රටට සංවර්ධනය අකැපද? | දිනමිණ

රටට සංවර්ධනය අකැපද?

ඉන්දික පොල්කො­ටුව

රට ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්න වෙලාවේ සංවර්ධනය කන්ට දැයි විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පසුගියදා ආණ්ඩුවට චෝදනා එල්ල කළේ ගැලරිය පිනවමිනි. ගොඩක් අය එහෙම කතාවලට හරි කැමතියි. අවුරුදු හැත්තෑ තුනක් පුරාවට අපේ රටේ දේශපාලනය විසින් ජන මනස හදල තියන අපූරුව ඒකයි. මිනිස්සු හුරු වෙලා ඉන්නේ කාල බීල ඇඳලා ඉන්න විතරයි.ඒක හින්දයි හැම අයවැයක් එනකම්ම දත කට මැදගෙන ඉන්නේ පරිප්පු කීයකින් අඩු වුණාද සීනි ,තේ කොළ, හාල් ටික කීයකින් අඩු වුණාද කියලා බලාගන්න එහෙමත් නැත්නම් පඩිය කියකින් වැඩි වුණාද කියා දැනගන්න. ඒ අය අයවැයක් එනකම් බලාගෙන ඉන්නවා. කවුරුත් රටට ගෙනෙන සංවර්ධන යෝජනා ගැන බලාගෙන ඉන්න, ඇහුම්කන් දෙන්න උවමනාවක් නෑ. හැබැයි ඒ අය දන්නේ නෑ කාල ඇඳලා ජීවත්වෙන්න රට සංවර්ධනය වෙලා රටේ යටිතල පහසුකම් ටික තියෙන්න ඕනෑ කියන එක. සංවර්ධනය කන්ට දැයි කියූ විපක්ෂයට කනේ පහරක් එල්ල කරමින් නව කැලණි ගුවන් පාලම පෙරේදා සවස විවෘත කළා. කොවිඩ් කියා එක සංවර්ධන වැඩක්වත් අතහරින්න එපා කියලා ජනාධිපතිවරයා උපදෙස් දුන්නා කියලා ඇමති ජොන්ස්ටන් පුනාන්දු මෙතනදි කීවා.මොන බාධක ආවත් රටක් සංවර්ධනය වෙන්න ඕනෑ.එහෙම නැත්නම් රටේ අර්බුද නැත්නම් ලෝක අර්බුද ඉවර උනාට පස්සේ මිනිස්සුන්ට ජීවත් වෙන්නේ කාන්තාර වල නැත්තන් පාළු අම්බලම් වගේ තැන්වලයි.නව කැලණි පාලම අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ ලංකාවේ පළවෙනි පාලම ලෙසයි කියවෙන්නේ.එක පැත්තකින් මේවා අපට අලුත් වුනාට ලෝකයේ ගොඩක් රටවල් වලට මේවා ගොඩක් පරණ දේවල්. අධිවේගී මාර්ග ගුවන් පාලම් ඉදි කරන කොටත් අපි කීවේ ඕකමයි.

