අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්: යුද හමුදාව - එන්සීසී අවසන් පූර්ව වටයට | දිනමිණ

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්: යුද හමුදාව - එන්සීසී අවසන් පූර්ව වටයට

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට යුද හමුදා ක්‍රීඩා සමාජය සහ එන්සීසී ක්‍රීඩා සමාජය සමත් වෙයි.

‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මූලික වටය නිමා කළ යුද හමුදාව පළමු අවසන් පූර්ව තරගයෙත්, දෙවැනි තැන පසු වන එන්සීසී ක්‍රීඩා සමාජය දෙවැනි අවසන් පූර්ව තරගයෙත් ස්ථාන වෙන් කර ගෙන සිටී.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 12ක් ක්‍රීඩා කළ යුතු අතර, යුද හමුදාව ඉන් තරග 6ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 22කට හිමිකම් කියයි. තරගයක් පරාජය වී ඇති ඔවුන් සහභාගි වූ තරග 5ක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිනිි. ඊට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම සඳහා එන්සීසී කණ්ඩායමට එරෙහි තරගය ද ඇතුළත් විය. එම තරගය පෙරේදා එන්සීසී පිටියේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

අවසන් වරට පැවැති තරගාවලියේ ශූරයන් වන එන්සීසී පිල ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැනට පත් වූයේ තරග 4ක් (19) ජය ගනිමිනි. මෙවර තරගාවලියේ පරාජයන් හිමිව නැති එම කණ්ඩායම එක් වූ තරග 7ක් අත්හැර දැමූ අතර, මීගමුව සමඟ තරගය ලකුණු සමවීමෙන් නිමා වී තිබේ.

‘බී’ කාණ්ඩය යටතේ මූලික වටයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබුණ ද මේ වන විට රාගම ක්‍රීඩා සමාජය සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය එම කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථානවල පසු වන බැවින් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් තිබේ.

එම කණ්ඩායම් මූලික වටයේ තරග නිමා කර ඇති අතර, රාගම තරග 4ක්ද ටැමිල් යුනියන් තරග 5ක් ද ජයගෙන ප්‍රසාද ලකුණු 18ක් බැගින් හිමි කර ගෙන සිටී.

‘බී’ කාණ්ඩයේ ඉතිරිව ඇති තරග දෙකටම ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජය එක් වන අතර, එම තරග පාණදුර සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම්වලට එරෙහිව පැවැත්වේ. කෙසේ වෙතත් මේ වන විට පාණදුර ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි තැනත් (12), බ්ලූම්ෆීල්ඩ් (12) 9 වැනි තැනත් සිටී. ඒස් කැපිටල්ස් පිල පසුවන්නේ 10 වැනි ස්ථානයේයි.

මේ තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය 24 වැනිදා නිමා වීමට නියමිතව තිබූ අතර, වර්ෂාව අවසන් පූර්ව තරග දෙක අද (26) පැවැත්වීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් වර්ෂාවෙන් බාධා වූ තරග කිහිපයක් ඉදිරි දිනවල ක්‍රීඩා කිරීමට නියමිත වූ නිසා මූලික වටයේ තරග හෙට (27) දක්වා පැවැත්වෙනු ඇත. අනතුරුව අවසන් පූර්ව තරග දෙක 28 වැනිදාත්, අවසන් මහා තරගය 30 වැනිදාත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නව අදහස දක්වන්න