රුහුණු මාගම්පත්තුවේ ජන හද දිනූ නායකයා ඩී.ඒ. රාජපක්ෂ | දිනමිණ

රුහුණු මාගම්පත්තුවේ ජන හද දිනූ නායකයා ඩී.ඒ. රාජපක්ෂ

එදා මාගම්පත්තුවේ හා ගිරුවාපත්තුවේ ජීවත් වූ ගොවි ජනතාව අව් කාෂ්ටකේ මහ පොළොව සමඟ හරි හරියට ඔට්ටු වෙමින්, හේන් ගොවිතැනේ යෙදෙමින් ගෙනගිය ජීවන අරගලය බොහෝ ලේඛකයන්ගේ තේමාව බවට පත් විය. ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාව සඳහා තේමාව වූයේද හේන් ගොවීන්ගේ කටුක ජීවිතවල අ‍ඳෝනාව හා ‍ළතෝනියයි. ඒ කොයිහැටි වුවද වර්තමානයේ හම්බන්තොට දිස්ත්‍රික්කය දේශපාලනික, සංස්කෘතික, ආර්ථික, සමාජීය හා දිස්ත්‍රික්කයේ භෞතික හැඩතලය අතින්ද විශාල පරිවර්තනයක් වී ඇත්තේය. මේ සඳහා මූලික අඩිතාලම නොඑසේ නම් වස්තු බීජය පැළ කළාහු රුහුණු මාගම්පත්තුවේ ගොවි ජනතාවගේ හදවතේ රිද්මය වේදනාව හොඳින් හඳුනාගෙන සිටි කෘතහස්ත දේශපාලනඥයකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂයෝය. මෙතුමා කිසි දිනක ජනතාවට බොරු පොරොන්දු නුදුන් අතර, ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ නිරත වූ මානවහිතවාදී දේශපාලනඥයෙකි. ඩී.ඒ. රාජපක්ෂයන්ගේ 54 වැනි ගුණ සමරුව ඉකුත් 07 වැනි දිනට යෙදී තිබුණි. මේ එතුමන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා සමඟ කළ සංවාදයකි.

රාජපක්ෂ පරපුරේ දේශපාලන ආගමනය සිදු වුණේ කොහොම ද?

රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ ඉඳලා රාජපක්ෂවරු රුහුණේ දේශපාලන කරළියේ ප්‍රමුඛ පිරිසක්. ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා රුහුණේ සිංහයා ලෙස ජනතා ගෞරවයට පාත්‍ර වුණා. ඔහු 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා හම්බන්තොට ආසනයෙන් ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළා. ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා සටන්කාමී, විප්ලවකාරී දේශපාලනඥයෙක්. එතුමා උග්‍ර අධිරාජ්‍ය විරෝධී සටන්කාමි දේශපාලන චරිතයක්. එතුමා ඇන්.එම්., පිලිප්, කොල්වින් ආර්. ද සිල්වා යන දේශපාලනඥයන්ගේ සමීපතමයෙක්. ඩී.එම්. රාජපක්ෂ මැතිතුමාගේ අභාවයෙන් පසු හිස් වූ හම්බන්තොට අසුන සඳහා රුහුණේ ජනතාව ඉල්ලා සිටියේ එතුමාගේ බාල සහෝදරයා වන ඩී.ඒ. රාජපක්ෂ මහත්තයාව. එතුමා ගොවිතැනට හදවතින්ම ආදරය කළ දේශපාලන චරිතයක්. ගිරුවාපත්තුවේ ජනතාවගේ ඉල්ලීමට කන් දුන් එතුමා වක්කඩින් ගලා යන දිය පහරින් දෑත් සෝදාගෙන කුඹුරේදී තමයි නාම යෝජනා පත්‍රයට අත්සන් කළේ. එතුමා 1945 වර්ෂයේදී නිතරඟයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයකු ලෙස තේරී පත් වුණා.

ඩී.ඒ. රාජපක්ෂයන් ගැමිකම, ගැමි සුවඳ, අපේකම හොඳින් හඳුනාගත් දේශපාලනඥයෙක්. එතුමන්ගේ දේශපාලන චරිතය ඔබ දකින්නේ කොයි ආකාරයෙන් ද?

