ලෝක ඉතිහාසයේ රනින් නම ලියූ දකුණු අප්‍රිකා ජනපති | දිනමිණ

ලෝක ඉතිහාසයේ රනින් නම ලියූ දකුණු අප්‍රිකා ජනපති

ක්ලාර්ක් බලයට පත් වන විට නෙල්සන් මැන්ඩෙලා සිටියේ සිරභාරයේය. නෙල්සන් මැන්ඩෙලා ඒ වන විට වසර විසි හතකට ආසන්න කාලයක් මුළුල්ලේ සිරබත් කමින් පසු වූයේය. මැන්ඩෙලාට ඒ ඉරණම අත්වූයේ මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන අසාධාරණකම් නොඉවසමින් දැඩි අරගලයක නිරත වූ බැවිනි. තම රජය මැන්ඩෙලාට නිදහස දීමට කටයුතු කරන බව ක්ලාර්ක් එදින පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරද්දී ඔහුගේ එම තීරණය වෙත මුළුමහත් ලෝකයම අවධානය යොමු කළේ විශ්වාස කිරීමට අපහසු දෙයක් ඇසූ කලෙක ඇති වන විස්මයෙනි.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ෆ්‍රෙඩරික් විලේම් ඩි ක්ලාර්ක් පසුගියදා අභාවප්‍රාප්ත විණ. මිය යන විට ඔහු අසූ පස් වැනි වියෙහි පසු වූයේය. හිටපු ජනාධිපතිවරයා පෙණහලු පිළිකා රෝගයෙන් පෙළිණ. ඔහු පිළිකා රෝගියකු බව අනාවරණය වූයේ පසුගිය මාර්තු මාසයේදීය. එවක් පටන් දැඩි ලෙස රෝගාතුරුව සිටි ක්ලාර්ක් කේප් ටවුන්හි පිහිටි සිය නිවසේදී පසුගිය 11 වැනිදා සන්සුන්ව අවසන් නින්දට වැටුණු බව දකුණු අප්‍රිකා පුවත් සේවාවන් වාර්තා කළේ ය.

කලක් ලෝකයේ බැබළු ෆ්‍රෙඩ්‍රිරික් විලේම් ඩි ක්ලාර්ක් නාමය පමණක් නොව ඔහුගේ දේශපාලන භූමිකාව ද බොහෝ දෙනකුට මේ වන විට අමතකව ගොස් ඇතිවාට සැකයක් නැත. ක්ලාර්ක් වඩාත් සරලවම හඳුන්වා දිය හැකි වන්නේ දකුණු අප්‍රිකාවේ සුදු සමක් සහිත අවසන් ජනාධිපතිවරයා වශයෙනි. ඔහු එරට ජනාධිපති ධූරය හෙබවූයේ 1989 වසරේ සිට 1994 වසර දක්වා වූ කාල පරාසයේදීය. 1994 වසරේ සිට 1996 වසර දක්වා වූ කාල පරිච්ඡේදයේදී එනම් නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති ධුරය දරන සමයේදී හෙතෙම දකුණු අප්‍රිකාවේ උපජනාධිපතිවරයා වශයෙන් ද කටයුතු කළේය. 1993 වසරේදී ක්ලාර්ක්ට සහ නෙල්සන් මැන්ඩෙලාට නොබෙල් සාම ත්‍යාගය ද පිරිනැමිණ. එක්දහස් නවසිය අසූ ගණන් අග භාගයේ සිට සහ එක්දහස් නවසිය අනූ ගණන් මැද භාගය දක්වා ලෝක දේශපාලනයේ කැපී පෙනුණු සහ බොහෝ මතභේදයට තුඩු දුන් චරිතයක් වූ එෆ් ඩබ්ලිව් ක්ලාර්ක් 1997 වසරේදී දේශපාලන ක්ෂේත්‍රයෙන් සමුගත්තේය. ඉන්පසු ජාත්‍යන්තර දේශකයකු හැටියට කටයුතු කරමින් තම අත්දැකීම් සහ දැනුම මීළඟ පරම්පරා සමඟ බෙදා හදා ගැනීමට ඔහු නැඹුරු විණ.

