. එලෙස අතරමඟ ඇන හිටි සංවර්ධන ව්‍යෘපෘති අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන සැලැස්මේ දෙවන අදියරද විය.

ඒ වන විට සැලසුම් සකස් කර, සංවර්ධන ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව මූල්‍ය ප්‍රතිපාදන මෙන්ම කොන්ත්‍රාත් සමාගම් සමඟ ගිවිසුම් ගත වීම පවා සිදුව තිබූ මෙම දෙවන අදියර ප්‍රමාද වීමට හේතු වූයේ සංවර්ධන සැලසුමේ වූ ගොඩනැඟිල්ලක වහලය නෙළුම් මලක ආකෘතියක් ගැනීමය. මේ සම්බන්ධයෙන් බලධාරීන් අතර පැවැති නොයෙකුත් මතවාද අවසානයේ තවදුරටත් සංවර්ධන ව්‍යෘපෘතිය ප්‍රමාද කිරීමට නොහැකි තත්ත්වයක් ඇති විය.

සංවර්ධන සැලසුම්

එවකට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිර්මාණය කර ඇත්තේ ගුවන් මඟීන් මිලියන 5ක් හැසිරවීමට හැකි වන අයුරිනි. යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණය දිනා ගත් රටක් ලෙස ලොව පුරා ප්‍රචලිත විය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රමයෙන් මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වර්ධනය විය. වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 9ක් පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිහරණය කරන තත්ත්වයක් නිර්මාණය විය.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන ගුවන්තොටුපොළ දෙවැනි අදියර කඩිනම් කිරීම කෙරෙහි යහපාලන ආණ්ඩුවේ අවධානය යොමු වුවත් දෙවැනි අදියරේ සැලසුම වෙනස් කිරීමට බලධාරීන්ට අවශ්‍ය වී තිබිණි. පැවැති කළමනාකාරීත්වය මෙම සැලැස්මේ වහලය නෙලුම් මලක හැඩයට ඉදිකිරීමට තීරණය කර තිබුණත් යහපාලන ආණ්ඩුව යටතේ ගුවන්තොටුපොළ පරිපාලනය භාරගත් අය ඊට කැමැති වූයේ නැත. ඔවුන්ට වහලයේ හැඩය වෙනස් කිරීමට අවශ්‍ය විය. ඒ අනුව නෙළුම් මලේ හැඩය වෙනුවට ශාක පත්‍රයක හැඩයට වහළය ඉදි කරන අයුරින් සැලසුම වෙනස් විය. මේ ආකාරයෙන් සැලසුම වෙනස් කිරීමට පමණක් රුපියල් 661,630,571ක පමණ මුදලක් වැය කළේ අමතර වැයක් ලෙසනි.

අවසානයේ 2017 අප්‍රියෙල් 25 වැනිදා දෙවැනි අදියරේ වැඩ ආරම්භ කෙරුණ ද ඉබි ගමනේ ගිය ඉදිකිරීම් කඩිනම් කෙරුණේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟයි. අද දින මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙතෙක් පැවැති ගුවන් යානා නැවැත්වීමේ අංගණ විසි පහක ප්‍රමාණය හතළිස් නවයක් දක්වා වැඩි වෙමින් ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයක් වේ. මේ අතර ලොව විශාලතම ගුවන්යානා වර්ගය වන ඒ 380 වර්ගයේ ගුවන් යානා දෙකක් නැවැත්වීමේ පහසුකම්ද ලැබේ. පැහැරුම් පත දිගු කිරීම තුළින් ගුවන් යානාවලට නව පර්යන්ත ගොඩනැඟිල්ලට ප්‍රවේශ වීමේ පහසුකම් සැපයෙන අතර ජල රැඳවුම් පොකුණු මඟින් ගංවතුර පලදායි ලෙස පාලනය කළ හැකි වේ.‍ මිලියන 6ක් වූ වාර්ෂික ගුවන් මගී ධාරිතාව මිලියන 09ක් බවට පත්කෙරේ.

මේ වන විට වේගවත්ව ඉදි කෙරෙන ගුවන්තොටුපොළ සංවර්ධන සැලසුමේ පළමු අදියර 2023 වසරේදී අවසන් වීමට නියමිතව ඇත. මෙම සම්පූර්ණ සංවර්ධන සැලසුම අවසානයේ පර්යන්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් දෙලක්ෂ හැත්තෑ පන්දහස් නවසියක් වන අතර වර්තමානයේ පවතින පිරික්සුම් කවුළු 53ක ප්‍රමාණය 149ක් බවට පත්වෙයි. දැනට පවතින විගමන කවුළු විසි එක 53 දක්වාත්, ආගමන කවුළු ප්‍රමාණය 27 සිට 83 දක්වාත් වැඩි කෙරෙයි.

එයා සයිට් ආරක්ෂක පාලන ස්ථාන 8 තවත් ස්ථාන 20කින් වැඩි වී ස්ථාන 30ක් බවට පත් වෙයි.

සම්බන්ධතා දොරටු ගණන 24ක් දක්වාත්, බස් දොරටු 16ක් දක්වාත්,

ගුවන් සේවා විවේකාගාර 10ක් දක්වාත්, ගමන් මලු ලබා ගැනීමේ කැරුසල් 13ක් දක්වාත්, ගුවන් මලු සැකසීමේ කැරුසල් 10ක් දක්වාත් අනුකූලව වැඩි කෙරේ. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය අවසානයේ ගුවන්තොටුපළේ වාර්ෂික මඟී හැසිරවීමේ ධාරිතාව මිලියන 10ක් දක්වාත් වැඩි කෙරේ.

සංවර්ධන ව්‍යාපෘතියක් යෝජිත කාලවකවානු අනුව ක්‍රියාත්මක නොකිරීම මඟින් සිදු වන්නේ රටට පාඩුවකි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කර යම් කාලයක් ගත වූ පසුව ණය මුදලේ වාරික ගෙවීම ආරම්භ කෙරෙන ක්‍රමවේදයකට ණය ලබා ගෙන තිබේ. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් නොවූව ද 2022 වසරේ සිට ණය වාරික ගෙවිම ආරම්භ කෙරේ. මෙම ණය වසර තිහකින් ගෙවා අවසන් කළ යුතුව ඇත.

කෙසේ වෙතත් කටුනාවක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ කටයුතු නියමිත පරිදි ඉටු නොකිරීම හේතුවෙන් රුපියල්.මිලියන 11050ක පාඩුවක් රටට සිදුව ඇති බව මේ වන විට ගණන් බලා තිබේ.

රන්මලී සෝමසිරි

ඡායාරූප - තිළිණ කල්තොටගේ

නව අදහස දක්වන්න