මහ්මුදුල්ලා ටෙස්ට් පිටියෙන් සමු ගනී | දිනමිණ

මහ්මුදුල්ලා ටෙස්ට් පිටියෙන් සමු ගනී

බංග්ලාදේශයේ විස්සයි20 ක්‍රිකට් නායක මහ්මුදුල්ලා ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. කලෙකට පසු මේ වසරේ මුල් භාගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේ නුවරදී යළි ටෙස්ට් පිටියට පා තැබූ 35 හැවිරිදි මේ ක්‍රීඩකයා එම තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 150ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේය. බංග්ලාදේශ පිල ලකුණු 220කින් ජය ගත් එම තරගයේදී ඔහු වාර්තා කළේ සිය ටෙස්ට් තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාවය.

ටෙස්ට් පිටියෙන් සමුගත්ත ද, තමා එක්දින හා විස්සයි20 ක්‍රීඩාවේ තව දුරටත් රැඳී සිටින බව ඔහු සඳහන් කර ඇත.

වසර 2009 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ මහ්මුදුල්ලා ටෙස්ට් තරග 50කදී ලකුණු 2914ක් රැස් කිරීමට සමත් වූයේ ශතක 5ක් සහ අර්ධ ශතක 16ක් සමඟිනි. පන්දු යැවීමෙන් දස්කම් දක්වමින් ටෙස්ට් කඩුලු 43ක් දවාලීමට ද ඔහු සමත් විය.

නව අදහස දක්වන්න