 

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය

 

එෆ් ඩබ්ලිව් ක්ලාර්ක් චරිතය දකුණු අප්‍රිකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද ලියැවෙන්නකි. එයට මූලිකවම බලපාන්නේ වර්ණභේදවාදය තුරන් කිරීමට ඔහු කළ අවංක සහ පලදායී කාර්යයි. ඔහු බලයට පත් වූයේ වර්ණභේදවාදය යටතේ නීතිගත කළ වර්ණවාදය යටතේ වූවත් දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය කරා රැගෙන ඒමට මූලිකත්වය දුන් අන්දම කෙසේවත් අමතක කළ නොහැකිය. ඒ කෙරෙහි ඔහුගේ නැඹුරුව සනිටුහන් කරන එක් සුවිශේෂී දේශපාලන කතාවක් ඇත. එය අනෙකක් නොව, ක්ලාර්ක් 1990 වසරේ පෙබරවාරි දෙවැනිදා දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේදී කළ කතාවය. එය ලෝක ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණු කතාවක් ලෙස දක්වන්නට ද පුළුවන. එසේම එය, වර්ණභේදවාදය වැපිරීමට දත නියවාගෙන සිටි බොහෝ දේශපාලනඥයන්ට හුස්ම ඉහළ පහළ හෙළීම පවා අසීරු තත්ත්වයකට පැමිණ වූ කතාවකි. ක්ලාර්ක්ගේ එකී කතාව වුව පරිච්ඡේද ගණනක් විග්‍රහ කළ හැකිය.

ක්ලාර්ක් බලයට පත් වන විට නෙල්සන් මැන්ඩෙලා සිටියේ සිරභාරයේය. නෙල්සන් මැන්ඩෙලා ඒ වන විට වසර විසි හතකට ආසන්න කාලයක් මුළුල්ලේ සිරබත් කමින් පසු වූයේය. මැන්ඩෙලාට ඒ ඉරණම අත්වූයේ මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන අසාධාරණකම් නොඉවසමින් දැඩි අරගලයක නිරත වූ බැවිනි. තම රජය මැන්ඩෙලාට නිදහස දීමට කටයුතු කරන බව ක්ලාර්ක් එදින පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරද්දී ඔහුගේ එම තීරණය වෙත මුළුමහත් ලෝකය ම අවධානය යොමු කළේ විශ්වාස කිරීමට අපහසු දෙයක් ඇසූ කලෙක ඇති වන විස්මයෙනි. එය, වර්ණභේදවාදය නිසා ම්ලේච්ඡ වාර්ගික වෙනස්කම්වලට යටත්ව දසක ගණනාවක් පුරා පීඩාවට සහ පිළිකුලට ලක්ව සිටි දකුණු අප්‍රිකා ජාතියට නැවත නැඟී සිටින්නට අනුප්‍රාණය ලබා දුන් කතාවක් හැටියට සැලකෙන්නට එම තීන්දුව වුව ප්‍රමාණවත්ය. ක්ලාර්ක් සිය කතාව, ඒ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් නැවත්වූයේ නැත.

වර්ණභේදවාදය දකුණු අප්‍රිකාවෙන් තුරන් කර දමන්නට ඉවහල් වන තවත් බොහෝ කරුණු ක්ලාර්ක් ජනාධිපතිවරයා එදින පාර්ලිමේන්තුව හමුවේ කළ කතාවට ඇතුළත්ව තිබුණේය. වර්ණභේදවාදයට එරෙහිව සටන් කිරීම වරදක් ලෙස සලකා දේශපාලන කණ්ඩායම් රාශියක් තහනම් කර දමා තිබිණ. එම දේශපාලන කණ්ඩායම්වලට එරෙහි තහනම් ඉවත් කරන බව ද ඔහු එහිදී සඳහන් කළේය. වර්ණභේදවාදයට එරෙහිව දැවැන්ත කාර්යයක් කළ අප්‍රිකා ජාතික කොංග්‍රසය 1990 වන විටත් තහනම් කර දමා තිබීම ඒ අතර වඩාත් කැපී පෙනිණ. අප්‍රිකා ජාතික කොංග්‍රසයට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන තහනම ඉවත් කරන බව ද ක්ලාර්ක් සිය කතාවේදී පැහැදිලිවම සඳහන් කළේය. එකී සඳහන නොවන්නට අප්‍රිකා ජාතික කොන්ග්‍රසය 1990 වසරේ පෙබරවාරි 03 වැනිදා සිට නීතිමය වශයෙන් පිළිගැනීමකට ලක් වීම තවත් ප්‍රමාද වීමට හෝ තවත් කාලයකට සිදු නොවන්නට හෝ ඉඩ තිබිණ.

