අය-වැයට පසු විපරමක් | දිනමිණ

අය-වැයට පසු විපරමක්

පොදු ජන පෙරමුණ රජයේ දෙවන අයවැය පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක් යනු රජයක ඉදිරි වසර සඳහා සකසන ආදායම් වියදම් ඇස්තමේන්තුවකි. වියදම් ප්‍රවාහයන් තුළ රජය ඉදිරි වසරක කාලයක් තුළදී සිදු කිරීමට නියමිත රජයේ වැටුප් හා දීමනා ගෙවීම්වලට අමතරව ඉදිරියේදී අමාත්‍යාංශ මට්ටමින් සිදු කිරීමට නියමිත ව්‍යාපෘතින් සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කරනු ලබයි. ඒ හා සම්බන්ධ සම්පූර්ණ වියදම් ඇස්තමේන්තුවක් වියදම් ශීර්ෂය යටතේ ඉදිරිපත් වේ. උදාහරණයක් ලෙස රජය මෙවර මහමාර්ග අමාත්‍යංශයට රු.බි. 280ක් වෙන් කර තිබේ. එසේම එම වියදම් පියවාගන්නේ කෙසේද? යන්න පිළිබඳවත් අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කෙරේ.

උදාහරණයක් ලෙස ගත හොත් මත්පැන් හා සිගරට් මත පනවන බදු මඟින් රු.බි. 33ක ආදායමක් අපේක්ෂා කරන බව පෙන්වාදෙයි. මෙහිදී රජය වියදම් පියවා ගැනීමට අපේක්ෂිත ආදායම් මාර්ග පෙන්වාදී තිබේ. ඒ අනුව මෙවර අයවැයෙහි මුළු රජයේ වියදම රු.බි. 3,912 ක් වන අතර, රජයේ ආදායම රු.බි. 2,284ක් පමණ වන බව ඇස්තමේන්තු කර තිබේ. 2022 මෙම අයවැයෙහි අයවැය හිඟය රු.බි.1,628 වේ. 2021 වර්ෂයේ අයවැය හිඟය රු.බි. 1,826 සිට 1628 දක්වා රු.බි. 198කින් අඩුකර ගෙන තිබේ. ඒ අනුව 2022 වර්ෂයේ අයවැය දළ දේශීය නිෂ්පාදිතයේ අගයක් ලෙස සියයට 11.1 සිට සියයට 8.8 දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. නමුත් මෙම අගය තවදුරටත් සියයට 5 මට්ටමකට ගෙන ආ යුතු බව පෙන්වාදිය යුතුය. එසේනම් අයවැය හිඟය පියවා ගන්නේ කෙසේද ? මුළු විදේශ ණය මඟින් එනම් රු.බි. 179ක් ද දේශීය මූලාශ්‍ර මඟින් රු.බි. 1,807කින් ද එය රැස් කිරීමට නියමිතය. මෙවැනි ආර්ථිකමය වශයෙන් අසීරු මොහොතක මෙය අභියෝගාත්මක කාර්යයක් වන බව කිව යුතුය.

අභියෝග හඳුනා ගැනීම

අයවැය තුළින් ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝග හඳුනා ගැනීමට උත්සාහ කර තිබේ. එයින් ගෝලීය පොදු අභියෝග, ජීවන වියදම් වැඩිවීමේ සැබෑ අභියෝග, යල් පැන ගිය ආර්ථික මෙවලම්, වෙළෙඳ ආර්ථිකයක් මත යැපීම තුළින් ඇති වූ බර, විදේශ විනිමය ඉපයීමේ අභියෝග, රාජ්‍ය ණය ප්‍රතිපත්තිය, විදේශ සංචිත කළමනාකරණය, අපනයන වර්ධන හැකියා ප්‍රමාණ ලෙස හඳුනා ගැනීම, ණය නොවන මාර්ගවලට ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, ආනයන ආදේශන පුළුල් කිරීමේ වැදගත්කම, විදේශ ආයෝජන දිරි ගැන්වීමේ ක්‍රමවේදයේ ඇති දුර්වලතා, පොදු සමාජ හා ආර්ථික ගැටලු, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම, ආර්ථිකයට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ආදී වශයෙන් ඉදිරියේදී ඇති ආර්ථික, සාමාජීය ගැටලු හඳුනාගෙන තිබේ.

