ආණ්ඩුවේ තුනෙන් දෙක තිබෙන්නේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතෙයි - හිටපු ජනාධිපති | දිනමිණ

ආණ්ඩුවේ තුනෙන් දෙක තිබෙන්නේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතෙයි - හිටපු ජනාධිපති

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතර බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවසීය.

පෙර සිටි ජනාධිපතිවරුන් හා සැසදීමේදී තමන් ජනාධිපතිවරයා ලෙස රටට ආදර්ශ රැසක් දී ඇති බවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ගැටුම් ඇති කර ගත යුතු නැති බවත් සිරිසේන මහතා කියා සිටියේය. වත්මන් ජනාධිපතිවරයාගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයෙන් පසු නැඟී සිටිමින් හිටපු ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

ආණ්ඩුව මේ වන විට පත්ව ඇති අප්‍රසාදයට ඍජුවම වගකිව යුතු පුද්ගලයා කෘෂිකර්ම ඇමැතිවරයා බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ නම් අප මිත්‍රශීලීව කටයුතු කළ යුතු බව කීවේය.

ගහන්න ඕනේ නම් ගහන්න සූදානම් බව අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටි බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා තමන් ගහ ගැනීමට සූදානම් නැති හෙයින් හැමදේම දෙස උපේක්ෂාවෙන් බලන පුද්ගලයකු බවත් එහෙත් ගහන්න අවශ්‍ය නම් ඊට ක්‍රමවේද දන්නා බවත් ප්‍රකාශ කළේය.

වීදුරු ගෙවල්වල ඉදගෙන ගල් ගැසීමට අකමැති බවත් තමන්ගේ මට්ටම්වලට ගැළපෙන ලෙස කතා කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

නව අදහස දක්වන්න