දෙවසරක සබරගමු මෙහෙවර... | දිනමිණ

දෙවසරක සබරගමු මෙහෙවර...

සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ දෙවර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය වෙනුවෙනි.

පින්බර සෙංකඩගල පුරවරයේ සිට ඉසුරුමත් සබරගමුව කරා සපැමිණ පොදු ජනයාගේ යහපත උදෙසා නිරන්තරයෙන් කැපවන සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ ජනතා මෙහෙවරට ඊයේ දිනට (25) වර්ෂ දෙකක් සපිරිණි.

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් තමා කෙරෙහි තැබූ විශ්වාසය අබමල් රේණුවක ප්‍රමාණයකින්වත් කඩ නොකළ අප ආණ්ඩුකාරතුමා එදා ජනපතිඳුන් විසින් එළි දැක්වූ රට හදන සෞභාග්‍යයේ දැක්ම දස වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාව අනුව යමින් තමාටම ආවේණික ක්‍රමවේදයකට අනුව දැනට ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨතටම ආණ්ඩුකාරවරයා වශයෙන් සබරගමු ජනතාව වෙත තම වගකීම් කොටස මැනවින් ඉටු කරමින් සිටීම සබරගමු පළාත් ජනතාවට මෙන්ම ශ්‍රී ලංකාවාසී අප සැමට ද මහත් වූ අස්වැසිල්ලකි.

මහනුවර දිස්ත්‍රික්කයේ වංශවත් කොබ්බෑකඩුව පරපුරෙන් ලත් මහා පෞර්ෂයත් සහ දේශපාලන පන්නරයත්, මහනුවර ත්‍රිත්ව විදුහලෙන් සහ ශාන්ත සිල්වෙස්තර විදුහලෙන් ලත් අධ්‍යාපනය සහ සමාජශීලිත්වයත්, මීට පෙර රාජකාරී කටයුතුවල නිරත වූ සමාගම් සහ ආයතනවලින් ලත් අතිමහත් අත්දැකීම් සමුදායත් සම්මිශ්‍රණය කොට තමාටම ආවේණික පාලන රටාවකින් තම බල ප්‍රදේශය පාලනය කරන අප ආණ්ඩුකාරතුමන් ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරගෙන යෑම පැසසිය යුතුය. රට හදන සෞභාග්‍යයේ දැක්ම දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවට අනුගත වෙමින් එතුමන්ගේ දෙවර්ෂයක ධූර කාලයෙන් වැඩි ප්‍රමාණයක් කොවිඩ් 19 ව්‍යසන අභියෝගය හමුවේ වුව ද නොසැලී තම පරිපාලන කටයුතු වල නිරත වන්නේ පරිණත දේශපාලඥයකුගේ සුවිශේෂී ගුණංග විදහාපාමිනි.

සබරගමු පළාතේ ඇති ස්භාවික විපත් හා දුෂ්කරතාවයන් ද අඩුපාඩු ද හඳුනා ගනිමින් විශ්ලේෂණාත්මකව එම එක් එක් ගැටලුකාරී තත්වයන් නිරාකරණය කරමින් යන ගමන්මගේ තම ජනතාවට කුමන හෝ විපතත් සිදු වුණ අවස්ථාවේ දී ක්ෂණිකව ක්‍රියාත්මක වී එම ස්ථානයන් නිරීක්ෂණය කර අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම, දුෂ්කර මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, අතිදුෂ්කර ප්‍රදේශවලට ඉවතලන විදුලි කණු භාවිතයෙන් කුඩා පාලම් ඉඳි කිරීම, ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරීම, කිතුල් කර්මාන්තයට මෙන්ම අනෙකුත් සුළු අපනයන භෝග වගාවන් දියුණු කිරීම, රූපලාවන්‍ය කටයුතුවලින් තම ජීවන වෘත්තිය සරිකරගත් වනිතාවන් සඳහා සබරගමු පළාතේ ප්‍රථම වරට මනාලියන් දැක්මක් සංවිධානය කර ඔවුන් දිරි ගැන්වීම, මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල් කරුවන්ගේ ගැටලුවලට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට සැලසුම් කිරීම ආදිය දැක්විය හැකිය.

