දෙවැනි මාත්‍රාව ගෙන මාස තුන පැන්න 60ට වැඩි අයට තෙවැනි මාත්‍රාව ජංගම සේවාවලින් කොවිඩ් මර්දන කරලත් ඖෂධ සංස්ථාවෙන්ම ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් | දිනමිණ

දෙවැනි මාත්‍රාව ගෙන මාස තුන පැන්න 60ට වැඩි අයට තෙවැනි මාත්‍රාව ජංගම සේවාවලින් කොවිඩ් මර්දන කරලත් ඖෂධ සංස්ථාවෙන්ම ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

කොරෝනා මර්දන දෙවැනි එන්නත් මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මඟින් අධි මාත්‍රාව (Booster) දීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ (26) උපදෙස් දුන්නේය.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මේ උපදෙස් දෙනු ලැබිණි.

රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්මවූ සියලු දෙනාටද එම සායන තුළදී අධි මාත්‍රා එන්නත දීමට එහිදී තීරණය කෙරිණි.

කොරෝනා මර්දන දෙවැනි එන්නත් මාත්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන සියලු දෙනාටද තුන්වැනි මාත්‍රාව දීමට තීරණය විය. ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝ නොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලු දෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වැනි මාත්‍රාව දීම සිදු කෙරේ.

අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මේ පිරිසට තුන්වැනි එන්නත් මාත්‍රාව ගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට භාවිත කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) දීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම් දුන්නේය.

කොවිඩ් අවදානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කළ අතර, ග්‍රාමීයව පැතිර යන කොවිඩ් අවදානම පාලනය සහ ජනතාව දැනුම්වත් කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය ඇමැතිවරුන් වන සිසිර ජයකොඩි, චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න