රාජපක්ෂවරු මහජනතාවගේ සංකේතයක්. ජනතාවගේ හඬ තමයි රාජපක්ෂවරුන්ගේ හඬ වුණේ. හැම අරගලයකදීම, සටනකදීම ඩී.ඒ. රාජපක්ෂයන් විසින් ගනු ලැබුවේ දුප්පත් ජනතාවගේ පක්ෂයයි. එතුමාට ලොකු දැක්මක් තිබුණා. ඔහු නිවුණු කෙනෙක්. සරල ගති පැවතුම්වලින් යුත් එතුමා රුහුණේ අව්‍යාජ චරිතයක ප්‍රතිමූර්තියක්. ජනතා සේවයට බට ඩී.ඒ. රාජපක්ෂයන්ගේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙළ අනාගත නායකත්වයට ආදර්ශවත් පරිදි ශේෂ කළ දේශපාලන චරිතයක්. එතුමා ගොවිජනතාව නියෝජනය කළා. මහපොළව සමඟ ඔට්ටු වෙමින් හම්බන්තොට වැනි ශුෂ්ක ප්‍රදේශයක ගොවිතැන් කටයුතුවල නිරතව සිටි ගොවි ජනතාවගේ හදවතේ රිද්මය හොඳින් හඳුනාගෙන තිබුණා.

1951 වර්ෂයේ ජූලි මස 12 වැනිදා පැවැති රජය හැර දමා බණ්ඩාරනායක මහතා සමඟ විපක්ෂයට ගිය අතළොස්සක් වූ මැති ඇමැතිවරු අතර ඩී.ඒ. රාජපක්ෂයනුත් ප්‍රමුඛයෙක්. ඒ ගැන සඳහන් කළහොත්?

1947 වර්ෂයේදී පැවැති පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයෙන් තරඟ කොට වැඩි ඡන්ද 8,022කින් බෙලිඅත්ත ආසනයේ මන්ත්‍රීවරයා බවට මෙතුමා පත් වෙනවා. එජාපයේ ඉඳලා ගොවීන්ගේ හඬ එතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න බැහැ කියලා එතුමාට තේරුම් ගියා. ඒ නිසා තමයි බණ්ඩාරනායක මහත්තයා සමඟ එක් වී 1951 වර්ෂයේදී එජාපයෙන් ඉවත් වෙලා ශ්‍රීලනිප ය පිහිටුවීමට මුල් වුණේ. ගිරුවාපත්තුවේ ගොවි ජනතාවට යම් සෙතක් කිරීමට නම් දේශපාලන චින්තන රටාවේ වෙනත් මාවතකට යා යුතුය කියන මාවත ඔස්සේ තමයි එතුමා ශ්‍රීලනිපය වටා එකතු වෙන්න ඇත්තේ. එතුමාගේ ඒ සරල සිතුවිල්ල ශතවර්ෂයක් වගේ කාලයක් තුළ ගිරුවායේ දේශපාලනය, භෞතික හැඩතලය, ආර්ථිකය, සංස්කෘතිය උඩු යටිකුරු කිරීමට සමත්ව තිබෙනවා. එහිදී එතුමාගේ පුතුන් දෙදෙනකු මෙරට ජනාධිපති තනතුරට පත් වුණා. දරුවන් හා මුණුපුරන් ඇමැතිවරුන් බවට පත් වෙලා ඉන්නවා.

ඩී.ඒ. රාජපක්ෂයන් 1947 සිට 1965 දක්වා අඛණ්ඩව බෙලිඅත්ත ආසනයේ මන්ත්‍රීවරයා. එතුමා අපරාජිත මන්ත්‍රීවරයෙක්. මේ ජයග්‍රහණයේ රහස කුමක් ද?

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමාජ ආර්ථික තත්ත්වය ගතහොත් කාණ්ඩ දෙකක් තියෙනවා. එක් කණ්ඩායමක් තමයි වලවේ වම් ඉවුර ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියේ. අනෙක් කණ්ඩායම දකුණු ඉවුර ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියේ. වම් ඉවුරේ විශාල ඉඩම් තිබූ ප්‍රදේශයක්. කෘෂිකර්මාන්තය විශාල වශයෙන් සිදු වුණේ වම් ඉවුර ප්‍රදේශයේ. බ්‍රිතාන්‍ය කාලයේ සිට වෙනත් ප්‍රදේශවලින් පැමිණි කණ්ඩායම් තමයි වම් ඉවුර ප්‍රදේශය තුළ පදිංචිව සිටියේ. ගම්භාරයන් විශාල පිරිසක් හිටියා. ඔවුන් යටතේ අඳගොවීන් විශාල පිරිසක් හිටියා. වලවේ දකුණු ඉවුරේ තමයි පාරම්පරික ජනතාව පදිංචි‍ වෙලා හිටියේ. ධීවර ප්‍රජාව ඇතුළු විවිධ සංස්කෘතික කණ්ඩායම් නියෝජනය කරන කණ්ඩායම් දකුණු ඉවුරේ පදිංචි වෙලා හිටියා. ඩී.ඒ. රාජපක්ෂයන් මේ කණ්ඩායම් දෙකම එකතු කරගෙන තමයි දේශපාලනය කළේ. ඒක තමයි එතුමාගේ ජයග්‍රහණයේ රහස.

