යුගදනවි ගිවිසුමට එරෙහි විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් | දිනමිණ

යුගදනවි ගිවිසුමට එරෙහි විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාල අමෙරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරේ.
 
අදාළ පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද(26) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණි.
 
අදාළ පෙත්සම් ලබන සදුදා (29) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.
 
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක් විය.
 
ඒ අනුව උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන අතර ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින බව අද අධිකරණයට දැනුම් දී ඇත.
 
ඒ අනුව අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සදුදා කැඳවීමට නියමිතය.
 
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
 
 

නව අදහස දක්වන්න