චිරං ජයතු මහ නාහිමි | දිනමිණ

චිරං ජයතු මහ නාහිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අභිධාන ස්වාමීන් වහන්සේගේ 73 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

තිලෝගුරු අප අමාමහ බුදුරදුන් ජීවමානව වැඩ සිටින්නාක් බඳු සෙංකඩගල ශ්‍රී දළදා මාළිගය පෙනෙන මානයෙත්, උන්වහන්සේ‍ උදෙසා කරනු ලබන උත්තම තේවාවේ මියුරු හඬ ඇසෙන මානයෙත් පිහිටි ඓතිහාසික මල්වතු මහා විහාර පරිශ්‍රවයේ වැඩ හිදිමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට තරම් වාසනාවන්ත වූ සංඝ පීතෘ වහන්සේ නමක් වන දේශ දේශන්තර මහත් වූ කීර්තියටත් ගෞරවාදරයටත් පාත්‍ර වූ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අභිධාන ස්වාමීන් වහන්සේගේ 73 වැනි ජන්ම දිනය (26) අදට යෙදී තිබේ.

කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ මොලගොඩ ග්‍රාමයේ විසූ දන්පතින් යුවලක් වන හේරත් රාජකරුණා මුදියන්සේලාගේ කුඩා බණ්ඩා නියංගොඩ විදුහල්පතිතුමන්ට හා රාජකරුණා අතපත්තු වාසල මුදියන්සේලාගේ බිසෝ මැණිකේ ගුරු මෑණියන්ට දාව පවුලේ කනිටු දරුවා වශයෙන් 1948 වර්ෂයේ නොවැම්බර් මස 26 වෙනි දින මොලොව එළිය දුටු පිංවත් කුමරුවන් කුඩා කල සිටම ක්‍රියාශීලී, කඩිසර මෙන්ම අධ්‍යාපනයට දැක් වූ දක්ෂතාත්, තම ගම් පියස වූ නියංගොඩ ග්‍රාමයේ පන්සල සමඟ ඉතාම කිට්ටු සබඳතා පවත්වමින් කුඩා සාමණේර වහන්සේලාගේ ඇසුරින් ලැබුණු ධර්මාවබෝධයත්, මොලගොඩ පියදස්සි විදුහලින් සහ මාතලේ විජය විදුහලින් ලත් සිප්සතරත්, උපතින්ම උරුම වූ පින්බලයේ මහිමයත් පෙරදැරිව සොළොස්වෙනි වියේදී එනම් 1964 මැයි මස 24 වන දින විනයාචාර්ය පූජ්‍ය බඹරදෙණියේ මේධානන්දාභිධාන නා හිමියන් යටතේ සාරසිය පත්තුවේ නියංගොඩ පුරාණ විහාරයේදී උතුම් වූ පැවිදි දිවියට පිවිසුණු සේක.

මෙසේ ගිහි ජීවිතයට සමු දුන් උන්වහන්සේ ඉතා කෙටි කලක් තුල උතුම් පැවිදි භික්ෂුවකට අවශ්‍ය ගුණාංග සහ වත්පිළිවෙත්වලට හුරුවීම, උගතමනා බණ දහම් හැදෑරීම හා සජ්ඣායනය ආදි කටයුතු ප්‍රගුණ කළ සේක. නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරිවෙණ සහ රත්මලේ රත්නසේල පිරිවෙණ යන පිරිවෙණ්වලින් ලත් වැඩිදුර අධ්‍යාපනයත්, අතිපූජ්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි සහ බමුණු ගෙදර ශ්‍රී සීලානන්ද නාහිමි යන කීර්තිමත් පඬිහිමිවරුන්ගේ මාර්ගෝපදේශකත්වයත්, අවවාද හා ආශිර්වාද තුළින් ද අප යථිවරයාණන් වහන්සේගේ පැවිදි දිවියට මහත් වූ ආලෝකයක් එක් විය. ශාසනික සම්ප්‍රදානුකූල වූ ප්‍රාචීන භාෂා ශාස්ත්‍රය සාර්ථකව නිම කිරීමත් සමඟම සරසවි වරම් හිමි කර ගන්නා අප නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ 1968 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1974 වර්ෂය වන විට තම ගෞරව උපාධිය සාර්ථක ලෙස නිම ක‍ළ සේක.