එතුමා වටා ගොනු වී සිටි සංස්කෘතික කණ්ඩායම් ගැන ඔබේ අදහස කුමක් ද?

එතුමා වටා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු සංස්කෘතික කණ්ඩායම් ගොනු වෙලා හිටියා. කුඩාවැල්ලේ සිරිසේන මුදලාලි, මුතුමාල මුදලාලි, සිරිසේන මුදලාලිගේ පුතා තමයි දකුණු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වන ඩී.වී. උපුල්. එතුමාගේ මුණුපුරා තමයි රාජ්‍ය ඇමැති ඩී.වී. චානක. බෙලිඅත්තේ කේ.ඩී. හින්නිමහත්තයා, ප්‍රදේශයේ හිටපු විදුහල්පතිවරු වන පී.ජේ. රත්නායක, විජේතුංග, ලැන්ටි ඉස්කෝ‍ල මහත්තයා, ගුණතිලක ඉස්කෝල මහත්තයා, වික්‍රමසූරිය පරම්පරාව වගේ විශාල බලයක් තිබූ කණ්ඩායම් ඩී.ඒ. රාජපක්ෂයන් වටා එකතු වෙලා හිටියා. නේරු හින්නි මහත්තයා, අම්බල ලියන මහතා, සෙනරත් රාලහාමි, ධීවර සමාජය, ඉඩම් හිමියෝ, ව්‍යාපාරිකයෝ බෙලිඅත්තේ ගැමුණු මුදලාලි, ගලගම මැම්බර් යන සියලු බලවේගයන් එතුමා වටා රොද බැඳ ගත්තා. පසුව 70දී මහින්ද අගමැතිතුමා තවත් කණ්ඩායම් තම පිළට එකතු කර ගත්තා. යූඑන්පී යේ හිටපු ප්‍රබලයන් වන හීල්ලේ රාලහාමි, අප්පු සිංඤෝ රාලහාමි, කමලා මුදලාලි ඇතුළු කණ්ඩායම් පවා එතුමා එකතු කර ගත්තා.

මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු හා නියෝජ්‍ය කථානායකවරයකු ලෙසත් දින 14ක කාලයක් කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයා වශයෙනුත් කටයුතු කළ එතුමාගේ සේවාව ගැන සඳහන් කළොත්?

ඩී.ඒ. රාජපක්ෂයන් ජීවත් වුණේ ගැමි ජනතාව සමඟයි. අඳ ගොවියාගේ දුක්ඛ දෝමනස්සයන් එතුමාගේ ජීවිතය හරහා ගලාගෙන ගියා. අඳ ගොවියාට සාධාරණත්වය ඉටු කිරීම සඳහා පිලිප් ගුණවර්ධන මහතා සමඟ එකතු වී 1956දී අඳ ගොවි පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළා. 56 බණ්ඩාරනායක රජයේ වාරිමාර්ග ව්‍යාපෘතියක් වන චන්ද්‍රිකා වැව ඉදිකිරීම සඳහා මෙතුමා මූලිකත්වය ගත්තා. චන්ද්‍රිකා වැව ඇළ මාර්ග සංවර්ධනය කරමින් ගොවි ජනපදයන් පිහිටවු අතර, අක්කර 5,000ක භූමි භාගයක් තුළ ගොවි පවුල් 1,800ක් පදිංචි කිරීමට කටයුතු කළා. ඒ විතරක් නොවෙයි, මුරතවෙල ජලාශය ඉදිකිරීම සඳහාත් මුල් වුණා. මෙම ජලාශය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වුණේ ගිරුවාපත්තුව යල, මහ කන්න දෙක අස්වැද්දීමට හා වීරකැටිය, උඩුකිරිවල ජලාශයට හා පට්ටියපොළ වැවට ජලය සැපයීමටයි. 1960 වර්ෂයේදී මෙකී ජලාශයේ වැඩ අවසන් වුණා. අද වන විට ගෝනදෙණිය ආදි ගිරුවාපත්තුවේ කුඹුරු අක්කර 12,000ක යල, මහ දෙකන්නයම අස්වද්දනවා. එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී පැඟිරි වගාකරුවන් ගැන කතා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි වාලච්චේන කඩදාසි කම්හල පිහිටවනු ලැබුවේ. පසුව ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටුවීමටත් එය හේතු වුණා.

එතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ද විශාල කාර්යභාරයක් ඉටු කළා නේද?

ඔව්, ඒ ගැනත් සඳහන් කළ යුතුයි. එතුමා ගිරුවාපත්තුවේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා විද්‍යාල හා විද්‍යාල විශාල ප්‍රමාණයක් ඉදිකිරීමේ පුරෝගාමියා වූයේ ඩී.ඒ. රාජපක්ෂයන්. ගිරුවාපත්තුවේ, ඉත්තදෙමළිය, ඕමාර ආදී නව පාසල් ආරම්භ කළා. බෙලිඅත්ත පළපොත, තංගල්ල යන විද්‍යාල මහා විද්‍යාල බවට පත් කළා. වීරකැටිය ද්විතියික විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කළා. තංගල්ල පාසල් ගුරුවරුන්ගේ පහසුව පිණිස ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලයක් පිහිටවූවා. මෙතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධ්‍යාපන පෙරළිය වෙනුවෙන් දැමූ මූලික අත්තිවාරම නිසා තමයි වර්තමානයේ අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵලවලින් වලස්මුල්ල අධ්‍යාපන කලාපය පිට පිට තුන්වැනි වතාවට ලංකාවේ පළමු ස්ථානය බවට පත්වන්නේ. ඒ විතරක් නොවෙයි, සා/පෙළ ප්‍රතිඵලවලින් හම්බන්තොට දිස්ත්‍රික්කය අනෙකුත් සියලු දිස්ත්‍රික්ක අභිභවා පෙරමුණට පැමිණ තිබෙනවා.

එදා ඩී.ඒ. රාජපක්ෂයන් විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ගොඩනඟන ලද දේශපාලන අත්තිවාරම නේද වර්තමානය වන විට රටේ පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබෙන්නේ?

සත්තකින්ම ඔව්. එතුමා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කය මූලික කරගෙන ඒ දේශපාලන පදනම ගොඩනැඟුවේ. ඇත්තටම එය නියමු ව්‍යාපෘතියක් වශයෙන් සඳහන් කළොත් නිවැරදියි. එතුමාගේ පුතුන් දෙදෙනකු ජනාධිපති ධුරවලට පත් වුණා. තවත් පුතුන් දෙදෙනකු ඇමැතිවරුන් බවට පත් වුණා. මුණුපුරන් ඇමැතිවරු බවට පත් වෙලා ඉන්නවා. ඔහු වපුරපු බීජ පුළුල් විදියට ව්‍යාප්ත වෙලා තියෙනවා. එදා ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත බැද්දේගම නවකතාවේ සඳහන් ආකාරයේ ජනතාවක් නෙමෙයි වර්තමානයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ජීවත් වන්නේ. ජනතාවගේ ජන ජීවිත විශාල වෙනසකට ලක් වෙලා. කොටින්ම කිවහොත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආර්ථික, සමාජයීය, සංස්කෘතික අංශවලින් පමණක් නොවෙයි, දිස්ත්‍රික්කයේ හැඩතල තුළින් පවා විප්ලවීය වෙනසක් ඇති‍ වෙලා තියෙනවා. ප්‍රධාන නගරයක තිබිය යුතු සියලු යටිතල පහසුකම් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තිබෙනවා. විශාල සමාජ පරිවර්තනයක් වුණා. අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ, වරායන් ඉදි වෙලා. මෙහි මූලික වස්තු බීජය තමයි ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා. ඇත්තටම රාජපක්ෂවරු දේශපාලන පවුල් පරම්පරාවට වඩා ජන නියෝජනයේ සංකේතය ලෙස හඳුන්වන්න පුළුවන්. රාජපක්ෂවරුන් තවමත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය ලෙසයි ජනතාව දකින්නේ.

"රුහුණු ගුරුපස සාරවත් කළ නිහඬ පිවිතුරු නායකත්වය

මලක් නොමියෙන දනන් හද තුළ මැතිඳු ඩී.ඒ. රාජපක්ෂය"

මේ කවි පද වැල් තුළ ඩී.ඒ. රාජපක්ෂයන් මියගොස් වසර 54ක් ගියද එතුමාගේ ප්‍රාර්ථනා සජීවීයි.

සංවාද සටහන - ලලිත් චාමින්ද

නව අදහස දක්වන්න