දෙවැනි තරගයේදී වේග පන්දු යවන්නකුගේ තැන පිතිකරුවකුට | දිනමිණ

දෙවැනි තරගයේදී වේග පන්දු යවන්නකුගේ තැන පිතිකරුවකුට

දිමුත් කරුණාරත්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී බොහෝ විට එක් වෙනසක් සිදු වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

පෙරේදා කොදෙව්වන්ට එරෙහිව පළමු ටෙස්ට් තරගය ලකුණු 187කින් ජය ගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් මේ බව පැවසූ ඔහු කියා සිටියේ ඇතැම් විට වේග පන්දු යවන්නකු වෙනුවට කණ්ඩායමට තවත් අමතර පිතිකරුවකු කැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

මේ තරගයේදී ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනකු සහ වේග පන්දු යවන්නන් දෙනකු ක්‍රීඩා කළ අතර, කොදෙව් ඉනිම දෙකේදී බිඳ වැටුණු කඩුලු 20න් 19ක්ම දඟ පන්දු යවන්නන් සතු විය.

“දඟ පන්දු යවන්නන් ඉතා හොඳට ක්‍රීඩා කළා. බැටින් පැත්ත ගැන පොඩි සැකයක් තිබුණා. ගාලු පිටියේ සිව්වැනි ඉනිම ක්‍රීඩා කරන්න වුණොත් ටිකක් අමාරයි. ඒ නිසා අවසන් කණ්ඩායම ගැන ඉදිරි පුහුණුවීම්වලදී සහ තණතිල්ල අනුව තීරණය කරනවා.” දිමුත් කීය.

පළමු ඉනිමේ ශතකයක් (147) රැස් කළ දිමුත් දෙවැනි ඉනිමේදී ලකුණු 83ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේය. තම පිතිකරණය පිළිබඳ අදහස් දැක්වූ දිමුත් “මාස 8කට ආසන්න කාලයක් තරග නැතිවීම පාඩුවක් වුණත් ගාල්ලට පැමිණි දවසේ සිට හොඳට පුහුණුවීම් කළා. මගේ නමට පිටිපස්සේ ලකුණු ගොඩක් නැති නිසා පොඩි සැකයක් තිබුණා. තරගය ටිකක් යද්දී මම රිදම් එකට ආවා. ඒත් තවමත් නියම රිද්මයට ඇවිත් නැහැ කියලා හිතනවා. දැන් සෙල්ලම් කරන්නේ ෆේල් වෙන්න බය නැතිව එහෙම කළොත් ලකුණු අතරට යන්න පුළුවන්.” යැයි පැවසීය.

“මගේ ප්‍රධාන ඉලක්කය ලකුණු 10,000ක් රැස් කිරීම සහ තරග 100ක් ක්‍රීඩා කිරීම. මම කැමතියි පියවරෙන් පියවර උඩට (ලකුණු ලාභීන් අතර) එන්න.‍ සෑම තරගයකින්ම පසුව මම බලනවා දැන් මම ලංකාවේ කොතැනද ඉන්නේ කියලා. ඒවා තවත් මාව දිරිමත් කරනවා.” තම ඉලක්කය ගැන දිමුත් කියා සිටියේය.

ඔහු මේ වන විට ටෙස්ට් තරග 73කදී ලකුණු 5406ක් රැස් කර තිබෙන්නේ ශතක 13ක් සහ අර්ධ ශතක 27ක් සමඟිනි.

මේ අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වු දිමුත් කියා සිටියේ ඒ සඳහා තරගාවලියෙන් තරගාවලිය සැලසුම් සකස් කළ යුතු බවයි.

“තරගාවලියෙන් තරගාවලියට සැලසුම් කිරීම තමයි කරන්න ඕන. කොහොමත් ශ්‍රී ලංකාවේ තියෙන තරගාවලි අනිවාර්යයෙන්ම දිනන්න ඕන. අපට ටෙස්ට් තරග අඩුවීමත් පාඩුවක්. තරග වැඩියෙන් ලැබුණොත් හොඳ අත්දැකීම් ගන්න පුළුවන්.”

දෙවැනි තරගයට එක් වීමට පෙර දඟ පන්දු යන්නන්ට මුහුණ දීම දියුණු කර ගත යුතු බවත්, උඩ පන්දු රැකීමටත් අවධානය යොමු කළ යුතු බවත් ඔහුගේ අදහස විය.

දෙපිල අතර, දෙවැනි තරගය සඳුදා (29) ආරම්භ වීමට නියමිතය.

නව අදහස දක්වන්න