අයියර්ගෙන් මංගල තරගයේදීම ශතකයක් | දිනමිණ

අයියර්ගෙන් මංගල තරගයේදීම ශතකයක්

සංචාරක නවසීලන්තය කණ්ඩායම එරෙහිව පැවැත්වෙන පළමු තරගයෙන් ජගත් ටෙස්ට් වරම් ලැබූ ශ්‍රේයාස් අයියර් ඊයේ මංගල ශතකය වාර්තා කිරීමට සමත් විය. මේ ශතකය හේතුවෙන් කාන්පූර්හිදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 345ක් රැස් කළ අතර, ඊයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කිසිවකු නොදැවී ලකුණු 129ක් රැස් කර තිබිණි.

ඒ අනුව කඩුලු 10ක් අතැතිව සිටින නවසීලන්තය ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 216ක් පසුපසින් සිටී. ආරම්භ පිතිකරුවන් වන විල් යංග් ලකුණු 75ක් සහ ටොම් ලේතම් ලකුණු 50ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 145කදී බිඳ වැටුණ ද 5 වැනි කඩුල්ලට රවින්ද්‍ර ජඩේජා සමඟ එක්ව ලකුණු 121ක සබඳතාවක් පිහිටු වීමට නවක පිතිකරු ශ්‍රේයාස් අයියර් සමත් විය. අයියර් ඊයේ සිය මංගල ටෙස්ට් ශතකය ලෙස ලකුණු 105ක් වාර්තා කළේය.

ඉන්දීය පිල වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළ 16 වැනි පිතිකරු ලෙස අයියර් වාර්තා අතරට එක් විය.

 

නව අදහස දක්වන්න