තෙල් හා ගෑස් කැණීමට සමාගමක් එයි! කැබිනට් අනුමැතිය ලැබෙයි | දිනමිණ

තෙල් හා ගෑස් කැණීමට සමාගමක් එයි! කැබිනට් අනුමැතිය ලැබෙයි

වසර 10කින් පිටරටත් ගවේෂණ කළ හැකියි

අපේ රටේ තෙල් ගන්න විදෙස් සමාගම් අවශ්‍ය නැහැ

 

මෙරට මෙන්ම පිටරටවලත් තෙල් හා ගෑස් කැණීමේ කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා තෙල් හා ගෑස් සමාගම පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යාං-ශයේ පැවති මාධ්‍ය හමුවේදී ඊයේ (26) පැවසීය.  ඒ අනුව ඉදිරියේදී පිහිටුවීමට නියමිත ශ්‍රී ලංකා තෙල් හා ගෑස් සමාගම මඟින් තවත් වසර 10කින් මෙරට මෙන්ම පිටරටවලත් තෙල් හා ගෑස් ගවේෂණ කටයුතු කරන්නට හැකියාව ලැබෙන බවද හෙතෙම කීවේය.

ඒ අනුව විදෙස් සමාගම් ගෙන්වා ගැනීමකින් තොරව ගවේෂණ කටයුතු කරන්නට අපට හැකියාව ලැබෙන බවත් මැලේසියාවේ පෙට්‍රෝනාස් සහ ඉන්දියාවේ ඕ.එන්.ජී.සී. බිහි වූයේ මේ ආකාරයට බවත් එය ආදර්ශයට ගනිමින් මෙවැනි සමාගමක් පිහිටුවීමට තීරණය කළ බවත් හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණයෙන් නිලධාරීන් හෝ දේශපාලකයන් අතළොස්සක් වෙනුවට රටේ ජනතාවට ජාතියට එහි ප්‍රතිලාභ ලැබෙන බවට වග බලාගැනීම මේ සමාගම පිහිටුවීමේ අරමුණ බවද හෙතෙම පැවසීය.

එසේම පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට අනුමැතිය හිමි වූ බව සඳහන් කළ ඇමැතිවරයා එමඟින් ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ගෙන් ජනතාවට බලපෑමක් ඇති වන එක වළක්වා ඉන්ධන මිල හැකිතාක් දුරට ස්ථාවරව පවත්වා ගැනීමට හැකිවන බව පැවසීය.

මේ මොහොතේ කළ යුත්තේ වහාම ශ්‍රී ලංකාවට මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම බවත් මංගලගේ මිල සූත්‍රය පිළිබඳ විවේචනය කර දැන් මිල සූත්‍රයක් යෝජනා කරන්නේ ඇයි කියා ප්‍රශ්න කරන බවත් පැවසූ ඇමැතිවරයා මංගලගේ මිල සූත්‍රය පිළිබඳ විනිවිද භාවයක් නොතිබීම හා ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන්නේ මිල සූත්‍රයකට වඩා මිල ස්ථායිකරණ අරමුදලක් වීම යන ප්‍රධාන විවේචන දෙකක් තිබූ බව කීය.

ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන්නේ මිල ස්ථායිකරණ අරමුදල වන නමුත් කිසිවක් නොකර සිටීමට වඩා අවම වශයෙන් මිල සූත්‍රයක් තිබෙන එක රටට වාසිදායක බව ඇමැති උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

 

 ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න