තමාට වැඩිය උසස් තැනකට දරුවා ගෙන ඒම සෑම මව්පියකුගේම ජීවිතයේ ප්‍රධාන අරමුණයි | දිනමිණ

තමාට වැඩිය උසස් තැනකට දරුවා ගෙන ඒම සෑම මව්පියකුගේම ජීවිතයේ ප්‍රධාන අරමුණයි

2019 ශිෂ්‍යත්වය සමත් ලේක්හවුස් දූ දරුවන්ට ත්‍යාග පිරිනමමින් ලේක්හවුස් සභාපති කියයි

මව්පියන් කියන්නෙත් දරුවන් තරමටම විභාගය වෙනුවෙන් කැප වූ පිරිසක්

සහකාර සාමාන්‍යාධිකාරි ඩී.එම්. ධනසේන

 

දරුවන් උගත්කමින් මෙන්ම ආධ්‍යාත්මික ගුණ වගාවෙන්ද පෝෂණය කළ යුතු බව ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාකරණ අධ්‍යක්ෂ ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ඊයේ (26) පැවසීය.

ලේක්හවුස් සභාපතිවරයා එසේ පැවසුවේ 2019 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ලේක්හවුස් සේවක දූදරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

ලේක්හවුස් සේවකයන්ගේ ප්‍රතිපාදන අරමුදල විසින් මේ ත්‍යාග ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධාන කරනු ලබයි.

එහිදී වැඩිදුරටත් සභාපතිවරයා මෙසේ ද කීය.

"පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ඉතාමත් වැදගත් විභාගයක්. තමන්ගේ දරුවා ශිෂ්‍යත්වය සමත් වෙලා උසස් පාසලකට ඇතුළත් කිරීම තමයි සෑම මව්පියකුගේම අරමුණ. අද මේ උත්සවයට දරුවෝ ආවානම් තවත් ලස්සනයි. කොවිඩ් වසංගතයත් සමඟ කොතරම් ආර්ථික ප්‍රශ්න තිබුණත් අපි මේ වැඩසටහන කරන්න තීරණය කළා.

බොරලැස්ගමුව පැත්තේ තිබෙනවා ප‍හේ ශිෂ්‍යත්ව පන්තියක්. ඒ පන්තියේ එක් පැත්තක දරුවන්ට උගන්වනකොට මව්පියන් පන්තියේ අනෙක් පැත්තට වෙලා පැය ගානක් මේ උගන්වන දේවල් ලියා ගන්නවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලත් දරුවන්ට ඒ දේවල් කියා දෙනවා. සෑම මව්පියකුගේම ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය තමයි තමන්ට වැඩිය තැනකට තමන්ගේ දරුවාව ගේන එක.

අපි හිතනවා දරුවකුට හොඳට උගන්වලා උසස් පාසලකට ඇතුළත් කිරීම තමයි හොඳම දේ කියලා. එය බොහොම හොඳයි. නමුත් උගත්කම වගේම දරුවාට යහපත් ගුණ ධර්මත් ඉගැන්විය යුතුයි. කියමනක් තිබෙනවා "උගත් තරුණයා මහල්ලෙක්" කියලා. අද අපට පෙනී යනවා බොහෝම උගත් අය සමාජයේ කරන වැරදි දේවල්. ඒ නිසා හැකිතාක් දරුවන්ට අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරන්න.

හැකි හැමවිටම දරුවන්ට හොඳ නරක කියා දෙන්න. පාණදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ කියා තිබෙනවා එක දවසක් හරි සිල් රෙද්දක් ඇඟට දාගත්ත දරුවා කිසිම දවසක සමාජයේ වැරැද්දක් කරන්නේ නැහැ කියලා. ශිෂ්‍යත්ව විභාගය කියන්නේ තවත් එක කඩඉමක් විතරයි. ඒ නිසා මේ ජයග්‍රහණයත් සමඟ දරුවන්ට තවත් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවායැයිද පැවසීය.

සහකාර සාමාන්‍යාධිකාරි සහ ලේක්හවුස් සේවකයන්ගේ ප්‍රතිපාදක අරමුදල් කළමනාකරණ ලේකම් ඩී.එම්. ධනසේන මහතා-

"අපි මේ කටයුත්ත 2000 වසරේ ආරම්භ කර මේ වන විට වසර 21ක් පුරාවට කරගෙන යනවා. අපි මීට පෙර මේ කටයුත්ත කළේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් ලේක්හවුස් පරිශ්‍රයට ගෙන්වලා, ඔවුන්ගේ මව්පියන් සමඟ මේ ආයතනයේ දවස ගත කරන්න සලස්වලා.