දකුණු අප්‍රිකාවේ සහ දකුණු අප්‍රිකා ජාතියේ නැඟීමට ඉවහල් වන ක්ලාර්ක්ගේ මේ කතාව එදා පාර්ලිමේන්තුවේ සිටි ඇතැම් අයගේ දැඩි නොරිස්සුමට හේතු වූයේය. එනිසා ඇතැම් පාර්ලිමේන්තු නියෝජිතයෝ ක්ලාර්ක්ගේ කතාව පැවැත්වෙන අතරතුරදී පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියෝය. එසේ ඉවත්ව ගියවුන් ක්ලාර්ක්ගේ තරම තව දුරටත් දැනගත්තේ ක්ලාර්ක් පාර්ලිමේන්තුව ඇමතීමෙන් දින නවයකට පසුව නෙල්සන් මැන්ඩෙලා නිදහසේ පියමං කර සාමාන්‍ය ජනයා අතරට පිවිසි විටදීය.

නෙල්සන් මැන්ඩෙලා නිදහස ලබා පැමිණීමෙන් පසු ක්ලාර්ක් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය විනාශ කර දමන්නට තව දුරටත් පියවර ගත්තේය; වර්ණභේදවාදය පිටුදැකීමට අවශ්‍ය නීති මෙන්ම ආයතන ද ඇති කළේය. අවසානයේදී දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට යොමු කෙරිණ. 1993 වසරේදී මැන්ඩෙලාට සහ ක්ලාර්ක්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙන්නේ ඔවුන් එකට එක්ව කටයුතු කරමින් දකුණු අප්‍රිකාවේ උන්නතිය වෙනුවෙන් කළ එකී මෙහෙවර අගයමිනි. එෆ් ඩබ්ලිව් ක්ලාර්ක් එදා පාර්ලිමේන්තුවේදී කළ ඓතිහාසික කතාවෙන් සිව් වසරක් ගෙවුණු තැන, එනම් 1994දී පැවැත්වුණු මහජන ඡන්දයෙන් නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේය.

 

අවසන් පණිවිඩය

 

ක්ලාර්ක් වර්ණභේදවාදය සම්බන්ධයෙන් කළ අවසන් පණිවුඩය ක්ලාර්ක් පදනම මඟින් මාධ්‍යයට නිකුත් කර තිබේ. එහිදී එෆ් ඩබ්ලිව් ක්ලාර්ක් පවසන්නේ මෙවැන්නකි.

“ ... අවසාන පණිවුඩය කියන්න අද මට නැවත ඉඩ දෙන්න: දකුණු අප්‍රිකාවේ වෙසෙන කළු, දුඹුරු සමක් ඇති අය සහ ඉන්දියානුවන් වේදනාවට, අපකීර්තියට සහ හානියට පත් වීම ගැන මම ඔවුන්ගෙන් සමාව අයදිනවා. ...” ප්‍රජාතන්ත්‍රවාදය දකුණු අප්‍රිකාවේ ස්ථාපනය කිරීම වෙනුවෙන් ක්ලාර්ක් කළ මෙහෙය විවිධ අය විවිධ දෘෂ්ටි කෝණවලින් විමසා බලති. සමහරුන් සඳහන් කරන්නේ සුදු පාලකයන් වර්ණභේදවාදය ඇති කරමින් බිහි කළ දේශපාලනයෙන් ක්ලාර්ක් දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය දක්වා ගමන් කළ බවයි. එනිසා වර්ණභේදවාදය හේතුවෙන් සිදු වූ සියලු මරණවලට අනෙක් සුදු ජාතික පාලකයන් මෙන්ම ඔහු ද වග කිවයුතු යැයි ඔවුහු පවසති. ක්ලාර්ක් දේශපාලන අවස්ථාවාදියකු ලෙස දකින්නෝ ද වෙති.

එහෙත් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමෆොසා පවසන්නේ විවිධ පාර්ශ්වවලින් එල්ල වන පීඩාවන් නොසලකා දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රවාදී මාවතට රැගෙන ඒමට ක්ලාර්ක් විශාල මෙහෙයක් සිදු කළ බවයි.

 

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න