1953න් පස්සේ දැවැන්තම ගෝලීය අර්බුදයකට අද අප මුහුණ දී ඉන්නවා. මිනිස්සුන්ට කන්න අඳින්න නැතුව ඉද්දි මොකද මේ සංවර්ධනය කරන්නේ ?කොහොමද මේ සංවර්ධනය කරන්නේ ? ඒක ඇත්තටම ගොඩක් අයට ප්‍රශ්නයක්. ඒක අද අපට ප්‍රශ්නයක්. ඒත් අප එහෙම නොකෙරුවුත් තව අවුරුදු දහයකින් පහළොවකින් ඒක මුළු රටටම ප්‍රශ්නයක්.ප්‍රශ්න ඉවර වෙන දවසක් එනතුරා අපි බලා හිටියොත් කවුරු කවුරුත් පරාදයි. 48න් පස්සේ ගොඩක් ආණ්ඩු රටට සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. මහවැලිය කියන්නේ අදත් එහෙම කතා කරන දැවැන්ත ව්‍යාපෘතියක්. කඩිනම් මහවැලිය ගෙනාපු ගාමිණි දිසානායක ගැන අදත් මිනිස්සු කතා කරන්නේ ඒකයි. සංවර්ධන ව්‍යාපෘති ගේනකොට ඒවට වැඩියෙන්ම විරුද්ධ වෙන්නේ විපක්ෂයේ උදවියයි ඉතිහාසය පුරා හිටපු හැම විපක්ෂයක්ම මේක සම්ප්‍රදායක් කරගත්තා. ඒ හැම විපක්ෂයක්ම හිතුවේ ඊළඟට ආණ්ඩු ගන්න තුරුම්පු ගහනවා මිසක් මිනිසුන්ගේ පැත්තෙන් නෙවේ. සමහර ආණ්ඩු එක එක දේශපාලන උවමනාවන් වෙනුවෙන් එක එක සංවර්ධන ව්‍යාපෘති ගේන්න ඇති. ඒත් ඒ එකක්වත් ඒ අය මිය ගිය දාට ගෙනියන්න ගෙනාපු සංවර්ධන ව්‍යාපෘති නෙවෙයි.පල ඇති රුකට ගල් ගහනවා වගේ වැඩ කරපු මිනිසුන්ට මඩ වදිනවා වැඩියි. මහවැලිය ගෙනාපු ගාමිණී දිසානායක ගේ ඉඳලා ගොඩක් අයට ඒ මඩ වැදුණා.මහින්ද රාජපක්ෂ යුගය කියන්නේ එක යුගයක් නෙමේ යුග දෙකක්. එකක් යුද්ධය ඉවර කරපු යුගය. අනෙක් යුගය යුද්ධයෙන් පසු සංවර්ධනය ගෙනාපු යුගය.ඒක හින්දා මහින්ද මහත්තයා දෙපැත්තකින් ඉතිහාසගත වෙනවා. මහින්ද මහත්තයාගේ කාලයේ යුද්ධය ඉවර කරාට පස්සේ ගොඩක් අය කීවේ ඔහු සදාකාලික රටේ නායකයා කියලයි. හැබැයි ඊලග ධූර කාලයේ අවුරුද්දකටත් කලින් මහින්ද මහත්තයා ගෙදර ගියා. ඒක හින්දා කොයි කොයි ආණ්ඩු සංවර්ධන වැඩ ගෙනාවත් අවුරුදු ගාණකට පස්සේ ඒකෙ වාසිය වෙන්නේ එදා හිටපු විපක්ෂයටයි. ඒ විපක්ෂය ආණ්ඩුවට ආවහම කරන්න තියෙන වැඩ ඒක හින්දා ගොඩක් අඩුයි. තව අවුරුදු ගානකින් බලයට එන්න බලාගෙන ඉන්න විපක්ෂය මේ වෙලාවේ ආණ්ඩුවේ සංවර්ධන වැඩ වලට උදව් කරන්න ඕනෑ. එදා ගාමිණී දිසානායක මහත්තයා කඩිනම් මහවැලිය ගෙනාවේ නැත්නම් අදත් ගොඩක් අයට දේශපාලනය කරන්න වෙන්නේ කුප්පි ලාම්පුවෙන්. මහින්ද මහත්තයා අධිවේගී මාර්ග හදලා මේ පාරවල් ටික කාපට් කෙරේ නැත්තනන් දහ අට වංගුව වගේ පැතිවලින් අපේ අයට දේශපාලනය කරන්න පැයෙන් යන්න ඕනෑ තැනට දවසක් කාල⁣ය ගත කරලයි කන්න වෙන්නේ.ඒක හින්දා මේවා කොයි විපක්ෂයත් තේරුම්ගන්න ඕනෑ.අදත් ඉන්දියාවේ මිලියනකට වැඩි ජනතාවකට වැසිකිළි නෑ.මිනිස්සු පාරවල්වල හිඟා කනවා. ගොඩක් පැතිවල අයට ඉන්න හිටින්න ගෙවල් දොරවල් නෑ.

සැඩ පහරකට හසුවෙලා ගසාගෙන යනකම් හිටියොත් ඒක කොයි කවුරුත් රටේ උපන් නූපන් පරපුරටම කරන ද්‍රෝහිකමකි.එහෙම පිහිනන වෙලාවේ ඒකට දෙන්න පුළුවන් හැම හයියක්ම දීලා රටත් රටේ මිනිස්සු ටිකත් ගොඩ දාගත්තොත් ඒක අද ආණ්ඩු කරන අයට වැඩිය වටින්නේ අනාගතයට ආණ්ඩු කරන අයටයි.

නව අදහස දක්වන්න