සියනෑපුර අභිමානය ශාන්ත මරියා විදුහල | දිනමිණ

සියනෑපුර අභිමානය ශාන්ත මරියා විදුහල

ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ දූ දරුවන්ගේ නැණස පාදන පාසල් අතරින් වේයන්ගොඩ ශාන්ත මරියා පාසලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. මෙම විදු මෑණියන්ගෙන් සිදුවූ අමිල සේවය සියවසකටත් වඩා විසිර පැතිර පවතින අතර, එයිනුත් පසුගිය වසර 6ක කාලය පාසලේ ස්වර්ණමය යුගය ලෙස අභිමානයෙන් යුතුව පැවසිය හැකිය.‍

එම අභිමානවත් ගමනේ පෙරගමන්කරුවා ලෙස කටයුතු කරනු ලබන්නේ වර්තමාන විදුහල්පති බී. ඩී. අයි. කේ. කරුණාරත්න මහතා බව පවසන්නේ ඉමහත් සතුටිනි. එතුමා‍ෙග් අප්‍රතිහත ධෛර්යය හා මනා කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් විදුහල් මාතාව ලද ජයග්‍රහණ බොහෝය. එම ජයග්‍රහණය අධ්‍යාපනික හා භෞතික යන දෙඅංශයෙන් ලද ජයග්‍රහණයන් වන අතර, මේ සඳහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගෙන් හා ගුරු මණ්ඩලයෙන් ලද සහාය පැසසිය යුතුය.

ඊට ආසන්නතම උදාහරණය වශයෙන් වසර 70කට පමණ පෙර දානපති ඔබේසේකර පරම්පරාව විසින් අනාගත දරු පරප‍ුරේ උන්නතිය උදෙසා පරිත්‍යාග කරන ලද අක්කර තුනහමාරක පමණ ඉඩම දැක්විය හැකිය. එය වෙනත් පාර්ශ්වයක් විසින් වර්තමානය තෙක් භුක්ති විඳිමින් තිබූ අතර, එය නැවත නිත්‍යානුකූල අන්දමින් විද්‍යාලයට පවරා ගැනීමට හැකිවීම මෙම විදුහ‍ෙලහි දරු දැරියන් මෙන්ම විදුහල්පතිතුමා ද ලද ආසන්නතම ජයග්‍රහණයක් වන අතර, මෙය අධ්‍යාපන අමාත්‍යාංශය ලද විශාල වටිනාකමින් යුත් සම්පතක් ලෙස ද සැලකිය හැකිය.

අතිශය ජනාකීර්ණ පරිසරයක පිහිටි මෙම වටිනා භූමිභාගය පාසලට පවරා ගැනීමේ කාර්යභාරයේදී විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතිය අනගි සහයෝගයක් දෙන ලදී. මෙය පාසලේ වර්තමානයේ ඉගෙනුම ලබන දරු දැරියන් සහ අනාගතයේදී මෙම පාසලේ ඉගෙනුම ලැබීමට අපේක්ෂිත දරු දැරියන් වෙනුවෙන් කරනු ලබන අනාගත ආයෝජනයකි. මෙම භූමි භාගයෙහි විද්‍යාලයේ ප්‍රාථමික අංශය, පැසි පන්දු, අත්පන්දු ක්‍රීඩා පිටි, පිහිනුම් තටාකය, ප්‍රධාන රැස්වීම් ශාලාව, කඩ කාමර, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන පංති කාමර වැනි දෑද ගොඩනැගීමට නියමිතය.

මීට අමතරව විදුහලේ විදුහල්පතිතුමාගේ මඟපෙන්වීම යටතේ විද්‍යාලයට ලැබුණු පරිත්‍යාගශීලින්ගේ ආධාර උපකාර, භෞතික සම්පත් ප්‍රමාණයෙහි වටිනාකම ගණනය කළ නොහැකි අතර, මේ වකවානුවේ ජපන් ආධාර මත ඉදිකරමින් පවතින තෙමහල් ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය, පරිගණකාගාරය, පුස්තකාලය සහ කාය වර්ධන මධ්‍යස්ථානය ඒ අතරින් ප්‍රධාන වේ. ඊට අමතරව අ.පො.ස. උ.පෙළ විද්‍යා ගණිත ගොඩනැගිල්ල, සෞන්දර්ය අධ්‍යාපනය සඳහා දෙමහල් ගොඩනැගිල්ල, විද්‍යාගාර සංකීර්ණය, Smart Class Room 24ක් සකස් කිරීම, 6,7,8 ශ්‍රේණි සඳහා නව විද්‍යාගාරයක් ඉදිකිරීම. 1 - 5 වසර සඳහා පුස්තකාලය හා පරිගණක ඒකකය, අංග සම්පූර්ණ බුද්ධ මන්දිරයක් නිර්මාණය කිරීම, පාසල වටා තාප්පය ඉදිකිරීම, ක්‍රීඩා පිටිය සකස් කිරීම මේ දක්වා ඉටුකළ කාර්යයන් ස්වල්පයකි.

මෙයට සමගාමීව අධ්‍යාපන, ක්‍රීඩා, සෞන්දර්ය හා බාහිර ක්‍රියාකාරකම්වලින් ද විද්‍යාලයීය දූ දරුවන් ජයග්‍රහණ ලබා ඇත. මෙලෙස ලක්මෑණියන්ගේ කිතු ගොස ලෝකය හමුවට රැගෙන යන්නට සමත් දැනුම, ආකල්ප හා බුද්ධිය සහිත ‘උපන් බිමට ණය නැති’ දරු පිරිසක් බිහිකිරීමට මහා පහන් ටැඹක් සේ නිවැරදිව මඟපෙන්වන වේයන්ගොඩ ශාන්ත මරියා විදු මවුනි ඔබට චිරං ජයතු!

නුවන් සමීර අමරසිංහ 
ඉදිකරමින් පවතින තෙමහල් ගොඩනැඟිල්ල

නව අදහස දක්වන්න