නෙස්ලේ පොල් වගා සැලසුමෙන් තවත් ග්‍රාමීය පවුල් 1,000කට ප්‍රතිලාභ | දිනමිණ

නෙස්ලේ පොල් වගා සැලසුමෙන් තවත් ග්‍රාමීය පවුල් 1,000කට ප්‍රතිලාභ

5 වැනි අදියර අම්පාරට

නෙස්ලේ පොල් වගා සැලසුමේ පස්වැනි අදියර පසුගියදා මහ ඔය, අරන්තලාව ප්‍රදේශයේදී ආරම්භ විණි. ඒ තවත් ගොවීන් සහ පොල් වගාකරුවන් 1,000කට දෙමුහුන් පොල් පැළ 5,000ක් සහ කාබනික පොහොර ප්‍රදානය කරමිනි. ශ්‍රී ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලය සමඟ නෙස්ලේ ලංකා සමාගම දියත් කළ මේ අදියර කාබනික වගාව මුල් කර ගනිමින් ක්‍රියාත්මක වේ. එමඟින් පසේ සරුභාවය සහ තෙතමනය ආරක්ෂා කර, ජෛව විවිධත්වය සුරකින අතර උසස් තත්ත්වයේ අස්වැන්නක් ගැනීමද තහවුරු කෙරේ.

‘‘පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ නොමද ආදරය දිනාගත් බෝගයක් ලෙස පොල් සංස්කෘතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද අපගේ ජීවිතවලට බද්ධ වී තිබෙනවා. කෙසේ නමුත් පසුගිය වසර කිහිපයේදී නියඟය සහ වගාවන්ට වැලඳුණු රෝග හේතුවෙන් පොල් සැපයුම පහත වැටුණා. එය බොහෝ දෙනකුගේ ජීවනෝපායටත් විශාල බලපෑමක් එල්ල කළා. එවන් පසුබිමක සාම්ප්‍රදායික පොල් වගා නොකරන ප්‍රදේශයන්හි ග්‍රාමීය පවුල්වලට උසස් තත්ත්වයේ පොල් පැළ වගා කිරීමට සහාය පිරිනමන මේ රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාවට සම්බන්ධ වීමට හැකි වීම අපට මහත් සතුටක්‘‘ යනුවෙන් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි මාධවී හේරත් මහත්මිය පැවසුවාය.

2016 වසරේදී නෙස්ලේ ලංකා සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව හඳුන්වා දුන් නෙස්ලේ පොල් වගා සැලසුමේ වර්තමාන ප්‍රතිලාභි ගොවීන් සංඛ්‍යාව 4,000කි. මේ පොල් සංවර්ධන වැඩසටහන යටතේ ඊට එක් වන්නන්ට නොමිලේ දෙමුහුන් පොල් පැළ දෙන අතර, තාක්ෂණික සහාය සහ විශේෂ පුහුණු හා සංවර්ධන වැඩසටහන් ආදියද ක්‍රියාත්මක වෙයි.

නව අදහස දක්වන්න