මහින්ද යුගයේ අරඹා යහපාලනයෙන් නැවතූ සංවර්ධන සංග්‍රාමය යළි අරඹනවා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් | දිනමිණ

මහින්ද යුගයේ අරඹා යහපාලනයෙන් නැවතූ සංවර්ධන සංග්‍රාමය යළි අරඹනවා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ ආරම්භ කළ වසර 2015 - 2019 යහපාලන කාලයේ අතරමඟ නතර කර දැමූ සංවර්ධන සංග්‍රාමයේ පිබිදුම සලකුණු කරමින් නව සංවර්ධන රැල්ල ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මෙරට අගනාම ආයෝජන අවස්ථා හිමි දේපළ 45ක් නව ආයෝජන සඳහා එළිදක්වමින් කොළඹ, බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයෙහි පැවැති ආයෝජන හමුව - 2021 අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

"UDA INVESTMENT FORUM INVESTMENT OPPORTUNITIES 2022" මැයෙන් සංවිධානය කර තිබූ මෙම ආයෝජක හමුව අවස්ථාවේ මෙරට ආර්ථික ක්‍රියාකාරකම් හා අනාගත ඉලක්ක පැහැදිලි කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා, වසර 2022 සියයට 6ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව පැවැසීය. වසර 2005 - 2014 කාලයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ සෙසු සංවර්ධන ව්‍යාපෘති රාශියක් හරහා ලබා ගත් ආර්ථික දියුණුවේ සංග්‍රාමය නැවත වතාවක් ආරම්භ කිරීමට සිදුවී ඇත්තේ වත්මන් රජයට බව හෙතෙම පැහැදිලි කළේය.

මේ අවස්ථාවේ උදා වී ඇති ආයෝජන සඳහා රජය හා පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති හැකි තරම් කැඳවා ඉතා ඉහළ විදේශ විනිමයක් මෙරටට රැගෙන එන්නැයි අධිපතිවරයා ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් ද කළේය. ආර්ථික වර්ධනය ඉහළ යන, රැකියා අවස්ථා බහුල ආදායම් සහ ජීවනෝපාය ශක්තිමත් කෙරෙන අයුරින් නව ආයෝජන සිදු කිරීමට උනන්දු වන දෙස් විදෙස් ආයෝජකයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ශ්වයෙන් ලබා දිය යුතු උපරිම සහාය සහ දිරිගැන්වීම් පිරිනැමීමට සූදානම් බවද හෙතෙම එහිදී කියා සිටියේය.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න