ඉන් අනතුරුව ගුරු වෘත්තියට ප්‍රවිශ්ඨ වන අප කථානායකයන් වහන්සේ තමන් උගත් දැනුම් සම්භාරය හා අත්දැකීම් තම ගෝල ගිහි පැවිදි දෙපාර්ශවයටම බෙදා දෙනු ලබන්නේ මහත් වූ අභිමානයෙනි. හොරණ කුඩා උඩුව ශ්‍රී නාලන්දා පිරිවෙණ, කොළඹ හුණුපිටිය ශ්‍රී ඥානේස්වර පිරිවෙණ, ගිණිගත්හේන මහා විද්‍යාලය, ගිරාගම මහ විද්‍යාලය, පරණගම මහ විද්‍යාලය, මහවැලි මහ විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය යන විද්‍යාල හා පිරිවෙණ්වල සේවය කරමින් දහස් සංඛ්‍යාත සිසු දරු දැරියන්ගේ සහ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උන්වහන්සේ මහඟු සේවාවක් ‍කළ සේක. මිට අමතරව ඉන්දියාව, නේපාලය, ජපානය, චීනය, බුරුමය, තායිලන්තය, සිංගප්පූරුව, එංගලන්තය සහ කොරියාව වැනි රටවල් සමඟ ශ්‍රී ලංකාිවේ බෞද්ධ සම්බන්ධතාවය වඩාත් තහවුරු කිරීම වස් සිදු කළ ධර්මදූත මෙහෙවර ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව වශයෙන් අප බෙහෙවින් අගය කළ යුතුය. ජාත්‍යන්තර මට්ටමේ බෞද්ධ සමුළු ගණනාවකටම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ උන්වහන්සේ බොහෝසෙයින් විශ්ව බෞද්ධ ප්‍රජාව අතර ද ගෞරවපාත්‍රයට පත් වුණු සේක. කොරියාවේ ඩේගෙන්සා බෞද්ධ අධ්‍යාපන ආයතනයෙන් බෞද්ධ සාහිත්‍ය පිළිබඳ ආචාර්ය උපාධිය ද බුරුම රජය විසින් පිරිනමන ලද 'මහා සද්ධම්ම ජෝතිකධජ' ගෞරව නාමය ද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විසින් පිරිනමන ලද සාහිත්‍ය චක්‍රවර්තී සම්මාන උපාධිය ද ආදියෙන් උන්වහන්සේ පිදුම් ලබන්නේ බෞද්ධ දර්ශනය මුල් කර ගෙන කරනු ලැබූ ජාතික හා ජාත්‍යන්තර ශාසනික සේවාවන්ට ගෞරව කිරීමක් වශයෙනි.

මේ ආදී වශයෙන් ශාසනයටත්, සමාජයටත් ශ්‍රී ලාංකීය බෞද්ධ ප්‍රජාවට සහ ලෝකවාසි බෞද්ධ ජනතාවට උන්වහන්සේගේ අතින් සිදු වූ අමිල මෙහෙවර මෙසේ ලියා නිම කළ හැක්කක් නොවේ. තම විශ්‍රාම වයසට එළඹීමට පෙරදීම උන්වහන්සේ විශ්‍රාම ගැනීමට තීරණය කරනු ලබන්නේ ද තමන් වහන්සේගෙන් ශාසනයට සුදු විය යුතු යුතුකම් හා වගකීම් ඉටු කිරීමේ උදාරතර අදහසිනි. දක්ෂ චතුර කථිකත්වය, විවිධ විෂයන්ට අදාළ කරුණු කෙරෙහි දක්වන විශ්ලේෂනාත්මක ගුණය, සන්සුන් මනසින් නිවැරදි තීරණවලට එළඹීම, ආමන්ත්‍රණයේදී පුද්ගලයන්ගේ පදවි තානාන්තර ආදිය සියල්ල කිසිම අඩුවක් නැතිව මතකයේ රඳවා ගැනීම, නිතරම හරබර වචන ආමන්ත්‍රණය කිරීම, සෑම විෂය පථයකටම අනුකූලව ඇති දැනුම් සම්භාරය මා උන්වහන්සේගේ චරිතයේ දකින සුවිශේෂී ගුණාංග වේ.

මා මධ්‍යම පළාත් ආණ්ඩුකාරධුරය හොබවන අවස්ථාවටත් ප්‍රථම මෙන්ම අදටත් ඉතාම කුළුපග ඇසුරක් පවත්වන උන්වහන්සේගෙන් රාජකාරී කටයුතුවලදී මෙන්ම පෞද්ගලික කටයුතුවලදී ද මා හට ලැබෙන්නේ නොමඳ සහයකි. 2001දී මා දේශපාලන පලිගැනීම්වලට ලක් වු අවස්ථාවේදී උන්වහන්සේ මා වෙනුවෙන් පෙනී සිටි ආකාරය වසර 20කට පසු මතක් කරනුයේ ඉමහත් ගෞරවණීය කෘතඥතාවයෙනි. විශේෂයෙන්ම මා මධ්‍යම පළාත් ආණ්ඩුකාරධුරය දරන අවස්ථාවේදී මා හට ලබා දුන් උපදෙස් හා අනුශාසනාවන්ගෙන් මා ලද දැනුම් සම්භාරය අදටත් කුමන හෝ ගැටලුසහගත අවස්ථාවකදී නිතැතින්ම ආවර්ජනය වනුයේ දක්ෂ ගුරුවරයකු කියා දුන් රසවත් පාඩමක කොටක් ලෙසයි. සෑම පොහොය දිනකදීම මෙන්ම මා හට හැකි සෑම අවස්ථාවකදීම දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමට පැමිණෙන අවස්ථාවේදී ඔබවහන්සේ බැහැදැක දුක් සැප විමසා ආශිර්වාද ලබා ගැනීම මාගේ ජීවන චර්යාවේ කොටසක් වී ඇත්තේ මේ භවයේ මෙන්ම පෙර භවවලදී ද ඇති වූ ආත්මීය බැඳීම්වල ප්‍රථිපලයක් යැයි මා හට සිතේ. මේ අයුරින් අර්ථයෙන් හා ධර්මයෙන් පාලක පාලන දෙපාර්ශවයටම අනුශාසනා කරමින් ලෝකාර්ථචර්යාවේ නිරත වන අද දින 73 වන ජන්ම දිනය සමරන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අභිධාන ස්වාමීන් වහන්සේ‍ට නිදුන් නිරෝගී සුබ ජන්ම දිනයක් වේවායි දිගාසිරි පතමි.

ටිකිරි කොබ්බෑකඩුව ආණ්ඩුකාරවර 
සබරගමුව පළාත

නව අදහස දක්වන්න