ඒ වැඩසටහන අපි දවස පුරා පැවැත්වූ වැඩසටහනක්. නමුත් ‍අවාසනාවකට කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ අපට මෙවර දරුවන්ව ගෙන්වන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දූ දරුවන් හිටියා ‍නම් මේ උත්සවය මීට වඩා ඉතාමත් ලස්සනට කරන්න ඉඩ තිබුණා.

මෙවර අපි උත්සවය පවත්වන්නේ 2019 වසරේ සමත් වූ දරුවන්ට. සාමාන්‍යයෙන් අපි ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කළ ආසන්න කාලයේ මේ උත්සවය පවත්වනවා. කොවිඩ් වසංගතය නිසා අපට නියමිත කාලය‍ට උත්සවය පවත්වාගන්න නොහැකි වුණා. නමුත් අපට මේ උත්සවයත් විශේෂත්වයක්. මේ වසර විසි එකටම දරුවෝ වෙනුවෙන් මව්පියන් අතට තෑග්ගක් දෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

මව්පියෝ කියන්නෙත් දරුවෝ තරමටම මේ විභාගය වෙනුවෙන් කැප වුණ පිරිසක්. ඇතැම් වෙලාවට මව්පියොත් දරුවා සමඟම ශිෂ්‍යත්ව පන්තිවලට සහභාගි වෙනවා. ඒ තරමටම මව්පියන් තමන්ගේ දරුවා වෙනුවෙන් කැපවෙනවා. මේ ත්‍යාග ලබාගන්න මේ මව්පියන් ඉතාමත් සුදුසුයි.

මේ උත්සවය සඳහා වටිනා තෑගි දෙන්න අපි හැමවිටම උත්සහ කරනවා. පසුගිය ත්‍යාග ප්‍රදානවලට අපිට අනුග්‍රාහක භවතුන් හිටියත් මෙවර අපට ‍කොවිඩ් තත්ත්වයත් සමඟ අනුග්‍රාහක භවතුන් සම්බන්ධ කරගන්න නොහැකි වුණා. අවසානයේ අපි සමාගමේ සහ අරමුදලේ දායකත්වයත් ලබාගෙන මේ උත්සවය පැවැත්වීමට තීරණය කළා. මීට සහාය දැක්වූ සභාපතිතුමා ඇතුළු කළමනාකාරිත්වයට අපි ස්තූති පූර්වකව මතක් කරනවා.

ශිෂ්‍යත්වය සමත් දරුවන්ට අපි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ රුපියල් 25,000ක ඉතුරුම් සහතික පතක් ලබාදෙනවා. ඒ වගේම මේ ත්‍යාග පාර්සලය සඳහා ක්‍රීඩා උපකරණ සහ පාසල් උපකරණත්, වසරක් පුරාවට මිහිර පත්තරය ලබාදීමටත් කටයුතු කළා.

ශිෂ්‍යත්ව විභාගය ඉතා උසස් ලෙස සමත් වූ මේ දරුවන්ට ඉදිරියේදි පැවැත්වෙන සියලු විභාග විශිෂ්ට ලෙස සමත් වෙලා රටේ හොඳ පුරවැසින් වීමට ශක්තිය,ධෛර්ය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවායැයි ද පැවසීය. ලේක්හවුස් සේවකයන්ගේ ප්‍රතිපාදන අරමුදල විසින් 21 වැනි වරටත් ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් වෙනුවෙන් මේ ත්‍යාග ප්‍රධාන උත්සවය සංවිධානය කළ අතර මෙහිදී දරුවන් 17 දෙනෙකුට ත්‍යාග හිමි විය.

ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, වැඩබලන සාමාන්‍යාධීකාරී සුමිත් කොතලාවල, සමාගම් ලේකම් සුදර්ශනී හේවාවසම්, නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී චන්දන බණ්ඩාර, ලේක්හවුස් සේවක සුභසාධක අරමුදලේ උප සභාපති ජ්‍යෙෂ්ඨ ප්‍රවාහන කළමනාකරු තිස්ස ධම්මික මහත්ම මහත්මීහු ද ලේක් හවුස් සේවකයන්ගේ ප්‍රතිපාදන අරමුදලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප-දුෂ්මන්ත මායාදුන්න

 ඉෂාරා සිල්වා

නව අදහස දක්වන්න