රාජ්‍ය වියදම් කළමනාකරණය

රජය තවදුරටත් රජයේ වියදම් කළමනාකරණය කිරීමට උත්සාහ දරමින් පවතී. රජයේ ආයතන සඳහා වෙන් කර ඇති මුදල් භාවිතයේදී රාජ්‍ය ආයතනවලට වියදම් කිරීමට මුළු වර්ෂය සඳහා දෙනු ලබන බලය කාර්තුවෙන් කාර්තුවට නිකුත් කිරීම ඉදිරියේදී සිදු වෙයි. අමාත්‍යංශවලට වෙන්කරන ලද මුදල් හා ඒවායේ ප්‍රගතිය මනාව සමාලෝචනය කිරීම ඉතා වැදගත් වේ. පසුගිය වසරේදී අයවැය තුළින් යම් යම් අමාත්‍යාංශවලට ලබාදෙන ලද මූල්‍ය ප්‍රතිපාදන අනවශ්‍ය වියදම් සඳහා යෙදවීම, ව්‍යාපෘතින් ක්‍රියාත්මක නොවීම, මන්දගාමීව කටයුතු කිරීම මෙයින් වැළකෙන බව පෙනේ. ඒ අනුව වෙන් කරන ලද මුදල්වල ප්‍රගතිය කාර්තුවෙන් කාර්තුවට මුදල් අමාත්‍යංශය විසින් සමාලෝචනය කළ යුතුය. රාජ්‍ය ව්‍යවසාය තුළ පවතින යල් පැන ගිය ක්‍රමවේදයන් ඉවත් කොට ඒවා පුළුල් ව්‍යාපෘති නැඹුරුවක් සඳහා යොමුකිරීම සඳහා අයවැය තුළින් යෝජනා වී තිබේ. එසේ වැටුප් ගෙවීම්, නඩත්තු සඳහා යොදවන වියදම් ප්‍රාග්ධන ආධාර වශයෙන් ගෙන පෞද්ගලික සේවා සඳහා යෙදවීම මඟින් ආදායම් ඉපදවීමට උනන්දු කර තිබේ. ඒ අනුව රජයේ ආයතන නඩත්තුව සඳහා එම ආයතන මඟින්ම මුදල් ඉපයීමට උනන්දු කර තිබේ.

වියදම් සීමා කිරීම

බොහෝ අමාත්‍යාංශ, ආයතන නියමාකාරයෙන් ඉදිරි වර්ෂය සඳහා වියදම් ඇස්තමේන්තු නොකිරීමත්, අහම්බෙන් ඇති කරන (unplanned project) නිසා හෝ වියදම් තක්සේරුවල පවත්නා දැඩි අසමානතා නිසා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට සිදු වී තිබේ. මේ අනුව ඉදිරියේදී එම පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම වැළකී ගොස් තිබේ. රජයේ වියදම් සීමා කිරීමට ගත් දැඩි පියවරක් ලෙස මෙය දැකිය හැකිය. තවත් ලෙසකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වියදම් සීමා කිරීම සඳහා ඉන්ධන දීමනාව ලීටර් 05කින් අඩුකිරීම, රාජ්‍ය ආයතනවල දුරකතන වියදම සියයට 25කින් අඩුකිරීම, විදුලි බලය සඳහා යන වියදම් සීමා කිරීමට යෝජනා කිරීම යනාදියයි. මෙයට අමතරව මේ අවස්ථාවේදී ජනතාව බලාපොරොත්තු වන්නේ ඉහළ සිට පහළට වියදම් සීමා කිරීමේ ක්‍රමවේදයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යවරුන්ගේ වියදම් සීමා කොට රටේ ජනතාවට ආදර්ශයක් සැපයිය යුතු බැවින් හුදු මහජනතාවගේ අදහස වන්නේ ලීටර 5කින් ඉන්ධන දීමනා අඩුකිරීම මඟින් වියදම් සීමා වන්නේ නැත. ඒ සඳහා අඩුම තරමින් ඉන්ධන දීමනාව සියයට 25කින් වත් අඩුකළ යුතුය. ඉන්ධන වියදම් සඳහා උපරිම සීමාවක් පැනවීම, පෞද්ගලික දුරකථන වියදම් සීමා කිරීම, සියලු මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට දෙන සියලු දීමනා සියයට 20කින් කප්පාදු කිරීම, පාර්ලිමේන්තුව නඩත්තුව සඳහා යන සමස්ත වියදම් සියයට 30කින් කප්පාදු කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක කළ හොත් විශාල මුදලක් ඉතිරි වන්නා සේම රටට පුළුල් ආදර්ශයක් සපයනු ඇත.

