කාබනික වැඩපිළිවෙළ දිය වී යෑම ගැන අඬන්න තරම් දුකයි | දිනමිණ

කාබනික වැඩපිළිවෙළ දිය වී යෑම ගැන අඬන්න තරම් දුකයි

කාබනික වැඩපිළිවෙළ පිළිබඳ උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක යැයි අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවසූහ.

අරමුණ උදාර වුණත් වැරැදි තීරණ ගතහොත් එම අරමුණ ඛේදවාචකයකින් අවසන් විය හැකි බවද කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් රතන හිමියෝ ප්‍රකාශ කළහ. හැත්තෑ එකේ කැරැල්ලේ තරුණයන්ට උදාර අරමුණක් තිබුණද කාලය, වෙලාව, කරපු ආකාරය නිසා රටේ වටිනා ජීවිත නැති වූ බවද උන්වහන්සේ පැවසූහ.

මේ කාබනික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් හතළිස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත් එම කමිටුව එක දවසක් හෝ රැස් වූවා දැයි තමා කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් විමසන බවත් රතන හිමියෝ ප්‍රකාශ කළහ.

ඊට පසුව විසි දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කළ බව පැවසූ උන්වහන්සේ කොටසක් හලා පත් කළ ඒ කමිටුවද එක දිනක් හෝ රැස් නොවූ බව සඳහන් කළහ.

ඒ එක කමිටුවකටවත් තමාගේ නම යෝජනා නොකළ බවද මෙවැනි බරපතළ තීන්දු ගැනීමේදී අඩු තරමින් විශේෂඥ කමිටුවක් පත් කළ යුතුව තිබූ බවද රතන හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරයාගේ දැඩි ප්‍රකාශ සහ ස්ථාවරය අගය කරන නමුත් උදාර අරමුණක් දිය වී යෑම ගැන කනගාටු වන බව පැවසූ උන්වහන්සේ මේවා කවුද කරන්නේ කොහොමද කරන්නේ කියන කාරණා දෙස බැලීමේදී ලොකු ගැටලුවක් පෙනෙන බවද ප්‍රකාශ කළහ.

ග්ලිෆොසෙට් තහනම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළේ 2013 වර්ෂයේදී බවත් පළිබෝධනාශක තහනම ඉවත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුව නඩු දැමිය යුතු වුවත් ආණ්ඩුව එසේ කටයුතු නොකරන්නේ නම් දැවැන්ත අරගලයක් කරන බවත් අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

පොහොර ප්‍රශ්නය විසඳීමට තිබුණේ වී ගොවිතැන තාක්ෂණිකකරණය කිරීමෙන් බව පැවසූ උන්වහන්සේ වල් මර්දන ප්‍රශ්නය විසඳන විට උග්‍ර විස කාරක රටට ගලා නොඑන බවද ප්‍රකාශ කළහ. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගොස් මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයාට බැනුම් ඇසීමට සිදුවී ඇති බවත් ජනාධිපතිවරයාගේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට මහන්සි ගැනීම පිළිබඳ ඔහුට අනේක වාරයක් ස්තුතිවන්ත වන බවද සඳහන් කළහ.

"උදාර අරමුණක් වෙනුවෙන් බැනුම් ඇහුවට කමක් නැහැ. ඒ අරමුණ ජයග්‍රහණය කිරීමයි වැදගත්" රතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න