එසේම රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිත්වය දරමින් අදාළ දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සහ කොවිඩ් 19 මර්ධනයට අදාළ කටයුතුවලට සහභාගී වීමත්,වර්තමානයේ එම ව්‍යසනකාරී තත්ත්වය යම්තරමකට පාලනය වී ඇති මොහොතේ පාසල් නැවත විවෘත කිරීමට මෙන්ම ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ද දක්වන උනන්දුව හා ප්‍රයත්නයන් ද ලෝක උණ ශාක දිනයට සමගාමීව සබරගමු පළාත තුල ගංඟා ඇළදොල ඉවුරු ඛාදනය වීම වළක්වා ගැනීමේ අරමුණින් උණ ශාක රෝපණය කිරීමත්, ගංවතුර ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීමට උත්සහ කිරීමත්, සබරගමු පළාතට සිහිනයක් වූ රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු කඩිනම් කිරීමත්, පුරන් කුඹුරු අස්වැද්දිම තුලින් කෘෂිකාර්මික පුනර්ජීවනයක් ඇති කිරීමට කටයුතු කිරීමත් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කිරීමත්, අප සැම ලැබු මහත් භාග්‍යක් කොට සැලකිය හැකිය. එමෙන්ම සර්ව ආගමික ස්ථාන හා සැබැඳිව ගෙන යන ආගමික සහජීවනයත්, ආරක්ෂක අංශ සම්බන්ධ කර ගනිමින් කරගෙන යන ආරක්ෂක ක්‍රියාදාමයත්, හදිසි ආපදා තත්වයන් හමුවේ ක්ෂණික ක්‍රියාත්මක වීමත්, සෑමවිටම පරිසරබද්ධව කරගෙන යන පරිසර හිතකාමී වැඩ පිලිවෙලත්, ජනතා ගැටළු හමුවේ ගනු ලබන නිවැරදි සෘජු තීරණත් යන සෑම ක්‍රියාවලියකටම හේතුපාදක වී ඇත්තේ එතුමන් තුළ ඇති නිවැරදි දිශානතියක් කරා මෙහෙය වීමට ඇති හැකියාවත්, දූෂණ වංචා වලින් තොර ප්‍රතිපත්ති ගරුක සුපිරිසිදු දේශපාලන ගමන් මගත්ය.

තවද අධ්‍යාපන කටයුතු කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යාපනයට විගේෂ දස්කම් දක්වන පළාතේ දුවා දරුවන් නිතරම අගයමින් ඔවුන් දිරිමත් කිරීමත්, නව නිෂ්පාදන කෙරෙහි නැඹුරුවක් දක්වන හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන් සිටින ස්ථානවලට පැමිණ හෝ තම කාර්යාලයට කැඳවා ඔවුන් අගය කිරීමත්, දිරිමත් කිරීමත් අප අගය කළ යුතුය. එමෙන්ම ක්‍රීඩා අංශය කෙරෙහිද එතුමාගේ ඇත්තේ දැඩි උනන්දුවක් සහ සහයෝගයකි. නගරයේ පිරිසිදුකම, නගර අලංකරණය, සංචාරක මර්මස්ථාන හඳුනාගෙන එවා දියුණු කිරීමට කටයුතු කිරීම තුළින් නව රැකියා උත්පාදනය කිරීමටද එතුමා වෙහෙසෙන්නේ තමන්ට ඇති අපමණ අභියෝග හමුවේය. සැම විටම ගැටලු පවතින තැන්වලට පැමිණ එය නිරීක්ෂණය කොට අවශ්‍ය කඩිනම් උපදෙස්දීමත්, කුමන අවිවේකි තත්වයන් මත වුවද ඕනෑම ලියවිල්ලක් කියවා බලා මැනවින් අවබෝධ කරගෙන එයට සටහන් තැබීම හෝ අත්සන් කිරීමත්, ඇස්තමේන්තු සකස්කර ඇති ව්‍යාපෘතිවල එම ඇස්තමේන්තුවල නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනය කිරීමේ විශේෂ හැකියාවත් විගණනයත් තුළින් විද්‍යාමාන වන්නේ එතුමන් ලබා ඇති අතිමහත් වූ අත්දැකීම් සම්භාරයයි. අපමණ අභියෝග, දේශගුණික හා කාලගුණික විපර්යාස, කොවිඩ් 19, ඩෙංගු සහ මී උණ වැනි ව්‍යසනකාරීත්වයන් හමුවේ වූවද නොසැලී ඉදිරියට යන ආණ්ඩුකාරතුමන්ගේ ගෙවී ගිය වසර තුළ සිදු වූ මෙහෙවර සබරගමු පළාතේ වැසියන් ලෙස අප ඉතා අගය කළ යුතුය. තවද මෙතුමන්ගේ ඒකායන අරමුණ වන්නේ සෞභාග්‍යමත් සබරගමුවක් ඉසුරුමත් අනාගතයක් බව අප හොඳින් වටහාගෙන සිටිමු. ඔබතුමන්ගේ ධූර කාලයෙන් දෙවර්ෂයක කාලයක් ගෙවී ගියත් ඉතිරිව ඇති කාලවකවානුවේ මෙම අපේක්ෂිත අරමුණු කරා පියනැගීමේ දී මුහුණ දීමට සිදු වන අභියෝග අප්‍රමාණ බවද අප හොඳින් දනිමු.

ආණ්ඩුකාරතුමනි, චිරාත් කාලයක් වැජඹී අප සබරගමු පළාතට විශිෂ්ට වූත් අනුපමේය වූත් සේවාවක් ඔබතුමන් කරනු ඇතැයි අප තුළ ඇත්තේ මහත් වූ විශ්වාසයකි. ජනාධිපතිතුමන්ගේ රට හදන සෞභග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නංවමින් ඔබ යන මේ ගමනේ ඔබතුමන්ට හමුවන සියලු කම්කටොළු බාධක දුරු වී තම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය හා වාසනාවත් ශ්‍රී දළඳා සමිදුන්ගේ රැකවරණයත් සබරගමු පළාතට අධිගෘහිත ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජයාණන් වහන්සේ ප්‍රමුඛකරගත් තිස්තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

මංජුලා ඉඳිගහවෙල 
ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම්

නව අදහස දක්වන්න