මා කිහිපවිටක් ලිපි මඟින් පෙන්වා දුන් පරිදි රාජ්‍ය සේවකයාගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය සේවකයන් සඳහා (KPI) කාර්ය සාධන දර්ශකයක් හඳුන්වාදීම තවදුරටත් කල්මැරිය යුතු නොවේ. පොදු කාර්ය සාධකයකට වඩා රාජ්‍ය සේවයේ වෙනස් වන තනතුරු අනුව කාර්ය සාධන පත්‍රිකාවක් සකස් කළ යුතුය. අනෙක් අතට 2022-2024 මධ්‍යකාලීන අයවැය රාමුව සඳහා සංවර්ධන පරමාර්ථ, අරමුණු හා ඉලක්කගත වැඩසටහන්වල ප්‍රගතිය අධීක්ෂණය සඳහා ඒ හා බද්ධ ප්‍රතිඵල පාදක ඇගයීම් කළමනාකරණය ක්‍රමවේදයක් හඳුන්වාදීම ඉතා වැදගත් යෝජනාවකි.

ප්‍රතිසංවිධාන

රජයේ ආදායම් ශක්තිමත් කිරීම සඳහා තවදුරටත්, යල් පැන ගිය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත. ඒ අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉතා ඉක්මනින් ප්‍රතිසංවිධානය කළ යුතුය. ඉතා කාර්යක්ෂමව බදු එක්රැස් කිරීම, පරිපාලනය, කළමනාකරණය සඳහා යෝජනා කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් (RAMIS) ඉතා ඉක්මනින් ක්‍රියාවට නැංවිය හැකි මාර්ගයන් සොයා ගත යුතුය. ඉදිරියේදී මේ තුළින් ඉතා සාර්ථකව හා විනිවිදභාවයකින් විශාල ආදායම් බදු ප්‍රමාණයක් එක් රැස් කළ හැකිය.

නිෂ්පාදන ආර්ථිකයක්

රජය සේවා ආර්ථිකයේ ඵලදායීතාව උපරිම අයුරින් භාවිත කරමින් නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී තිබේ. ඒ අනුව රට තුළ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකරමින් වැඩියෙන් විශේෂයෙන් තරුණ කොටස් ව්‍යාපාර සඳහා යොමු කිරීමට දිරිගන්වා තිබේ. තවද ආයෝජන මණ්ඩලය, විනිමය කළමනාකරණ දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවල ක්‍රියාකාරීත්වය තවදුරටත් නිවැරදි විය යුතු බව රජය හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. දේශීය එළවළු නිෂ්පාදන, දේශීය ඖෂධ නිෂ්පාදනය දිරි ගැන්වීම, ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීය නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය ඉහළ දැමීම හා නව වෙළෙඳපළ සොයාගැනීම මඟින් විදේශ විනිමය ඉලක්කයන් කරා ගමන් කළ හැකිය.

නිෂ්පාදන වියදම් අඩු කිරීම

නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වැදගත් වන මූලික හරය වන්නේ නිෂ්පාදන වියදම අඩු කරගැනීමයි. නිෂ්පාදනය සඳහා වන ප්‍රධාන වියදම් වන්නේ යෙදවුම් මිල, ප්‍රවාහන ගාස්තු, වැටුප්, විදුලිබලය, තාක්ෂණය යනාදියයි. මෙහිදී ආයෝජකයන්ට තම නිෂ්පාදන වියදම අවම කරගැනීම සඳහා රජයට පහසුකම් සැපයිය හැකි ක්‍රම කිහිපයක් පවතී. රටේ මාර්ග පද්ධතිය දියුණු කිරීම මඟින් ප්‍රවාහන වියදම් අඩු කිරීම හා ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම, පිරිවැය අඩු විදුලිය සඳහා පහසුකම් සැපයීම, අන්තර්ජාල තාක්ෂණය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. මෙම නිසා නිෂ්පාදන වියදම අඩුකොට තම නිෂ්පාදන ලෝක වෙළෙඳපොළේ තරග කළ හැකි පරිදි හොඳ මිලක් නිර්මාණය කර ගත හැකිය.

