තරග 87ක් වැස්සට සේදුණු පළමු පෙළ තරගාවලියේ අවසන් පූර්ව ගැටුම් හෙට‍ | දිනමිණ

තරග 87ක් වැස්සට සේදුණු පළමු පෙළ තරගාවලියේ අවසන් පූර්ව ගැටුම් හෙට‍

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට (28) පැවැත්වේ.

එහිදී යුද හමුදාව සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පළමු තරගයට එක් වන අතර, දෙවැනි තරගය රාගම ක්‍රීඩා සමාජය සමඟ අවසන් වර තරගාවලියේ ශූරයන් වූ එන්සීසී ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන්නේ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීය.

මේ තරග සඳහා 29 වැනිදා අතිරේක දිනයක් ලෙස ද නම් කර තිබේ.

කණ්ඩායම් 26ක් කාණ්ඩ දෙකකින් පැවැති තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ යුද හමුදාව (22) ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයත් එන්සීසී කණ්ඩායම දෙවැනි ස්ථානයත් (19) හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසියේය.

මෙවර තරගාවලියේ මූලික වටයේ තරග අද (27) නිමා වීමට නියමිතව තිබෙන්නේ ‘බී’ කාණ්ඩයේ ඒස් කැපිටල් සහ බ්ලූම්ෆීල්ඩ් තරගයෙනි. කෙසේ වෙතත් මේ තරගයෙන් අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් සඳහා බලපෑමක් එල්ල නෙවේ.

එම නිසා ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ රාගම ක්‍රීඩා සමාජය පළමු තැනත් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය දෙවැනි තැනත් හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට එක් විය. රාගම තරග 4ක් ද ටැමිල් යුනියන් තරග 5ක් ද ජය ගනිමින් ප්‍රසාද ලකුණු 18ක් බැගින් ගෙන මුල් ස්ථාන දෙකට පත් විය.

මෙවර තරගාවලියට තරග 159ක් ඇතුළත් අතර, මූලික වටයේ තරග සංඛ්‍යාව 156කි. කෙසේ වෙතත් පසුගිය දිනවල මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මේ තරගාවලියට ද දැඩි බලපෑමක් එල්ල විය.

මේ තරගාවලිය පසුගිය මස 27 වැනිදා ආරම්භ වූ අතර, ඊයේ අත්හැර දැමූ ඒස් කැපිටල් සහ පාණදුර අතර තරගයත් සමඟින් මේ වන විට නිමා වී ඇති තරග සංඛාව 155කි.

වර්ෂාවෙන් බාධා වීම නිසා එම තරග අතුරින් 87ක් ක්‍රීඩා කිරීමට නොහැකි විය. එහිදී තරග 71ක් එකම පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට කටයුතු කර ඇති අතර, විසඳුමකින් තොරව නිමා වී ඇති තරග සංඛ්‍යාව 16කි. ප්‍රතිඵලයක් සහිතව අවසන් වී ඇත්තේ තරග 68ක් පමණක් වීම විශේෂත්වයකි.

මෙවර තරගාවලියේදී ශතක 2ක් පමණක් වාර්තා වූ අතර, හලාවත ක්‍රීඩා සමාජයේ තික්ෂිල ද සිල්වා (106) පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිවත්, බීආර්සී පිල නියෝජනය කරන එංගලන්ත ක්‍රීඩක ඩෑන් මූස්ලි (105) නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිවත් එම ශතක වාර්තා කළේය.

මේ වන විට ගාල්ල ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි වැඩිම ලකුණු ලාභියා වන්නේ තරග 10කදී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 320ක් රැස් කරමිනි. තිලකරත්න සම්පත් (පොලීසිය) ලකුණු 281ක්, සඳුන් වීරක්කොඩි (බඳුරලිය) ලකුණු 242ක් රැස් කර තිබේ.

කඩුල ලාභීන් අතර පෙරමුණ ගැනීමට ගාල්ල ක්‍රීඩා සමාජයේ චලන ද සිල්වා සමත්ව ඇත්තේ තරග 10කදී කඩුලු 21ක් බිඳ දමමිනි. පොලිස් ක්‍රීඩා සමාජයේ නලින් ප්‍රියදර්ශන ද කඩුලු 21ක් දවා ගෙන ඇති අතර, ජෙෆ්රි වැන්ඩසේ (ටැමිල් යුනියන්) තරග 6කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 16කි.

ඉනිමක හොඳම පන්දු යැවීම ඒස් කැපිටල්ස් කණ්ඩායමේ චානක කොමසාරු ඉදිරියෙන් සටහන්ව ඇත්තේ ලකුණු 14කට කඩුලු 6ක් ලෙසිනි.

මේ තරගාවලියේ අවසන් මහා තරගය 30 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න