ඒ පොහොර හා මේ පොහොර | දිනමිණ

ඒ පොහොර හා මේ පොහොර

රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක සම්බන්ධයෙන් පනවා තිබූ ආනයන තහනම ඉවත් කර තිබේ. ඒ අනුව පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පොහොර, කෘමිනාශක හා වල්නාශක ගෙන්වා අලෙවි කළ හැකිය. මෙය කාලෝචිත තීරණයක් බව අපගේ පිළිගැනීම වෙයි. එක අතකින් රසායනික පොහොරම ඉල්ලමින් මහ කන්නයෙන් ඉවත් වන ගොවියෝ පිරිසක් සිටිති. පොහොර ගෙන් වුව හොත් ඔවුන් යළි වගාව ආරම්භ කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. තව අතකින් පවතින උද්ඝෝෂණ හා විරෝධතා ද එයින් නතර වනු ඇතැයි සිතන්නට පුළුවන. තවත් අතකින් රටේ පවතින පොහොර හිඟයට පිළිතුරක් ලෙස ද එය භාවිත කළ හැකිය.

රසායනික පොහොර සම්බන්ධයෙන් වූ ආනයනික තහනම ඉවත් කළ ද හරිත කෘෂිකර්මය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් වී නැත. ජනාධිපතිවරයා මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයා ද එය තහවුරු කර සිටිති. රජය තවදුරටත් කාබනික වගාව දිරිගන්වන අතර, රසායනික පොහොර හා කෘමිනාශක වෙනුවෙන් දිරිගැන්වීමක් කරනු නොලැබේ. ඉහත තීරණය විවිධාකාර විවේචනවලට හසු විය හැකිය. රජය තවත් ගැසට්ටුවක් ‘රිවර්ස්’ කරගත්තා යැයි කියන්නට පුළුවන. හරිත කෘෂි කර්මාන්තය අසාර්ථක යැයි කියන්නට පුළුවන. රජයට සල්ලි නැති නිසා පොහොර ගෙන්වීම පෞද්ගලික අංශයට භාර දී ඇතැයි චෝදනා කරන්නටත් පුළුවන. ඒවා දේශපාලනයට අනුව සාමාන්‍ය දේවල්ය.

හරිත කෘෂිකර්මය හා කාබනික වගාව යනු ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝකය ඉල්ලා සිටින ක්‍රමවේදයකි. මානවයාගේ අනාගත පැවැත්ම සඳහා වස විසෙන් තොර ආහාර සපයා ගත යුතු බව විවාදයකින් තොරව සියල්ලෝම පිළිගනිති. ජගත් සංවිධාන ඇතුළු යුරෝපීය රටවල් ශ්‍රී ලංකාවේ හරිත කෘෂිකර්මය අගය කරන්නටත් එය දිරිගන්වන්නටත් පටන් ගත්තේ ඒ නිසාය. ජනාධිපතිවරයා මේ වැඩසටහන ආරම්භ කළ පසු අපේ රටේ සංවිධාන ගණනාවක් ද එය අනුමත කරමින් ක්‍රියා කළහ. ‍ෙම් වන විටත් කාබනික වගාවෙන් උසස් ප්‍රතිඵල ලබන අය ද සිටිති. එහෙත් එයට කොටසකගේ විරෝධතා රැල්ලක් ලෙස පැතිරෙන්නට පටන් ගත්තේය.

