ශ්‍රී ලාංකික අන්තර්ජාතික සිනමා උ‍ලෙළ සැන්ටාබාබරාහිදී | දිනමිණ

ශ්‍රී ලාංකික අන්තර්ජාතික සිනමා උ‍ලෙළ සැන්ටාබාබරාහිදී

අන්තර්ජාතික මට්ටමින් විශිෂ්ට සම්මානයන්ට පාත්‍ර වෙමින් තිබෙන ශ්‍රී ලාංකික සිනමා කෘති සඳහා ලෝක වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. පනහේ දශකයේ සිට ලෝක අවධානයට ලක් වූ සිංහල සිනමාව 2000 වර්ෂය වන විට ලෝක සිනමා උලෙළවලදී විවිධාකාරයෙන් සම්මානිත වෙමින් පැවතුණේ දේශීය සිනමා කර්මාන්තයට සුබදායී වාණිජ්‍ය පරිසරයක් ද ඇති කරමිනි. එසේ වුවත් මෙරට රාජ්‍ය අංශයේ වගකිව යුත්තන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කළ බවක් නොපෙනිණි. කලාපීය සහ ලෝක මට්ටමින් විශිෂ්ටත්වයට පත්ව තිබෙන ශ්‍රී ලාංකික සිනමාව පිළිබඳව නැවත කියැවීමක් අවශ්‍ය වන්නේ ඒ නිසාය.

අමෙරිකාවේ සැන්ටාබාබරා නගරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය වී තිබෙන ශ්‍රී ලාංකික අන්තර්ජාතික සිනමා උලෙළ මෙරට සිනමා කර්මාන්තයට අතිශයින් වැදගත්ය. කලා සංස්කෘතික නගරයක් ලෙස ලෝක අවධානයට ලක්ව තිබෙන සැන්ට­ාබාබරා නගරයේ දී ශ්‍රී ලාංකික සිනමා උලෙළක් සංවිධානය කර ගැනීමට හැකි වීමම දේශීය සිනමාවේ විජයග්‍රහණයකි.

2022දී පැවැත්වීමට නියමිත මෙම අන්තර්ජාතික ශ්‍රී ලාංකේය සිනමා උලෙළ පිළිබඳ හඳුන්වා දීම පසුගියදා අමෙරිකාවේ සැන්ටාබාබරා නගරයේ දී සිදු විය. එය සංවිධානය කරන ලද්දේ අන්තර්ජාතික ශ්‍රී ලාංකික සිනමා උළෙල සාමූහිකයේ නිර්මාතෘවරිය වන අරුණි බොතේජු මහත්මිය විසිනි. මේ අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය පිරිස අතර, සැන්ටා බාබරා නගරාධිපතිනිය වන කැතී මුරිල්ලෝ, ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් ආචාර්ය ලලිත් චන්ද්‍රදාස, ඩිරෙක්ට් රිලීෆ් ආයතනයේ අධ්‍යක්ෂ ඩීන් ඇක්සෙල්රොඩ්, ඩිරෙක්ට් රිලීෆ් ආයතනයේ හදිසි කටයුතු නිලධාරී ක්‍රිස් ඇලිවේ, එක්සත් ජාතීන් ගේ සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නන්දි ජසෙන්තුලියන, ශ්‍රී ලංකා අමෙරිකා සංවිධානයේ සභාපති සමන්ත කුරේරා, අන්තර්ජාතික ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂ ව්‍යාපෘති සහ ප්‍රචාරණ කේෂිනී විජේගුණවර්ධන, ශ්‍රී ලංකා තරුණ සංවිධානයේ අරුණි ගනේවත්ත, සැන්ටා බාබරා හිස්පැනික් මණ්ඩලයේ මිගුවල් අවිල්ලා ද වූහ.

අරුණි බොතේජු නර්තනයට සහ නාට්‍යකරණයට දක්ෂතා දක්වන්නියකි. ඈ කැලිෆෝනියාවේ බෑන්ක් ඔෆ් ද වෙස්ට් හි සහකාර උප සභාපතිනිය ලෙසින් කටයුතු කරන කුඩා ව්‍යාපාර බැංකු නිලධාරිනියක වන්නීය. දරුවන් දෙදෙනකුගේ මවක් වන ඇය කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි පදිංචි ව සිටින්නීය. අරුණි සිය මුල් අධ්‍යාපනය කොළඹ 07 බෞද්ධ කාන්තා ජාත්‍යන්තර විද්‍යාලයෙන් ලබා ඇත. ඇය සැන්ටා බාබරා සිටි විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවාය. ෆීනික්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් අරුණි, ඇයගේ ව්‍යාපාර පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා වැඩ කළාය. ඇය සිය බැංකු ජීවිතය ආරම්භ කළේ 1999දී අමෙරිකා බැංකුවේ අර්ධ කාලීන ටෙලර්වරියක ලෙසිනි.

ජීවිතය දෙස සුභවාදීව බලන අරුණි බොතේජු ස්වකීය උවමනාව මත සංවිධානය කරන, ශ්‍රී ලාංකික අන්තර්ජාතික සිනමා උලෙළ සාර්ථක වනු දැකීම අප සැමගේ බලාපොරොත්තුවයි.

නව අදහස දක්වන්න