ඒ සඳහා රජය මෙම අයවැය තුළින් පහසුකම් සපයා ඇති බව පෙනේ. එනම් අධිවේගී මාර්ග පද්ධතිය හා ග්‍රාමීය මාර්ග පද්ධතිය පුළුල් කිරීම සඳහා රු.මි. 270ක් වෙන් කර තිබේ. එය මුළු අයවැය වියදමින් සියයට 30කට අධික ප්‍රමාණයකි. පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා වෙන්කර ඇති රු.මි. 190ට අමතර වශයෙන් තවත් රු.මි. 500ක් වෙන් කර තිබේ. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය සඳහා වෙන්කර ඇති රු.මි. 3500ට අමතර වශයෙන් රු.මි. 500ක් වෙන් කිරීම මතින් රාජ්‍ය සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම අපේක්ෂා වී තිබේ. මේ තුළින් ඉදිරියේදී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීම උදෙසා යම් උත්තේජනයක් අපේක්ෂා කරයි.

ජාතික ආර්ථික සංවර්ධනය

මෙම අයවැය තුළ ක්ෂේත්‍ර 10ක් ආවරණය වන පරිදි ජාතික සංවර්ධන වැඩසටහන් පෙළගස්වා තිබේ. මෙම ක්ෂේත්‍රයන් 10 සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රය, වසවිසෙන් තොර වල්නාශක ක්‍රම දිරි ගැන්වීම, කාබනික පොහොර භාවිතය දිරිගැන්වීම, නව කෘෂි තාක්ෂණය හඳුන්වාදීම, වැවිලි ක්ෂේත්‍රය, ධීවර හා ජලජ ජීවීන් ක්ෂේත්‍රය, පශු සම්පත් ක්ෂේත්‍රය, පාරම්පරික ගෘහ කර්මාන්ත, අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂ කර්මාන්ත, නව නිෂ්පාදන ආයෝජන කලාප, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කලාප, මූලික යටිතල පහසුකම් සංවර්ධනය, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීම, නිවාස හා නාගරික සංවර්ධනය, ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යන ක්ෂේත්‍රවල කඩිනම් පුළුල් සංවර්ධනයක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා දී කඩිනම් සංවර්ධනයක් අපේක්ෂා කරයි.

ජනතා සහන

මෙම අයවැය තුළින් ජනතාව සුපුරුදු ලෙස බඩු මිල අඩු වේ යැයි අපේක්ෂා කළ ද බඩු මිල අඩු කළ නොහැකි වී තිබේ. භාණ්ඩවල බදු අඩුකිරීම මඟින් බඩු මිල අඩු වෙතැයි අපේක්ෂා කළ ද රජයට මේ අවස්ථාවේදී බදු සහන දිය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ලෝකයේ බොහෝ රටවල භාණ්ඩ මිල වැඩි වෙමින් පවතී. කෙසේ වෙතත් අයවැය තුළින් තෝරා ගත් ක්ෂේත්‍රයන් සඳහා සහනයන් දීමට උත්සාහ කර තිබේ. ඒ අනුව රට වසා දැමූ කාලය තුළදී ආදායම් අහිමි වූ පාසල් වෑන් රථ හිමියන්ට සහන සැලසීම සඳහා රු.මි. 400ක් ද රට වසා දැමූ කාලය තුළදී ආදායම් අහිමි වූ ත්‍රි රෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රු.මි.600ක් ද රට වසා දැමූ කාලය තුළ දී ආදායම් අහිමි වූ විශේෂ ක්ෂේත්‍ර සඳහා (උත්සව සේවා සපයන අංශයන්/ මෙවලම් සම්පාදකයන්) සහන සැලසීම සඳහා රු.මි.500ක් වෙන් කර තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කිරීම සඳහා වෙන් කර ඇති රු.බි. 32ට අමතරව තවත් රු.මි. 500ක් වෙන් කර තිබේ. මගී ප්‍රවාහනය දියුණු කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා රු.මි. 2000ක් වෙන්කර තිබේ. මෙහිදී තවත් විශේෂ යෝජනා දෙකක් දැකිය හැකිය. එනම් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවකයන් සඳහා යතුරුපැදි ලබාදීම සඳහා රු.මි. 500ක් වෙන්කර ඇති අතර, උපාධිධාරීන් 53, 000ක් ස්ථිර කිරීම සඳහා ඔවුන්ට වැටුප් ගෙවීම වෙනුවෙන් රු.බි. 27ක් වැය වන බව ගණන් බලා තිබේ.