රජය හරිත කෘෂිකර්මයෙන් ඈත් වී නැතත් එය ඉලක්ක කරා වේගයෙන් ඇදී යන බවක් පෙනෙන්න නැත. ඇතැම් රාජ්‍ය නිලධාරීන් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පූර්ණ සහයෝගයක් දුන්නේ නැත. ආණ්ඩු පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් වැඩසටහනට විරෝධයක් දක්වනු දැක ගත හැකි විය. වැඩි දෙනෙකුට හරිත කෘෂිකර්මය පිළිබඳ නිසි අවබෝධයක් නැත. මෙබඳු තත්ත්වයක් තුළ ආණ්ඩුව ඇතැම් තීරණ වෙනස් කිරීම හොඳ දෙයක් ලෙස සැලකිය හැකිය. සිදු විය යුත්තේ රසායනික පොහොරම ඉල්ලන අයට ද අවස්ථාවක් දෙමින් කාබනික වගාව දිගටම කරගෙන යෑමය. එවිට ගැටුමකින් ‍ෙතාරව වැඩසටහන ඉදිරියට ගෙන යා හැකිය.

පොහොර සම්බන්ධයෙන් වන විරෝධතා ඉහළ ගියේ කරුණු කිහිපයක් නිසා බව පෙනී යයි. එක හේතුවක් වන්නේ දීර්ඝ කාලයක් රසායනික පොහොර හා කෘත්‍රිම කෘමිනාශක භාවිත කළ ගොවියා ඉන් මුදා ගැනීම අපහසු වීමය. තව හේතුවක් වන්නේ ගොවි සමාජය දැනුම්වත් කිරීම හරි හැටි සිදු නොවීමය. තවත් හේතුවක් වන්නේ විපක්ෂය හා පොහොර සමාගම් ගොවියා කුලප්පු කරවන ආකාරයෙන් ක්‍රියා කිරීමය. රටේ ප්‍රධාන විපක්ෂය යනු බලය ලබා ගැනීම සඳහා ඕනෑම දෙයක් පාවිච්චි කිරීමට පසුබට නොවන එක්තරා ව්‍යාපාරයකි. පොහොර සමාගම් යනු ද අධික ලාභය සඳහා ඕනෑම වස විසක් අලෙවි කිරීමට සූදානම් ව්‍යාපාර විශේෂයකි.

ඉන්දීය අගමැති මෝදි මහතා එරට කෘෂිකර්මයට අදාළ ප්‍රතිපත්ති වෙනස් කරමින් එය ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කිරීමට උත්සාහ කළේය. එහෙත් ඉන්දියාවේ සාම්ප්‍රදායික ගොවි සමාජ එය නිසි ලෙස වටහා ගත්තේ නැත. ඔවුහු වසර දෙකකට ආසන්න කාලයක් විරෝධතාවල යෙදෙමින් ඉන්දීය කෘෂිකර්මයට බලවත් අලාභයක් සිදු කළහ. එහි ප්‍රතිඵලය වූයේ අගමැති මෝදි පියවර කිහිපයක් පසුපසට යමින් ඇතැම් නීති රීති යළි පරණ තත්ත්වයටම පවත්වා ගැනීමට තීරණය කිරීමය. මධ්‍යස්ථ මතධාරීන්ගේ පැහැදිලි කිරීම්වලට අනුව ඉන්දීය කෘෂිකර්මයේ යෝධ පිම්මක් ඒ මඟින් නතර විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දීය නායකයා මෙන් සිය ප්‍රතිපත්තිය වෙනස් කර නැත. සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනෙහි සඳහන් සැලසුම් වෙනස් කළේ ද නැත. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යනු ජනතාවගෙන් බහුතරය අනුමත කළ දැක්මක් සහිත ලියවිල්ලකි. එය සාර්ථකත්වය කරා මෙහෙයවීමේ වගකීමක් රටේ නායකයාට ද වත්මන් ආණ්ඩුවට ද තිබේ. රටට හා ජනතාවට වැදගත් හොඳ දේවල් සිදු කිරීම පහසු නැත. හරිත කෘෂිකර්මය සියල්ලන්ගේම පිළිගැනීමට ලක් වූව ද එය ක්‍රියාත්මක කිරීමේදී සියල්ලන්ගේම සහයෝගය ලැබෙන්නේ නැත. ඒ අනුව සෙමෙන් ගමනක් යෑම වඩා කාලෝචිතය.

නව අදහස දක්වන්න