ජීවිත බිලි ගැනීමට ඉඩ නොතබා ගෑස් බෝම්බ ගැන පියවරක් ගන්න රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉල්ලයි | දිනමිණ

ජීවිත බිලි ගැනීමට ඉඩ නොතබා ගෑස් බෝම්බ ගැන පියවරක් ගන්න රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉල්ලයි

පාරිභෝගික ජනතාවගේ ජීවිත බිලි ගැනීමට ඉඩ නොතබා ගෑස් බෝම්බ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මාධ්‍ය වෙත ඊයේ (26) අදහස් දක්වමින් පැවසුවේ ජනතාවට අවශ්‍ය ගෑස් සැපයීමට ආණ්ඩුව අසමත් වූ බවයි. පසුව දුන් ගෑස් සිලින්ඩර බෝම්බ වී පුපුරා යන බවද හෙතෙම කීවේය.

කොළඹ, වැලිගම, මහනුවර, කොට්ටාව සහ හෝකන්දර යන ප්‍රදේශවල ගෑස් සිලින්ඩර පුපුරා ගොස් තිබෙන බැවින් මේ ගැන සොයා බලා නිසි පියවර ගන්නැයි ඉල්ලා සිටින බවද ඒ මහතා කීවේය. ගෑස් පාරිභෝගිකයන්ගේ ජීවිත සහ දේපොළ බොහෝ අවදානම් තත්ත්වයට පත්ව තිබෙනවා. ගෑස් සිලින්ඩරයක අන්තර්ගත යුතු පරිමාණ වෙනස් කිරීම නිසා රසායනික විපර්යාස ඇති වී පිපිරීම් සිදු වෙන බව හෙළිදරව් වී තිබෙනවා. පාරිභෝගික ජනතාව බිලි ගැනීමට ඉඩ නොතියා විශේෂඥයන් යොදවා විනිවිදභාවයකින් පරීක්ෂණ කරන ලෙසත් ඒවායේ වාර්තා රටට හෙළි කරන ලෙසත් ගෑස් බෝම්බ අලෙවි කළ සමාගම්වලට එරෙහිව පියවර ගන්නා ලෙසත් අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා යැයි කීවේය.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න