අභීතව පෑන මෙහෙයවූ මහින්ද අබේසුන්දර | දිනමිණ

අභීතව පෑන මෙහෙයවූ මහින්ද අබේසුන්දර

(ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දරයන්ගේ 7 වැනි ගුණසමරුව අදට (27) යෙදී ඇත. මේ ලිපිය ඒ වෙනුවෙනි)

 

අභීතව පෑන මෙහෙයවූ පුවත්පත් කලාවේදීන් අතර මහින්ද අබේසුන්දර අපේ රටේ ජීවත් වූ කීර්තිමත් පත්තරකරුවෙකි. ප්‍රතිපත්තිගරුක දේශපාලනය තුළින් ඒ මහතා සැබෑ ප්‍රතිරූපයක් ගොඩනඟාගත් ශ්‍රේෂ්ඨ පුවත්පත් කලාවේදියෙකි. ඉතා සියුම් අයුරින් ජනමතයට ඇතුළු වී කිව යුත්ත ඉතාම සරල සුගම බස් වහරකින් ජනතාවට ඉදිරිපත් කිරීමට දක්ෂ මාධ්‍යවේදියකු වූ බව ද සිහිපත් කළ යුතුමය. දකුණු පළාතේ මාතර කැකණදුර ප්‍රදේශයේ උපත ලැබූ මහින්ද අබේසුන්දර කුඩා කාලයේ සිටම වාමාංශික දේශපාලනයට අත්පොත් තැබූ අයෙකි. ගමෙන් කොළඹට පැමිණි අබේසුන්දර පළමුවෙන්ම මාධ්‍ය ජීවිතයට අතපොත් තැබුවේ ද ලංකා සමසමාජ පක්ෂයේ නිල පුවත්පත වූ ‘ජනදින’ පුවත්පතෙනි. ඒ 1966 වසරේදීය. ජනදින පුවත්පතේ වාර්තාකරුවකු වශයෙන් මාධ්‍ය ජීවිතය ඇරඹූ මහින්ද අබේසුන්දර එම පුවත්පතේ කර්තෘවරයා බවට පත් වූයේ ස්වෝත්සාහයෙන්ම මාධ්‍ය කලාව භාවිත කිරීමෙනි. දවස පුවත්පත ද ඔහුගේ ලේඛන කලාවේ නිම් වළලු තවත් පුළුල් කළ පුවත්පතකි. එහිද කලක් සේවය කළේය. තවත් නම ගිය පුවත්පතක් වූ ‘ඇත්ත’ පුවත්පතේ ද සේවය කිරීමේ භාග්‍යය අබේසුන්දරයන්ට හිමි වූයේ මාධ්‍ය ජීවිතයේ කළ කැපවීම් හේතුවෙනි. 1980 වසරේ ඉංග්‍රීසි ගුරුවරයකු වශයෙන් අබේසුන්දර රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න දුෂ්කර ප්‍රදේශයක සිය මුල්ම පත්වීම ගෙන සේවය කළේය. ඉන් අනතුරුව මොරටුව කොළඹ වැනි ප්‍රදේශවල ද ඉංග්‍රීසි ගුරුවරයකු වශයෙන් සේවය කළ බව ද සිහිපත් කළ යුතුව ඇත. තමාගේ ඇ‍ඟේ තිබෙන රස්සාව පත්තර රස්සාව වූයෙන් ගුරු දිවියට සමු දී නැවත පත්තර රස්සාවට ඒමට තරම් අබේසුන්දරයන් පත්තර කලාවට ආදරය කළේය. ඒ අනුව ‘දිවයින’ පුවත්පත ඔහුගේ පත්තර දිවියට තවත් රස මුසු තැන් එක් කළ පුවත්පත් ආයතනයකි. ලක්බිම පුවත්පතේ ද නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අබේසුන්දර ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ ‘විපරම’ දේශපාලන වැඩසටහනින් ඉතාම ජනප්‍රිය මාධ්‍යවේදියකු බවට පත් වූයේ සිය හැකියාවන් ජනතාව අතරට ගෙන යමිනි. පාර්ලිමේන්තු වාර්තාකරණය මෙන්ම අධිකරණ වාර්තාකරණය පිළිබඳව ද ඔහුට හසළ දැනුමක් තිබූ මාධ්‍යවේදියෙකි. දිනකර පුවත්පතේ ද කතුවරයා වශයෙන් සේවය කළ මහින්ද අබේසුන්දර ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරයා වශයෙන් විශිෂ්ට ජනතා මෙහෙවරක් ඉටු කළ බව ද සිහිපත් කරමි. ලේඛකයකු වශයෙන් ද ඒ මහතා ලියූ ‘ආගිය කතා’ ග්‍රන්ථය මඟින් ඉතා රසවත් අයුරින් වචනවලින් හරඹයක් කොට විචිත්‍ර කතා රැසක් ගොඩනැඟීමට සමත් විය. ඒ කෘතිය පාඨකයන් අතර ජනප්‍රිය කෘතියක් බවට ද පත් විය. සිව් දරු පියකු වූ මහින්ද අබේසුන්දර මාධ්‍ය කලාවත් සිය ජීවිතයත් රසබර අයුරින් ගෙනයෑමට හැකි වූ දක්ෂ මාධ්‍යවේදියෙකි. පුවත්පත් කතුවරයෙකි. එසේම ගත් කතුවරයෙකි. 2014 නොවැම්බර් මස 27 වැනි දින අපෙන් සමුගත්ත ද ඒ මහතා මාධ්‍ය ජීවිතය තුළ සදා අමරණීය මතකයන් රැසක් ඉතිරි කර ගිය ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් මේ මොහොතේ සිහිපත් කරමු. මහින්ද අබේසුන්දර කතුතුමන්ට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු!

 

මහින්ද ආරියවංශ

නව අදහස දක්වන්න