විවේචන හා යෝජනා

මෙම අයවැයෙන් රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්විය යුතු වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර තිබේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් සමාජය තුළ විවේචන ඉදිරිපත් වෙමින් පවතී. සෑම රාජ්‍ය සේවකයකුම අවුරුදු 65 දක්වා සේවයේ යෙදී සිටීම ප්‍රායෝගික නොවන බව පෙනේ. මෙය සිදු විය යුත්තේ තෝරාගත් ක්ෂේත්‍ර සඳහා සීමා වීම ඉතා වැදගත් වේ. අනෙක් අතට යම්කිසි රාජ්‍ය සේවකයකු තමන්ට අවුරුදු 60 දී විශ්‍රාම යා යුතු යැයි සිතන්නේ නම්, ඒ සඳහා ඉඩකඩ සැලසීම හා තමන් අවුරුදු 65 දක්වා සේවයට කැමති නම් එය ලිඛිතව දක්වා අවශ්‍ය නම් අනුමැතියකින් පසු ඒ සඳහා ඉඩකඩ සැලසීම ඉතා වැදගත් වේ.

තවත් විරෝධතාවක් වන්නේ කාබනික පොහොර භාවිතය නිසා අස්වැන්න අඩු වන විට ඒ සඳහා වන්දි දීමට ප්‍රතිපාදන වෙන් කර නොමැති බවයි. කාබනික පොහොර අර්බුදය ඉතා කඩිනමින් විසඳා ගත යුතුය. තවත් ලෙසකින් විදෙස් ආයෝජන දිරිමත් කිරීමටත්, විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීමටත් අවශ්‍ය පහසුකම් අයවැය තුළ සඳහන් වී නොමැති බවයි. සාමාන්‍යයෙන් විදෙස් ආයෝජන දිරි ගැන්වීමට අයවැය තුළින් බදු සහන ලබා දීම සිදු වන දෙයකි. නමුත් අලුතින් බදු සහන දීමට අවශ්‍ය නොවන බවත්, විදෙස් ආයෝජනයන් ආකර්ෂණය සඳහා ප්‍රමාණවත් පහසුකම් දැනටමත් පවතින බවත් බොහෝ පිරිස් නොදන්නා කරුණකි. 

අලුත් මාවත්

මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි අපට තවදුරටත් යල්පැනගිය ආර්ථික මෙවලම් හා ක්‍රියාකාරකම් මඟින් තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකිය. අප ඉදිරියට යෑමට අලුත් මාවත් සොයා ගත යුතුය. විශේෂයෙන් රාජ්‍ය අංශය තුළින් සපයනු ලබන සේවාවන් සාර්ථකව පවත්වා ගැනීමත් ඒවායේ ඵලදායිතාව ඉහළ නැංවීමත් සිදු කරමින් පෞද්ගලික අංශය පුළුල් කිරීම හා පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ නැංවීමට රජය පහසුකම් සැපයීම ඉතා වැදගත් සාධකයකි. තවදුරටත් යල් පැන ගිය ආයෝජන මණ්ඩලයකින් එම කාර්යය සිදු කළ නොහැකිය. ආයෝජන මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඍජුවම මැදිහත් විය යුතුය.

තවදුරටත් ආයෝජකයන් මාස ගණනාවක් රස්තියාදු කළ නොහැකිය. ආයෝජනයේ ප්‍රමාණය නොව එහි වැදගත්කම පිළිබඳ එම නිලධාරින්ට දැනුමක් නැත. කෙසේ හෝ ඉදිරි වසර ලංකාවේ ආර්ථිකයට අභියෝගාත්මක කාලයකි. රට ගොඩනැංවීමට මෙයට වඩා ජනතාව රජයට සහය දැක්විය යුතුය. ඉදිරියේදී තෙල් හිඟ විය හැකිය. ගෑස් හිඟ විය හැකිය. කිරිපිටි හිඟ විය හැකිය. ලෝක යථාර්ථය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. පොදුවේ ලෝකයේ රටවල් මුහුණ දී ඇති ආර්ථික කඩා වැටීම් වටහා ගත යුතුය. රජය කළ යුතු වන්නේ ප්‍රායෝගික නොවන ගැසට් ගැසීම නවතා කාබනික පොහොර ජවනිකාවලින් ඉවත් වී සැබෑ අර්බුදවලට පිළිතුරු සෙවීමයි. ප්‍රායෝගිකව කටයුතු කරන රජයක වගකීම දැන්වත් වටහා ගත යුතුය.

නව අදහස දක්වන්න